spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවෙන් හමුවූ සුවිසල් මැණික් ගල්වලට සිදුවූ දේ

පුවත්

විදෙස්

අශෝක ජයතුංග විසිනි

මෙරට වෙලාගත් ඩොලර් බිලියන ගණනක් වන අධික ණයබර එක් රැයකදී ගෙවා නිමකල හැකි බවට  ප්‍රකාශ වූ කහවත්තේ හා අර්ල් ගුණසේකරගේ “බ්ලූ සැපයර් (කොරන්ඩම්)”  ගණයට අයත් මහා මැණික් ගල් දෙක ගැන දැන් කිසිවෙකු කතා කරන්නේ නැත.

මේ වසර මුලදී කහවත්තෙන් හමුවූ කිලෝ 513 ක් බර දැවැන්ත මැණික් ගල පිළිබඳ පුවත සැලවීමත් සමඟම සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන හිටපු ඇමති අර්ල් ගුණසේකරට රක්වාන පතලකින් ලැබී වසර 05 ක් නිවසේ  සඟවා  තිබූ  කිලෝ 94 ක් බර ගලක් ද කරළියට පැමිණියේය. එම සුවිශේෂී ගල් දෙක ජාත්‍යන්තරය තුළ ඩොලර් මිලියන සිය ගණනකට අලෙවි කලහැකි බවට මත පළවීමත් සමඟ ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ද  ඊට අත ගැසුවේය.

 ඩොලර් හිගයෙන් වේදනා විඳින රට ගොඩගැනීමට එම ගල් විශේෂ ගුවන් යානයකින් නොවැම්බරයේ දී චීනයේ ෂැංහයි නුවර  දැවැන්ත වෙන්දේසියට යවන බවට ද මත පළවිය.එහෙත් කයිවාරු වල තරමට වැඩ සිදුවූයේ නැත. එවැනි ජාත්‍යන්තර වෙන්දේසියකට යැවීමට පෙර එම ගල් වල තත්ව පරීක්ෂණ වාර්තාවක් හරහා ගල් වල බාහිර හා අභ්‍යන්තර සංයුතිය පිළිබඳ සහතික කල නිළ  ලියවිලි අවශ්‍ය විය. මූල්‍යමය වටිනාකම් තක්සේරුවට ද එවැනි  වාර්ථා  ප්‍රමුඛ  සාධකයක් වේ. කටයුතු මන්දගාමී වූයේ හා රටේ පිනට ලැබුණු එම ගල් දෙක ෂැංහයි යාම ලොප්  වූයේ එකී පසුබිම තුළ විය හැකිය.

 එහෙත් මැණික් අධිකාරිය විසින් වෙනත් මැණික් ව්‍යාපාරිකයින් 46 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට ලක්කොට ඉන් 24 දෙනෙකු ෂැංහයි වෙන්දේසියට  ගෙනයාමට උත්සාහ කල ද චීනයේ ශ්‍රී ලංකා තනාපති සේවයේ ඉහළම වගකිවයුත්තන්ගේ අකාර්යක්ෂමතාව හා යම්  දූෂිත කටයුතු හේතුවෙන් මැණික් අධිකාරියේ රු ලක්ෂ 74 ක මුදල් අවභාවිතවී රටට අහිමිවන පසුබිමක් ද ඇති වූ බව ඉතා විශ්වාසදායක  ආරංචි මාර්ග හරහා වාර්තාවී තිබේ. එම අක්‍රමිකතාව මැණික් අධිකාරිය හා චීනයේ ලංකා තානාපති නිලධාරීන් වෙනමම බේරාගත යුතු ගැටලුවකි.

අර්ල් ගුණසේකර තම ගල මැණික් අධිකාරියට ගෙනයාමට දී පැත්තකටවී සිටියේ ඔහුගේ වැඩ අධිකකම තුළය. එහෙත් කහවත්තේ ගලේ උරුමකරුවන්  එසේ  සිටියේ නැත. එම පවුලේ පියා  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකි. දියණිය ඕස්ට්‍රෙලියාවේ  පදිංචි බැරිස්ටර්වරියකි.  පුත්‍රයා පර්ත්හි එඩිත්කෝවන් විශ්වවිද්‍යාලයේ මුදල් හා ගිණුම්කරණය  පිළිබද ඉහළම අධ්‍යාපනයක් ලැබූවෙකි. දෙස් විදස් ඉහළ සමාජ ආශ්‍රයක් ඇති බුද්ධිමත්  අයෙකු වන එම පුත්‍රයා  වැඩේ කරට ගත්තේය. එසේ ම මැණික් අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන්ගේ සහාය ද ඒ සඳහා ලබා ගත්තේය.

