“ලලිත් – ගාමිණී” උගුලකට හසු වූ හැටි. දෝශාභියෝගය යනු ඉතිහාසයේ මහා පාවාදීමක්

පුවත්

මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන...

පාලම් පාරුව පෙරැළී මව සහ දරු දෙදෙනකු ඇතුළු 06ක් මරුට. 20ක් රෝහලේ

කින්නියා කුරුඤ්ඤන්කේනී පාලම් පාරුව පෙරැළීමෙන් 06 දෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මියගිය අය අතර මව...

රීඩ් මාවතේ මැක්ඩොනල්ඩ් ආයතනයේ ගින්නක් (වීඩියෝ සහිතයි)

කොළඹ තුරඟ තරඟ පිටියේ ප්‍රේකෂකාගාර ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටි හෝටලයක සිදුවූ පිපිරීමකින් අද (20) උදෑසන ගින්නක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මවත්, දියණියත් මහ පාරේ දී යන්තමින් දිවි බේරාගනී (වීඩියෝ)

පාර මාරුවීම සඳහා ඇති සුදු ඉරක් අසළ අනෙකුත් වාහන නවතා තිබිය දී එය නොතකා මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ වෑන් රථයක...

විදෙස්

(සටහන – සජීව විජේවීර)

“අද ඔබතුමා පරෙස්සම් වෙන්න. හැම තැනින්ම එන්නේ නරක ආරංචි. විශේෂයෙන් ම අලුත්කඩේ රැස්වීම ගැන වැඩඩි අවධානයෙන් ඉන්න” යැයි බොහෝ දෙනකු ඔහුට උපදෙස් ලබා දී තිබිණි.

එදින රැස්වීම් මාලාවේ අවසාන රැස්වීම යොදාගෙන තිබුණේ අලුත්කඩේ දී ය. හිටපු ආරක්ෂක රාජ්‍ය අමාතයවරයකු වුව ද ඔහුට රජයෙන් කිසිදු ආරක්ෂකයකු ලබා දී තිබුණේ නැත. මේ නිසාම ඔහු වෙනුවෙන් සේවය කළේ පුද්ගලික ආරක්ෂකයන් පිරිසකි. මේ අනතුරු ඇඟවීම හේතුවෙන් සියලු ආරක්ෂක විධිවිධාන තර කෙරිණි. සෑම දෙයක් ගැනම සියල්ලෝම විමසිලිමත් වූහ. මාර්ගයේ යන එන සැකකටයුතු වාහන ගැන පවා අවධානය යොමු කෙරිණි.

නමුත් කිසිවක් ම සිදුවූයේ නැත. සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ඉන් අනතුරුව වූයේ හදිසියේම සාමාන්‍ය සැළැස්මට පිටින් යොදාගත් කිරුළපන රැස්වීම් භූමියට ඔහුගේ පැමිණීමයි. අලුත්කඩේ රැස්වීම් භූමියෙන් පිටත් වූ ඔහු තම කාරයට නැගී එතෙක් හැඳ සිටි වෙඩි නොවදින කබාය ගලවා කාරයේ අසුනට තැබුවේ යම් ප්‍රහාරයක් කාරයට එල්ල වුවහොත් ඉන් ආරක්ෂාවක්ක ලැබෙන බව සිතා විය යුතුයි. කාරය කෙලින්ම කිරුළපන රැස්වීම් භූමියට පැමිණියේය.

වෙඩි නොවදින කබාය නොහැඳ ම ඔහු කාරයෙන් බැස රැස්වීමට ගියේය. තරමක වැසි පතිත වෙමින් තිබිණී. විදුලිය විසන්ධි වී තිබුණු බැවින් හාත්පස අඳුර රජයන්නට විය. රැස්වීම පැවැත්වෙන වේදිකාව සහ ඒ වටා සුළු ප්‍රදේශයෙක් පමණක් විදුලි ජනන යන්ත්‍රයකින් ආලෝකමත් කර තිබිණි.

ඔල්වරසන් හඬ මධ්‍යයේ ඔහු කතාව ආරම්භ කළේය. මද වේලාවකින් රතිඤ්ඤා පුපුරන්නාක් වැනි හඬක් ඇසුණු අතර කතා කරමින් සිටි ඔහු ලේ පෙරාගෙන වේදිකාව මත ඇද වැටිණි. පැමිණ සිටි සියල්ලෝම හිස් ලූ ලූ අත දිව යන්නට වූහ.

වෙඩි වැදුණු ඔහු කොළඹ ජාතික රෝහලට ගෙන යනවිටත් ජීවත් ව සිටිය ද සුළු මොහොතකින් හෙතෙම ජීවිතයෙන් සමුගත්තේ මෙරට ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට සෝ සුසුම් ඉතිරිකරමිනි.

ඔහු අවසාන වශයෙන් කියා ඇත්තේ “ටේක් මී සූන්” යනුවෙනි.

