spot_img
spot_imgspot_img

ම්ලේච්ඡත්වය නැවැත්වීමට පකිස්තානය හා ශ්‍රී ලංකාව එක්විය යුතුයි

පුවත්

විදෙස්

අර්ජුන රණවන විසිනි

පකිස්තානයේ කාර්මික කේන්ද්‍රස්ථානය වූ සියල්කොට් නගරයේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදනාගාරයක ශ්‍රී ලාංකික සාමාන්‍යාධිකාරීවරයෙකු ඝාතනය කර ඔහුගේ දේහය පුළුස්සා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ථ පකිස්තානයට ම ලැජ්ජාසගහත අවමානයක් සිදු වූ බව එරට අගමැති ඉම්රාන් ඛාන් පවසනවා.

ප්‍රියන්ත කුමාර හතළිස් හැවිරිදි වියේ පසුවූ අතර ඔහු පකිස්තානයේ සේවය කළ කාලය දශකයකට අධිකයි.  පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සඳහා ඇඳුම් කට්ටල නිෂ්පාදනය කළ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් කර්මාන්ත ආයතනයක් ඔහුගේ සේවා ස්ථානය වනවා. ඔහු කුරාණ වාක්‍යයක් සහිත පෝස්ටරයක් ඉරා දැමූ බවටත්, අන්තවාදීන් විසින් වධහිංසාවට ලක් කර මරා දමා ඔහුගේ දේහයට ගිනි තබා ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වුණා

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ එවැනි පෝස්ටර් ඉරා දැමීමක් කිසිදු අවස්ථාවක සිදුව නැති බවයි. මෙතෙක්  විමර්ශනවලින් අනාවරණය නොවූ කරුණක් හේතුවෙන් ශ්‍රී ලාංකිකයා ඝාතනය වූ බව ද එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පෙන්වා දෙනවා.

කලහකාරී පිරිස හමුවේ දැඩිව අසරණ වූ කළමනාකරුට පහර දෙන සහ ගිනි තබා ඇති බිහිසුණු ඡායාරූප අන්තර්ජාලයේ සංසරණය වී තිබේ.

පුවත් සේවා වාර්තා කරන්නේ පුද්ගලයන් සියයකට වැඩි පිරිිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රහාරයේ උසිගැන්වීම සිදුකළ සහ ප්‍රධාන සැකකරු බවට පොලිසිය විසින් හඳුනාගත් එක් තරුණයෙක් ද අත්අඩංගුවට එම ඝාතනය සිදුවී පැය කිහිපයක් යනවිට අත්අඩංගුවට ගැණුනා.

ඉස්ලාම් දහමට අපහාසයක් ලෙස සළකන ක්‍රියාවන්වලට එරෙහිව 2015 දී ආරම්භ කරන ලද සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන Tehrik-e-Labaik පකිස්තානයේ විරෝධතා ව්‍යාපාරවලින් සති කිහියකට පසු මෙම ඝාතනය සිදුවනවා. ඔවුන් එම විරෝධතා පැවැත්වූවේ ඉස්ලාමීය නිරූපකයන්ට එරෙහිව ප්‍රංශ මාධ්‍ය විසින් පෙන්වන ලද අපහාසාත්මක හැසිරීම සම්බන්ධයෙන් පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා ආපසු කැඳවන ලෙස බලකරමින්.

එම විරෝධතාව නවතා දැමීම සඳහා, අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව ටෙහ්රික්-ඊ-ලබයික් ක්‍රියාකාරීන් සියයකට අධික පිරිසක් සිරෙන් නිදහස් කර ඇති බව වාර්තා වෙනවා. එම ගනුදෙනුව සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් විවේචනයට ලක්වනු ඇතැයි විශ්වාස කළ බැවින් මුදා හැරීම පිළිබඳ සාකච්ඡා සිදුව ඇත්තේ ද ඉතාමත් රහසිගව. සියල්කොට් ඝාතනය මෙම කණ්ඩායමේ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවනු ලැබ ඇතැයි සමාජ විශ්ලේෂකයන්ගේ මතයයි.

හමුදා මාණ්ඩලික ප්‍රධානියා (COAS), ඉස්ලාමීය කණ්ඩායම්වල නායකයින් සහ ජනාධිපති සහ අගමැති කාර්යාලය ඇතුළු පාකිස්තාන රජයේ ඉහළම තලයේ සියලු දෙනා මෙම ක්‍රියාව හෙළාදැක තිබෙනවා.

“පුද්ගයින් පිරිසක් විසින් නීතියට පිටින් සිදුකරන ලද  මෙවැනි ක්‍රියාවක් කිසිසේත් අනුමත කළ නොහැකියි.” හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළා. වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා හමුදා මාණ්ඩලික ප්‍රධානියා සිවිල් පරිපාලනයට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා.