වගකිවයුතු මාධ්‍යකරුවෙකු ලෙස මෙම ලේඛකයා පවතින තත්වය ගැන ඔවුන් සමඟ කතාබහ කළෙමි. ඔවුන්ගේ නම්ගම් හා සෙසු විස්තර මෙන්ම උපාය මාර්ග ද එළි නොකරන්නේ දැවැන්ත වගකීම් සහිතව මේ කර්තව්‍ය අවසන්කර රටට වාසි ගෙන ඒමට ඔවුන්ට උපරිම සහාය ලබාදීම මාගේ ද දැවැන්ත වගකීමක් වන බැවිනි.

ජාත්‍යන්තරව මැණික් පරීක්ෂා කොට තත්ව වාර්ථා එළිදක්වන ස්විස්ටර්ලන්තයේ ග්ගුග්ලින්  මැණික් පරීක්ෂණාගාරය වෙත කහවත්තේ ගල මීට මාසයකට පෙර යැවීමට ඔවුහු ක්‍රියා කලහ. යැවීමට පෙර ඔවුන් කලේ එංගලන්තයේ දැවැන්ත ලොයිඩ් රක්ෂණ සමාගමට අනුබද්ධ  බ්‍රින්ක්ස් සමාගම තුල මැණික් ගල රක්ෂණය කිරීමයි. ගල ආරක්ෂිතව ඇසිරීමට තවත් ඊට අදාළ විශේෂඥ සමාගමකට පැවරූ අතර ආරක්ෂාකාරීව ගල ස්විස් වෙත ප්‍රවාහනය කිරීම  තවත්  විශේෂ හැකියාවක් සහිත සමාගමකට පැවරීය. මෙම ගල දැනට පරීක්ෂ මට්ටමේ පවතින අතර තව සති දෙකකින් වාර්තාව එළිදැකීමට නියමිතය. යුරෝපයේ එම ක්ෂ්‍රේත්‍රය අධ්‍යනය කරන සිසුන්ට තම ගල අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව ලබාදීමටද කහවත්තේ පවුල විසින් සිදුකල සුවිශේෂ ක්‍රියාවකි.

කහවත්තේ  ගල සඳහා ප්‍රචාරණය ලබාදීමට දෙස්  විදෙස් ආයතන හා පිරිස් ඉදිරිපත් වුවද කහවත්තේ පවුල ඒ සඳහා තෝරාගත්තේ බ්‍රිතාන්‍යයේ BBC  ය පමණකි. ඔවුන් දියත්කල මාධ්‍ය මෙහෙයුම ලොවපුරා ප්‍රචලිතවීම තුල ඇමෙරිකාව කැනඩාව දකුණු ඇමෙරිකානු රටවල් මෙන්ම යුරෝපය , ආසියාව මෙන්ම ඕස්ට්‍රෙලියාව නවසීලන්තය ඇතුළු ලොව පුරා මෙම මැණික් ගල පිළිබඳ දැවැන්ත ප්‍රචාරණයක් මේ වනවිට  විසරණය වී  තිබේ. එංගලන්තයේ ආයතනයක් ගණන් හදා ඇති පරිදි එය ඩොලර් මිලියන 3 . 9  ක් වටිනා දැවැන්ත ප්‍රචාරණයක් බවට මත පළවේ. එය ලංකාව හා මෙරට මැණික් ක්ෂ්‍රේත්‍රය ද ජාත්‍යන්තරව ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි

 එම පවුලේ පිරිස් මා සමඟ  කතාබහ කළේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා කටයුතු කර ඇති වගකිවයුතු පසුබිම තුළය.