ඔහු අන් කවරකුවත් නොව මෙරට ජනනායකයකු වූ ලලිත් විලියම් ඇතුලත්මුදලි ය.

1936 නොවැම්බර් 26 වැනි දා උපත ලැබූ ලලිත් ඇතුලත්මුදලි එදා 1993 අප්‍රේල් මස 23 වැනි දා කිරුළපන රැස්වීමේ දී වෙඩි වැදී මියිගියේය.

ලලිත් ඇතුලත්මුදලිගේ දේශපාලන ගමනේ දී ඔහු අසළින්ම සිටි ඔහුගේ සිසුවියක වූ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඒ ලලිත් ඇතුලත්මුදලි මහතාව සිහිපත් කරන්නේ මහත් ගෞරවයකිනි. ඇය පවසන්නේ මෙරට දේශපාලනික වශයෙන් යම් විනාශයක් වෙත ගමන් කළේ නම් ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක ඝාතකයන් ඊට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවයි. ජාතියේ නායකයන් එසේ ඝාතනය නොවන්නට මෙරට මීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව ඇය කියන්නීය.

ලලිත් ඇතුළත්මුදලි මහතා ජනාධිපිත නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් දිනය. ශ්‍රීමනී මහත්මිය අසළ වම් පසින් සිටින්නේ ශ්‍යාමිලා පෙරේරා මහත්මියයි

“මට එතුමාව මුලින්ම හමුවෙන්නේ නිති විද්‍යාලයේ දී ඒ වනවිට එතුමා ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් හිටියේ නැහැ. එතුමා අපිට දේශන පැවැත්වුවා. නියමිත වේලාවට වැඩ කරන්න එතුමාට අපූරු පුරුද්දක් තිබුණා. උදේ 8.00 දේශනය පටන්ගන්නවානම් එතුමා ඊට කලින් එනවා. අපි දේශන ශාලාවේ අසුන් ගත්තම එතුමා දේශනය ආරම්භ කරන්නේ හරියටම 8.00ට. 8.05ට දේශන ශාලාවේ දොර වහනවා. ඉන් පස්සේ කිසිම කෙනෙකුට ශාලාවට ඇතුළු වෙන්න බැහැ. ඒ විදියට තමයි අපිට ඉගැන්නුවේ. එතුමා ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්. කවදාවත් සටහන් දෙන්නේ නැහැ. ඇත්තටම එතුමාගේ දේශන අහගෙන හිටපු අපිට කවදාවත් සටහන් අවශ්‍ය වුණේ නැහැ. දේශන අහගෙන ඉදලා පොත් කිහිපයක් අධ්‍යයනය කරලා විභාගය සමත්වෙන්න පුළුවන්.”

ශ්‍යාමිලා පෙරේරා

ලලිත් ඇතුල්මුදලිගේ ශිෂ්‍යාවක වූ ඇය පසුව ඔහුගේ ම කණිෂ්ඨ නීතිඥවරියක වූවාය. එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායකගේ ආරාධනයෙන් ඇතුලත්මුදලි මහතා අගලවත්ත ආසනයෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබිණි. නමුත් ඔහුට ආසන සංවිධායක පත්වීම ලැබුණේ ඩඩ්ලිගේ වියෝවෙන් පසු ජේ.ආර්.ජයවර්ධන මහතාගෙනි.

ලලිත් ඇතුලත්මුදලි මංගල දිනයේ දී

අගලවත්තට ගිය ලලිත් ඇතුලත්මුදලි සමඟ ඔහුගේ නීති සඟයන් කිහිප දෙනෙක් ද වූශ. ඒ අතර ශ්‍යාමිලා මහත්මිය ද සිටියාය. ඉතාමත් සැළසුම් සහගතව අගලවත්තේ ගෙයින් ගෙට ගොස් අගලවත්ත ආසනය එක්සත් ජාතික පක්ෂ කඳවුරක් බවට පත්කරමින් සිටිය දී ජේ.ආර්. ලලිත්ගෙන් වෙනත් ඉල්ලීමක් කළේය. රජය පිහිටවූ පසු නව රජයේ වගකීම් කිහිපයක් දැරිය යුතු බැවින් අගලවත්ත ආසනය අතහැර කොළඹට ආසන්න රත්මලාන ආසනයට පැමිණිය යුතු බවයි. එ් සඳහා ඔහු අකමැත්තෙන් වුව ද කැමති වූයේය.

ඒ අනුව රත්මලාන ආසන සංවිධායක වූ ලලිත් ඇතුළත්මුදලි 1977 මැතිවරණයෙන් රත්මලාන ආසනය ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව පසුව එම රජයේ වෙළෙඳ හා නාවුක අමාත්‍යවරයා ලෙස පත්වූයේය.

නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය එවකට ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියයි.