ප්‍රියන්ත කුමාර ඝාතනය හෙළා දකිමින් පන්ජාබ් අගනුවර වන ලාහෝරයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විරෝධතාවක නිරතවුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව සහ විපක්ෂ නායකයින් පකිස්ථාන බලධාරීන්ගෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “පකිස්තානයේ සියල්කොට් හි සිදුවීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. ශ්‍රී ලංකාව විශ්වාස කරන්නේ පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ රජයෙන් යුක්තිය ඉටු වන බව සහතික කරනු ඇති බවයි. එසේම පකිස්ථානයේ ඉතිරිව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහතික කරනු ඇති බවයි. පසුව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ද කතා කර සාධාරණය ඉටු කරන බවට සහතික වී තිබුණා.

අන්තවාදීන් සහ මූලධර්මවාදීන් සමඟ කරන අරගලයේ දී පාකිස්තානය මුහුණ දෙන ගැටලු මෙම සිද්ධියෙන් ඉස්මතු වෙනවා. පසුගිය වසර කිහිපය තුළ මෙවැනි ම චෝදනා ආකාරයේ චෝදනා එල්ලකරමින් ඝාතනය කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 100ක් පමණ වනවා.  ඒ අතර පකිස්තාන මුස්ලිම්වරුන්, වෙනත් ඉස්ලාම් නිකායන්හි පුද්ගයන් සහ සුළු ජාතීන් ද සිටිනවා.

වසර ගණනාවක අස්ථාවරත්වය, තරඟකාරී මතවාදයන් සහ අධික ප්‍රචණ්ඩත්වය පාකිස්තානය දැන් පවතින තත්ත්වයට පත් කිරීමට හේතු වුණා. පකිස්ථානය බොහෝ සෙයින් පිල් බෙදී ඇත, සමහරක් දේශීය වන අතර සමහරක් විදේශීය බලපෑම් මත ගොඩනැගී ඇත, පකිස්ථානයේ කොටසක් සඳහා තරඟ කරන බොහෝ කණ්ඩායම් ඇත.

විදේශයන්හි අන්තවාදී සංවිධානවල අරමුදල්වලින් පෝෂණය වූ මෙම අරගලය දශක ගණනාවක් තිස්සේ පැවති අතර පාකිස්තානයේ ආගමික සහ දේශපාලන කණ්ඩායම් අතර බොහෝ ඝට්ටන ඇති කරමින් ගැටලු රැසක් නිර්මාණය කළා.

එහෙත්, දශක කිහිපයකට පෙර තලේබාන් ආභාෂය ලැබූ කණ්ඩායම් පකිස්තානයට එරෙහිව සටන් කළ කාලයට වඩා දැන් හොඳ තත්ත්වයක පවතින බව පිළිගත හැකියි. ආරක්‍ෂක හමුදා, පොලිසිය සහ සාමාන්‍ය පුරවැසියන් ඇතුළු පකිස්‌තාන් ජාතිකයන් 40,000කට ආසන්න ප්‍රමාණයක්‌ ඒ සටන්වලින් මිය ගියා.

එහෙත් මෙවැනි සිදුවීම් දිගින් දිගටම පවතින අතර එය සැමගේ අවධානයට ලක්විය යුතු කරුණක්.

පකිස්තානයේ සැලකිය යුතු කාලයක් ජීවත් වූ සහ සේවය කළ මගේ ධුර කාලය අවසන් වූ පසු නැවත වාර ගණනක් එරට සංචාරය කළ අයකු ලෙස අවබෝධය සඳහා යමක් යෝජනා කළ හැකියි.

සාමාන්‍යයෙන් පාකිස්තානයේ ශ්‍රී ලාංකිකයන්ට ඉහළ ගෞරවයක් හිමිවෙනවා. බොහෝ ප්‍රභූ පාසල් ශ්‍රී ලාංකීය අධ්‍යාපනඥයින් විසින් මෙහෙයවනු ලබන අතර, ඒ පාසල් වැඩි ප්‍රමාණයක් කතෝලික පල්ලි විසින් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පකිස්තානය අතර සබඳතාව ඉතා සමීප වන අතර එය අත්‍යාවශ්‍යම අවස්ථාවේ දී උපකාර කළ කළණ මිතුරෙකු බව නොරහසක්.

පකිස්තානයේ දේශපාලන නායකයින් සහ එහි නරුම අර්ධ-ආගමික චින්තකයන් විසින් බොහෝ බිහිසුණු වැරදි සිදු කළා. අධ්‍යාපන මට්ටම ඉතාමත් පහළ අගයක ඇති සහ බාහිර ලෝකයට නිරාවරණය වීම දැඩි ලෙස සීමා වී ඇති සාමාන්‍ය පකිස්තාන ජාතිකයන්ට කුමාරගේ ඝාතනය වැනි සිදුවීම්වලට දොස් පැවරීමට නොහැකියි.

මීට පෙර ද අහිංසක පකිස්තාන ජාතිකයන්ට මෙවැනි මැර කල්ලි පහරදීමේ ඉතිහාසයක් තිබෙනවා. එක්තරා පුද්ගලයෙක් තමන් ආදරය කළ තරුණියක් සිය නීතිඥ කාර්යාලයේ දී ඇගේ මව ඉදිරිපිටදී ම ඝාතනයට ලක්වුණා.  පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපහාස කළ බවට චෝදනා ලැබ නිදහස් කරන ලද සුළු ජාතික තරුණයන් දෙදෙනෙක් උසාවියේ පඩිපෙළ බැස යද්දී ඝාතනය කෙරුණා.