 “මේ ගල ලැබුණේ අපේ වත්තෙන්. ළිඳක් හාරද්දි ලැබුණාය කියන කතාව නිවැරදි නෑ. ගල හමුවූ තැනට යාබදව ළිඳක් තියෙනවා. ගල මේ වසරේ මුල ලැබුණේ. මුලින්ම කලේ ගල ශුද්ධ පවිත්‍ර කිරීමයි. එතනදි සුළු අතපසුවීමකුත් වුණා. එය ගැටලුවක් වෙන්නෙ නෑ. මේ ගල  මෙරට සිටින අදාළ ඉහළම විශේෂඥයන්ට පෙන්වා එම සුවිශේෂ උපදෙස් මතයි අපි වැඩේට බැස්සේ. ඒත් ගල දැකලාවත් නැති බාගෙට මැණික් ගැන දන්නා අය විවිධ අසත්‍ය මතවාද පැතිරවීම රටට කල අවාසියක්.මේ රටේ බහුතර ජනමාධ්‍ය වල හැසිරීමත් කනගාටුදායක මට්ටමක තිබුණා”

 “මේ ගල ඉහළම මිලකට විකුණා විදේශ මුදල් රටට ගෙන ඒම හා ඒ හරහා රටේ ආර්ථිකයට සහාය දීම අපේ මූලික අරමුණ වෙනවා. මේ වනවිට අපේ අතේ මුදල් මිලියන ගණනක් මේ වැඩේට වියදම් කර තියෙනවා. ගල විකිණීම මීටර් 100 අතිධානවකාරී රේස් එකක් නෙවෙයි. අපි සෙමෙන් හා නිවැරදි මැරතන් එකක් මේ දුවන්නේ”

“සියල්ල තීන්දු වන්නේ ස්විස්  වල තත්ව වාර්තාව මතයි. අප සාම්ප්‍රදායික සංස්කෘතිකම කටයුතු කළත්, විද්‍යාව හා නව තාක්ෂණය ගැනයි විශ්වාසය තබන්නේ.ඉස්සර රත්නපුරේ ගෙවුඩ ලැබුණා. ඒවට වටිනාකමක් තිබුණෙ නෑ. ඒත් තායිලන්ත ජාතිකයන්ගේ පැමිණීම නිසා ගෙවුඩ හරහා රටට විශාල ආර්ථික වාසියක් ලැබුණා. අපේ ගල වැනි ඒත් ඊට කුඩා ගල් හුඟක්  මේ රටේ තියෙනවා.  ඒවා අළෙවි කරගන්න බොහෝ දෙනෙකු නිවැරදි මාර්ගය දන්නේ නැහැ. මෙවැනි ගල් මාකට් වෙන්නේ විශාලත්වය මතයි.අපේ ගල මාකට් කරලා ඒ අයටත් පාර කියා දී   රටට විශාල ප්‍රතිලාභ ලබාදීම අපේ  ප්‍රධාන  අරමුණයි”

 “අනුන් කරන දේ කරන අය නොව අලුතින් හිතලා නිර්මාණාත්මකව වැඩ කරලා  යමක් අලුතින් මාකට් කරගන්න අපේ මිනිස්සුන්ට ආදර්ශය දී  ඔවුනුත් ඊට  යොමු කිරීම අපේ උත්සාහයයි. ලෝකයේ මුදල් අසීමිතව එකතුකල මිනිස්සු 10,000 ක් විතර ඉන්නවා. ඔවුන්ට විවිධ විනෝදාංශ හා ආස දේවල් තියෙනවා. මැණික් දියමන්ති රන් පිළිම චිත්‍ර හා මූර්ති ලී හා ගල් කැටයම් සුප්‍රසිද්ධ අය පරිහරණය කල භාණ්ඩ  හා සෞන්දර්යාත්මක දේ එකතුවක් ලෙස කරන අය යි අපි ඉලක්ක කරන්නේ. අපේ ගල මතුපිටින් අමුතු වුණාට මේකෙ ඇතුල නිල් මැණිකක සංයුතිය තිබිය හැකියි. අපි දන්නේ නෑ. අපි මේ වාර්තාව එන තුරු බලා ඉන්නවා” එම පවුලේ පුත්‍රයා කතාව නිම කලේ එසේය.

කහවත්ත පවුලට ලැබුණු මේ ගලට මෙන් ම අර්ල් ගුණසේකර සතුව ඇති මැණික් ගලටත් නුදුරේම ලොව මවිත කරවන ඉහළ මූල්‍ය වටිනාකමක් ලැබෙන්නේ නම් එය රටේ ආර්ථිකයට ශක්තියක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!