ඇතුලත්මුදලි මහතා සමඟ අමාත්‍යාංශයේ කටයුතු කිරීම විශාල අත්දැකීමක් බව ඇය සිහිපත් කරයි.

ලෝකයේ ඉතාමත් වැදගත් වෙළෙඳ කේන්ද්‍රස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබුණ ද ඇතුලත්මුදලි මහතා අමාත්‍යවරයා වනවිට කොළඹ වරාය වර්ගීකරණය වී තිබුණේ ලොව වරායවල් අතර අවසාන වරාය කිහිපය අතරටය. ඒ දක්වාම කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් ආරම්භ කර තිබුණේ නැත.

ශ්‍යාමිලා මහත්මිය පවසන්නේ ඇමතිවරයා වෙළෙඳ අමාත්‍යාංශයේ සහ නාවික අමාත්‍යාංශයේ තිබූ යල්පැන ගිය නීති රැසක් වෙනස් කළ බවයි. එමගින් රට සංවර්ධනයට ඉතා සාධනීය පියවර ගත් බවත් වරායේ නව රැකියා අවස්ථා ඇතිකර රට පුරාම සිටින තරුණයන්ට රැකියා අවස්ථා උදාකරදුන් බවත් ඇය සිහිපත් කරයි.

“රත්මලාන ආසනයේ අපිට රස්සා දෙන්න බැරිවුණේ රස්සාවක් බලාපොරොත්තු වූ දෙන්නෙකුට විතරයි. ඒ දෙන්නා වයස වැඩි නිසා තමයි රස්සාවකට දාන්න බැරි වුණේ.”

වසර 40ක් පැරණි සමාගම් නීතිය වෙනස් කෙරිණි. බුද්ධිමය දේපල නීතිය හඳුන්වාදුන් අතර, අපනයන සංවර්ධන නීතිය, පාරිභොගික පනත මෙන්ම වරාය අධිකාරිය පිහිටුවීම ද ලලිත් ඇතුළත්මුදලිගේ කාර්යයන් අතර ප්‍රධාන විය. කොළඹ වරාය ලෝකයේ හොඳම වරාය අතර 23 වැනි ස්ථානය දක්වා ඔසවා තැබීමට හැකි වූ බව ඇය සිහිපත් කරයි.

“එතුමා මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය පටන්ගත්තේ හිතේ ඇතිවුණු ‍වේදනාවක් නිසා. 1979 දී බිබිලේ උත්සයකට ගියපු වෙලාවක එතැන තරුණ ළමයි ඉන්නවා දැකලා මෙතුමා ධර්මදාස බණ්ඩා ඇමතිතුමාගෙන් අහල තියෙනවා මේ ළමයි ඉස්කෝලේ යන්නෙ නැද්ද කියලා. සල්ලි නැති නිසා විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඒ නිසා කුලී වැඩ, කුඹුරු වැඩ කරනවා කියලා උත්තර දීලා. එදා කොළඹ ඇවිත් මමත් තවත් සමීප කණ්ඩායමකුත් එක්ක කිව්වා මුදල් නොමැති නිසා ඉගෙන ගන්න බැරි ළමයි වෙනුවෙවන් ශිෂ්‍යත්වයක් පටන් ගන්න ඕන කියලා. ඒකට මුදල් සොයන්න භාර අරමුදලක් හදන්න පුද්ගලිකව සල්ලි දාලා පටන්ගන්නවා කිව්වා.  මේ අරමුදල හැදුවේ ජනාධිපති ජේ.ආර්., අගමැති ප්‍රේමදාස, නෙවිල් සමරකෝන් වගේ අය සාක්ෂිි කරුවන් ලෙස සිටිමින්. අරමුදල සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අයිතිය මහපොළට දුන්නා. 1960 පටන්ගත්තු සංවර්ධන ලොතැරයිට අමතරව මහපොළ ලොතරැයියත් තියෙනවා. අයිතිය මහපොළ භාරකාර මණ්ඩලයට. එයින් කරන්නේ මහපොළ ශිෂ්‍යත්වය පිරිනැමීම පමණයි.”

මහපොළ යනු එවකට විවෘත ආර්ථිකය ආරම්භ කිරීමත් සමඟ ඇරඹි ව්‍යාපෘතියකි. අධ්‍යාපන සහ වෙළෙඳ ප්‍රදර්ශනයක් සහිතව සැණකෙළියක් පැවැත්වූ අතර විවිධ ව්‍යාපාරිකයන්ට හා ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමටත්, වෙළෙඳ අවස්ථා ඇතිකරගැනීමටත් එය මහඟ අවස්ථාවක් වී තිබිණි. රාජ්‍ය හා පුද්ගලික අංශ යොදාගෙන පාසල් භූමිකය මහපොළ ප්‍රදර්ශනය සිදුකරන අතර එයට සමගාමීව පුහුණුවීම්, සම්මන්ත්‍රණ, ක්‍රීඩා සංවර්ධනය සියල්ල සිදුකරයි. ප්‍රදර්ශන භූමියේ ප්‍රවේශ ටිකට්පත් අළෙවියෙන් ලැබෙන ආදායම එම පාසලට පරිත්‍යාග කරයි. ඊට අමරතව “ඥාන ප්‍රදීප” පුස්තකාල ද ස්ථාපිත කෙරිණි.

මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කිරීම සඳහා ලොතරැයිය අළෙවි කිරීම ද අපහසු කාර්යයක් වී තිබිණි. මේ නිසා ඇතැම් මෙහපොළ ප්‍රදර්ශනවල දී ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයා ම මිනිසුන් අතරට ගොස් ඒ ලොතැරයිපත් අළෙවි කළේය. එහි පළමු දිනුම් ඇදීම 1981 ජනවාරි 01 වැනි දා බණ්ඩාරවෙල පැවැති මහපොළ සංවත්සරයක දී සිදුකෙරිණි.  

“ඇමතිතුමාගේ අදහස තිබුණේ ආරම්භයේ දී රුපියල් 350.00 බැගින් ශිෂ්‍යත්ව 100ක් දෙන්න. නමුත් අපිට පළමු අවස්ථාවේ දී ම ශිෂ්‍යත්ව 400ක් දෙන්න පුළුවන් වුණා. දැන්නම් රුපියල් 5000.00ක මුදලක් දෙනවා. කුසලතා ශිෂ්‍යත්ව කියලා තොරොගත් 10%ක පිරිසකට රුපියල් 400.00 බැගින් දුන්නා. ඒ අය තෝරාගත්තේ ඔවුන්ගේ දක්ෂතාව අනුව. පළමු ශිෂ්‍යත්වය දුන්නේ යූ.ඩී.ජයරත්න කියලා අන්ධ ශිෂ්‍යයකුට” ශ්‍යාමිලා මහත්මිය මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ ආරම්භය සිහිපත් ක‍ළාය.

අන්ද සිසුවකුට ශිෂ්‍යත්වකයක් පිරිනමමින්

උතුරේ යුද්ධය ක්‍රමයෙන් දික්ගැසෙද්දී ඔහුට ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය ලැබිණි. නමුත් ඒ වනවිට වෙළඳ අමාත්‍යාංශය යටතේ අපනයන ගම්මාන පිහිටුවීමට කටයුතු කළ ඇතුලත්මුදලි නව අමාත්‍යාංශය භාර ගැනීම ප්‍රතික්ෂේප ක‍ළ ද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහු එය භාරගත්තේය. නමුත් අපනයන ගම්මාන ඔහු භාරයේ ම තිබිණි.

“ආරක්ෂක අමාත්‍යාංශය භාරගන්න විට හමුදාවේ හිටියේ 12,000යි. ඒ සංඛ්‍යාව ටික කාලයකින් 60,000ක් දක්වා වඩි කළා. කඳවුරු පිහටවූවා. විජය විමලරත්න සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව දෙදෙනා සමඟ ඇමතිවරයා ඉතාමත් සමීපව වැඩ කළා. ඔවුන්ට යුද්ධය කරන්න භාරදීලා අවශ්‍ය පහසුකම් සියල්ල ඇතිකළා. සිවිල් ආරක්ෂක බලකාය, ක්ෂණික විහිදුම් බලකාය වගේ විශේෂ ඒකක ඇති කළා. ඒ විතරක් නෙවෙයි නිතරම යුද්ධය පැවැති ප්‍රදේශවල සංචාරය කළා.”

උතුරේ යුද කඳවුරු සඳහා යන දින දිනපොතේ සටහන් කරන්නේ නැත. දිනපොත පවත්වාගෙන යාමේ වගකීම තිබූ ශ්‍යාමිලා ද ඒ දින ගැන දන්නේ නැත. අමාත්‍යවරයා පුද්ගලිකව ම දිනපොත ඉල්ලාගෙන එවැනි දිනවලට රහස් ලකුණක් යොදා තිබෙන ආකාරය ඇය නිරීක්ෂණය කර තිබේ. නාවික හමුදාවේ කාර්යයකට යන්නේ නම් සුදු පැහැති ඇඳුමක්, යුද හමුදාවේ කඳවුරකට යන විට කොළ පැහැති ඇඳුමක්, පොලිසියේ වැඩකට යන විට දුඹුරු පැහැති ඇඳුමක් අඳින ලලිත් ඇතුලත්මුදලි ඉන් අපේක්ෂා කළේ තමන් ද ඒ නිලධාරීන් හා සම වනු දැකීමයි.