කුමාර මරා දැමුවේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු හෝ සිංහල බෞද්ධයෙකු නිසා නොවේ. කුමන හේතුවක් නිසා හෝ කෙනෙකුට හානියක් කිරීමට සූදානම් වූ මේ උමතු මිනීමරු පිරිස අතින්, ඔහු මිය ගියේ ඒ රටේ ජීවත් වන වෙනත් ඕනෑම පුද්ගලයෙකුට සිදු විය හැකි ආකාරයටයි.

එය කෙබඳු දැයි ශ්‍රී ලාංකිකයන් වන අපි නිසැකවම දන්නා කරුණක්.

1983 දී මහ කොළඹ ප්‍රදේශයේ දෙමළ ජනයාට එරෙහිව සිදු වූ සංහාරයන් හරහා ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් වන අපි අපගේ අසල්වැසියන් සහ ඥාතීන් අපගේ සතුරන් ලෙස හඳුනාගෙන එක රැයකින් පහර දී ඝාතනය කළ ආකාරය සිහිපත් කළ ආකාරය අපගේ මතකයේ තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර දිගන ප්‍රදේශයේදී ප්‍රාදේශීය දේශපාලකයින් විසින් උසිගන්වන ලද මැර කල්ලි තම අසල්වැසි මුස්ලිම් ජනතාවට පහර දුන් ආකාරය අපි දුටුවා. නිවසකට පෙට්‍රල් බෝම්බ හෙළීමෙන් මුස්ලිම් තරුණයෙකු පණපිටින් පිළිස්සී මියගියේ ඔහුට එම ස්ථානයෙන් පැන යාමට නොහැකි  වීමෙන්. තවමත් මේ අපරාධ සම්බන්ධයෙන් කිසිවෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගක් අරගෙන නැහැ. මියගිය එම තරුණයාගේ ඥාතීන් පවසන්නේ මිනී මරුවන්ට දැන් සමාව දී ඇති බවයි.

අපේ අසල්වාසීන්ට වෛර කිරීමට දේශපාලන නායකයන් විසින් නැවත නැවතත් අපව පොළඹවා තිබෙනවා. වරෙක දෙමළ කතාකරන ජනතාවට එරෙහි වෙනවා, තවත් වරෙක ඉස්ලාම් ආගම අදහන ජනතාවට එරෙහි වෙනවා. සෑම විටම බහුතර සිංහල අපි ඒ බොරුවලට අහුවෙලා අපේ අසල්වාසීන්ට, හිතවතුන්ට, සමහර වෙලාවට පවුලේ අයට පවා පහර දීලා, අවුල් ජාලාවක් ඇති කරන්න අවශ්‍ය පාර්ශ්වවලට උදව් කරනවා.

අප දැන් විමසිලිමත් විය යුත්තේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් සාමාන්‍යයෙන් මුහුණ දුන් මෙවැනි ප්‍රශ්නවලින් මෙම මරණය සම්බන්දව වියවුලක් ඇති තිරීමට ඉඩ නොදීමටයි. මේ ඛේදනීය සිදුවීම යොදාගෙන රට තුළ අවුල් ජාලාවක් ඇති කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඉතා පහසු ය. අපි සුපරීක්ෂාකාරී විය යුතු අතර, අපගේ හැඟීම්වලට ඉඩ නොදිය යුතුයි. අප දන්නා පරිදි, අන්තවාදීන් සෑම තැනකම සිටින අතර, විවිධ අදෘශ්‍යමාන හස්තයන්ට මුවා වී, මෙවැනි සිදුවීමක් කිසිවෙකුට එරෙහිව භාවිතා කිරීමට බලා සිටියි, ඔවුන් මෙවැනි දේ තර්ජනයන් ලෙස සලකයි.

පකිස්ථානයේ සිදු වූ දෙය සමාව දිය නොහැකි සහ බිහිසුණු ඛේදවාචකයක් බවට විවාදයක් නැහැ. මෙවැනි අමන ක්‍රියාවක් කිසිවකුට අනුමත කරන්නටත් බැහැ. එය ඇත්තෙන්ම මිත්‍රශීලී රටක සිදුවන දේ පිළිබඳ කණගාටුදායක විවරණයක්. බොහෝ පකිස්තානුවන් බලාපොරෙත්තු වන අයුරින්, මෙවැනි දේවල් නිවැරදි කිරීමට අපි පකිස්තානය සමඟ එක්ව වැඩ කළ යුතු වනවා.

සියල්ලටම වඩා, කිසිම ආගමක් හෝ ජීවන රටාවක් පරිපූර්ණ නොවන බවත්, ඇදහිල්ල හෝ විශ්වාසයට වඩා ගෞරවය සහ ඉවසීම තවත් ඛේදවාචක වැළැක්වීමේ යතුර බවත් සියලු දෙනා දැනුවත් කිරීමට කාලය එළැඹ තිබෙනවා.

මෙම ලිපිය factum ආයනය මගින් සැකසූවකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!