වඩමරච්චි මෙහෙයුම සඳහා උපහාර ලබමින්

පාර්ලිමේන්තු බෝම්බය නිසා තමන්ගේ ආකල්පවල වෙනසක් ඇති වූ බවත් තවදුරටත් මරණ බය යනු කුමක්ද යන්න තමන්ට අදාල‍ නොවන බවත් ඉන් තුවාල ලැබූ ඇමතිවරයා ශ්‍යාමිලා ඇතුළු සිය පුද්ගලික කාර්ය මණ්ඩලය සමඟ පවසා තිබේ.

“එදා පාර්ලිමේන්තු බෝමබෙන් එතුමාගේ සිරුරට ඇතුළු වූ මූණිස්සම් කැබැල්ල තවත් සෙන්ටිමීටරයක් වෙනස් වුණානම් එතුමාට ක්ෂණික මරණයක් අත්විදින්න සිදුවෙනවා. අග්න්‍යාශය ඉවත් කරන්න සිදුව තිබුණා. එදා එතුමාගේ ජීවිතය බේරගන්න විශේෂ ඖෂධයක් ඕනෑ වුණා. ඒක ලංකාවේ නැහැ. පැය 24ක් ඇතුළත අවශ්‍ය වුණා. එංගලන්තයට සහ සංගප්පූරුවට මේ ගැන දැනුම් දුන්නාම එංගලන්තයෙන් එ් මොහොතේම පිටත්වෙන ගුවන් යානයක ඖෂධ එවා තිබුණා. ඒ විදියට තමයි ජීවිතය බේරාගත්තේ. රෝහලේ සිටිය දී ම කිව්වා ඒ බෝම්බ සිද්ධිය ගැන ලියන්න ඕන කියලා. වෛද්‍යවරු ශීත පරිසරයක ටික කාලයක් ඉන්න කිවූ නිසා නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ටික කාලක් නතර වෙලා හිටියා.”

පාර්ලිමේන්තු බෝම්බයෙන් තුවාල ලබා සිටිය දී සිය දියණිය සමඟ

මීරිගම පැවැති මහපොළ ප්‍රදර්ශන භූමියකට ලලිත් ඇතුලත්මුදලි ගියේ දුම්රියෙනි. තම කාර්ය මණ්ඩලය ද ඔහු සමඟ විය මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ ම මේ මහපොළ ප්‍රදර්ශන භූමිය පිහිටා තිබිණි. ඇමතිවරයා දුම්රියට ගොඩවනවිටත් එය සෙනඟින් පිරී තිබිණ්. ඔහු හිටගෙනම ගමන් කරයි. ඔහු හඳුනාගෙන ඔහු අසළට ආ පාසල් සිසු පිරිසක් පාර්ලිමේන්තු බෝම්බයෙන් සිදුවූ තුවාල පෙන්වන්න යැයි ඇමතිතුමාට කීහ.

වටපිට බැලූ ඇමතිතුමා තම කමිසය ගලවා තුවාල පෙන්වූයේය. මෙය එතැන සිටි ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන්විය.

පසුදා පුවත්පත්වල මුල් පිටුවේ ම ඒ ඡායාරූපය පළ වී තිබිණි. එය දුටු ඇමතිවරයා කීවේ “කතාකරන පින්තූරයක්” යනුවෙනි.

ඔහු තමන්ගේ පින්තූර වැඩිපුර පත්තරවල පළවනවාට කැමති නැතැයි ශ්‍යාමිලා කියයි. එක් දිනකට එක පින්තූරයකට වඩා අනවශ්‍ය බව ඔහු හැමදාමත් තම මධ්‍යලේකම්වරයාට සහ ඡායාරූප ශිල්පියාට පැවසුවේය.

උතුරේ යුද්ධය අවසන් කිරීම ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයාගේ දැඩි අධිෂ්ඨානයක් විය ඔහු එ‍් සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණේය. නමුත්, වඩමාරච්චි මෙහෙයුම වඩාත් සාර්ථකව ඉදිරියට ඇදී යද්දී ලලිත් ඇතුලත්මුදලි වඩාත්ම තැතිගත් සිදුවීම වූ බව ශ්‍යාමිලා මහත්මිය අදටත් සිහිපත් කරයි.

හදිසියේම ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරන බව දැනගත් එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වූ ලලිත් තමන් නොදැන එවැන්නක් සිදුවිය නොහැකි බව පවසා ජේ.ආර්. ජනාධිපතිවරයා ද හමුවූයේය.

“ඉන්දියන් හමුදාවව ගෙන්වනවාට ඇමතිතුමා කැමති වුණේ නැහැ. වඩමාරච්චි මෙහෙයුම නතරකිරීමත් ප්‍රශ්නයක් වුණා. අපි කිහිප දෙනෙනක් සහ එතුමාට හිතවත්ම කිහිප දෙනෙක් එක්ක එළිවෙනකම් නිදි වරාගෙන මේ ගැන සාකච්ඡා කළා. අත්සන් කරන අවස්ථාවට යන්නේ නැහැ කිව්වා. ගොඩක් දෙනෙක් ඉල්ලා සිටියා මේක දේශපාලන ගමනට ගැටලුවක් වේවි ඒ නිසා යන්න කියලා. නමුත් එතුමා කිව්වේ මගෙන් පස්සේ මගේ දරුවෝ මේ රටේ ඉන්න ඕනෑ. මගේ හෘද සාක්ෂියක් තියෙනවා. මම මේකට විරුද්ධයි කියලා.”

ශ්‍යාමිලා පවසන්නේ පසුදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන දින උදෑසන ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා හදිසියේම අතුරුදන් වූ බවයි. සම්බන්ධීකරණ ලේකම්වරිය වූ ඇය ද ඔහු සිටි තැනක් දැන සිටියේ නැත. උදෑසන ම නිවසින් පිටත් වූ ඇමතිවරයා කාරය නිවසට එවා තිබිණි. ඔහු සිටි තැනක් කිසිවකු දන්නේ නැත. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලලිත් ඇතුලත්මුදලිගේ නිවසට දුරකථන ඇමතුම් රැසක් ලැබුණ ද ඒ සියල්ලට පිළිිතුර වශයෙන් දීමට තිබ‍ුණේ ඇමතිතුමා කොහේ ද ගියා අපි කවුරුවත් දන්නේ නෑ යන්න පමණි.

“අපිට පස්සේ තමයි කිව්වේ එතුමා ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියේ ඉදගෙන ගිවිසුම අත්සන් කිරීමේ සිද්ධිය රූපවාහිනියෙන් සජීවීව නරඹලා තියෙනවා. මේ ගිවිසුම ගැන හැමදාමත් එතුමා සිටියේ කලකිරීමකින්”

ජේආර් ජනාධිපතිවරාගෙන් පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සටන කරළියට පිවිසියේය. කවුරුන් හෝ මේ අපේක්ෂකත්වය සඳහා තරඟ කරන්නේ නම් තමන් ද ඒ සඳහා තරඟ කරන බවත් නැතිනම් සියලු දෙනාගේ ම කැමැත්තෙන් අපෙක්ෂකයකු තෝරාගන්නේ නම් ඒ කවුරුන් වුව ද තමන් ඔහුට සහය දෙන බව ඇතුලත්මුදලි මහතා කියා තිබිණි.

ජනාධිපති අපේක්ෂකයාගේ ගැටලුව විසඳීමේ දූත මෙහෙවර කළේ රන්ජන් විජේරත්න අමාත්‍යවරයා විසිනි. අවසානයේ ලලිත් ගාමිණී දෙදෙනාගේ යෝජනා ස්ථිරත්වයෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වූවා පමණක් නොව ගල උඩ සටනක් බවට පත්ව තිබූ ජනාධිපතිවරණය ඔවුන් දෙදෙනාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ජයගැනීමට ද හෙතෙම සමත්වූයේය.

අධ්‍යාපන ඇමතිවරයා ලෙස

ජනාධිපති අපේක්ෂකයාගේ ගැටලුව විසඳීමේ දූත මෙහෙවර කළේ රන්ජන් විජේරත්න අමාත්‍යවරයා විසිනි. අවසානයේ ලලිත් ගාමිණී දෙදෙනාගේ යෝජනා ස්ථිරත්වයෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වූවා පමණක් නොව ගල උඩ සටනක් බවට පත්ව තිබූ ජනාධිපතිවරණය ඔවුන් දෙදෙනාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ජයගැනීමට ද හෙතෙම සමත්වූයේය.

රටම අපෙක්ෂා කළේ ඉන් පසු පැවැත්වෙන මහ මැතිවවරණයෙන් පසු ලලිත් ඇතුලත්මුදලි හෝ ගාමිණී දිසානායක දෙදෙනාගෙන් කෙනෙකු මෙරට අගමැතිවනු ඇති බවයි.

ලලිත් සිය දියණිය සහ බිරිඳ සමඟ

නමුත් යටිනුවර අයකු ලලිත් ඇතුලත්මුදලිගේ නිවසට ලිපියක් ලැබී තිබිණි. ඒ ඇතුලත්මුදලි මහතාගේ ඡන්ද දායකයකු නොවන තැනැත්තෙකුගෙනි. එහි සඳහන් වූයේ “ඔබතුමාගෙනුත් ගාමිණී දිසානායක මහත්තයගෙනුත් වැඩ‍ ගත්තට අගමැතිකම දෙන්න් ඩී.බී.විජේතුංග මහත්තයාට” යනුවෙන් ඒ ලිපියේ සඳහන් කර තිබිණි.

මහ මැතිවරණය ද එක්සත් ජාතික පක්ෂය ජයගත්තේය. කොළඹ මැතිවරණ කොට්ඨාස 15 අතරින් 09කින් ම වැඩිම මනාප ලැබූ ලලිත් මනාප ලබාගැනීමේ වාර්තාවක් ද පිහිටුවා තිබිණි.

“මැතිවරණය අවසන් වුණාට පසසේ ජනාධිපතිතුමා ඇමතිතුමාට කතා කරලා ඇවිත් හමුවෙන්න කිව්වා. එදා පැයක් විතර කතා කර කර ඉඳලා තියෙනවා. නමුත් කතා කරලා තියෙන්නේ සාමාන්‍ය තොරතුරු විතරයි. අගමැතිකම ගැනවත් ඇමතිවරු පත්කිරීම ගැනවත් දේශපාලනය ගැනවත් කතා කරලා නැහැ. එදා ගෙදරට ආපු ඇමතිතුමාගෙන් අපි ඇහුවා මොනවද කිව්වේ කියලා. අපිට කිව්වේ කිසිම බලාපොරොත්තුවක් තියා ගන්න එපා කියලා විතරයි. පස්සේ විජේතුංග මහත්තයා අගමැති හැටියට පත්වුණා. අපේ ඇමතිතුමාට ලැබුණේ කෘෂිකර්ම ඇමති ධූරය. එදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සමඟ දිවා භෝජන සංග්‍රහයක් තිබුණා. ඒ යද්දී නීතිඥ මහත්මයෙන් මේ ගැන ඇහුවම ඇමතිතුමා කිව්වේ හෙට පත්තරවල ප්‍රධාන ශීර්ෂයේ තියේවි අගමැති පත්කිරීම සහ ඇමතිකම් දීම ගැන. නමුත් අනිද්දා පත්තරේ කියවන අයට හෙට පත්තරේ තිබුණු ශීර්ෂය මතක නෑ. ඒක තමයි දේශපාලනේ කියලා.”

ලලිත් ඇතුලත්මුදලිට අමාත්‍යධූරය පිළිබඳ කිසිදු ගැටලුවක් තිබුණේ නැත. ලැබෙන ඇමතිධූරය භාවිතා කරමින් නිර්මාණශීලී ලෙස රටේ දියුණුව වෙනුවෙන් සහ මහජන සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කිරීම ඔහුගේ එකම අරමුණ විය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය භාරදුන් අවස්ථාවේ දි ඇමතිවරයා එය ඉතාමත් සතුරෙන් භාරගත් බව ශ්‍යාමිලා සිහිපත් කරයි. නමුත් අමාත්‍යාංශයේ දී පවා විවිධ කෙ‍ණෙහිලිකම් සිදුවූ බවත් ඒ සියල්ල රටේ ඉහළම තැනින් සැළසුම් සහගතව සිදුවූ බවත් ඇය පවසයි. මේ නිසා ඇමතිවරයා දැඩි කලකිරීමකින් සිටියේය.

වරක් ලෝක බැංකුවෙන් ලැබුණු ආරාධනයකට අනුව ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යාපන විශේෂඥයන්ගේ සමුළුවකට යාමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලූ අවස්ථාවේ දී අවසර නොලැබුණු බවත් ඒ ගැන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසූ විට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් “ඕවාට ගිහින් වැඩක් නෑ” යැයි කියූ බවත් ශ්‍යාමිලාගේ මතකයේ තිබේ.

ලලිත් ඇතුලත්මුදලි ‍ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා ලෙස පත්වී

මේ අතර ශ්‍රී ලංකා‍ ඉතිහාසයේ විශාලතම දේශපාලන පාවාදීම සිදුවූ බවත් ලලිත් ඇතුලත්මුදලි පවා එහි ගොදුරක් වූ බවත් ශ්‍යාමිලා මහත්මිය පවසයි.

“අපේ ඇමතිතුමාටවත්, ගාමිණී හෝ ප්‍රේමචන්ද්‍ර ඇමතිවරුන්ටවත් දෝශාභියෝගයක් පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒක සම්පූර්ණයෙන් ම මහා පාවාදීමක්. සමරවීර වීරවන්නි මහතා පැමිණ එවකට ඇමතිධූරය අහිමිව සිටි ගාමිණී දිසානායක හමුවී තිබුණා. අපේ ඇමතිතුමාටත්, ගාමිණී මහත්තයාටත්  එම්.එස්.මොහොමඩ් කතානායකතුමාව හමුවන්න යැයි දන්වා තිබුණේ ඔහු. ඒ අනුව ගියාම ඒ වනවිට තිබූ කලකිරීම් ගැන කියලා කතානායකතුමා තමයි පෙන්වාදීලා තිබුණේ දෝෂාභියෝගයක් ගෙන එන්න පුළුවන් බව. ඒ අනුව ක්‍රියාත්මක වෙලා රට බේරාගනිමු කියලා තියෙනවා. කතානායකතුමා කියල තියෙනවා දෝෂාභියෝගය දිනුවම බොරැල්ල වටරවුම ප්‍රමාණයට කේක් එකක් කපලා කනවා කියලා. ඔය විදියට තමයි මේ කුමන්ත්‍රණය පටන්ගත්තේ.”

ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ

ඇය පවසන්නේ එවකට කතානායකවරයාගේ උපදෙස් අනුව දෝෂාභියෝගය සැකසුණු බවයි. ගාමිණී දිසානායක, ප්‍රේමචන්ද්‍ර සහ ලලිිත් ඇතුලත්මුදලි යන තිදෙනා විසින් එය කොටස් තුනකට සකසා තිබිණි.  රහසින් සියල්ල සිදුකෙරුණු අතර විපක්ෂයේ සහය ලබාගැනීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනයට භාර කෙරිණි. එක් එක් මන්ත්‍රීවරු හමුවී වෙන වෙනම අත්සන් ගත් අතර දෝෂාභියෝගයට පාර්ලිමේන්තුවේ 1/3ක පිරිසක් අත්සන් කිරීමෙන් පසු එය කතානායකවරයා අපේක්ෂා කළ පරිදිම ඔහුට භාර කෙරිණි.

“කතානායතුමා මේ ගැන පුදුම උනන්දුවකින් හිටියේ. නමුත් රනිල් වික්‍රමසිංහ ඇමතිතුමා පවා කතා කරලා කිව්වා ඕකට යන්න එපා කියලා. එතකොට අපේ ඇමතිතුමා කිව්වේ මාත් එක්ක ආපු අය අතරමන් කරන්න බැහැ කියලා. මට මතකයි කතානායක තුමා ඒ දවස්වල ඔලුවේ තලප්පාවක් බැඳගෙන සරමක් ඇඳගෙන එයාගේ රම්ලි කියන ලේකම්තුමා එක්ක ත්‍රී වීලරයිකින් එනවා ඇමතිතුමාගේ අම්මාගේ ගෙදරට. ඒ ගෙදර ඉදලා අස්සෙන් ඇමතිතුමාගේ ගෙදරට පොඩි ගේට්ටුවකින් එනවා. නමුත් අවසන් මොහොතේ ඇතැම් අය කිව්ව වගේම කතානායකතුමා ජනාධිපතිතුමාට සහය දුන්නා. අන්තිමට දෝෂාභියෝගය න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න යනවිට කතානායක කිව්වා අවශ්‍ය අත්සන් ප්‍රමාණය නැහැ කියලා. අපි දන්නවා අවශ්‍ය අත්සන් ප්‍රමාණය තිබුණා. නමුත් අපිටත් වරදක් වුණා. කාතානයකතුමා විශ්වාස කරපු නිසා අපි සියලු ලේඛනවල මුල් පිටපත් එතුමාට භාර දුන්නේ ඡායාපිටපත් නොගෙන. ඒ නිසා අපිට තර්කකරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ දවස්වල රහස් ඔත්තුකරුවන් හැමතැනම. අත්සන් කරන මන්ත්‍රීවරු පස්සේ කෑ ගහනවා මගේ කොලේ මට ආපහු දෙන්න කියලා. මම දවසක් ගන්කන්ද මහත්තයා දාල ගියපු පෑනක් ගැන කෝල් එකක් දුන්නම ටිකකින් අපේ ඇමතිතුමා අහනවා කාටද කෝල් කළේ මෙන්න රෙකොඩින් එක කියලා. අපේ ටෙලිෆෝන් කතාවල් ඔක්කොම පටිගත කළා. අවසානයේ ඇමතිතුමා ඇතුළු පිරිස ඉතිහාසයේ මහා පාවාදීමට අහුවුණා.”

ඇය පවසන්නේ දෝෂාභියෝගය කතානායකවරයාට භාරදුන් පසු එහි තිබූ අන්තර්ගතය පවා වෙනස්කර තිබූ බවයි. අදටත් ‍ඒ දෝෂාභියෝගයට සිදුවූ දෙයක් නැත. ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කියා සිටියේ ඒ ගැන පසුව සොයා බැලීමේ දී පාර්ලිමේන්තුව සතුව දෝෂාභියෝගය නොමැති බවයි. එය එසේ සිදුවිය නොහැකි බවද ඇය පෙන්වා දෙයි.

දෝෂාභියෝගයෙන් පසු ලලිත්, ගාමිණී ඇතුළු පිරිස පක්ෂයෙන් නෙරපා දැමීම වාරණය කරන ලෙස ඉල්ලා අධිකරණයට ගිය විට එහි නඩුකාරවරයාට ජපානයට ශිෂ්‍යත්වයක් ලැබී ගොස් තිබූ බැවින් වෙනත් උසාවියකට නඩුව මාරු කිරීමට සිදුවිය. ඉන් පසු නඩුව විභාගයට ගත් අතර එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හිතවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් පැමිණ ඒ සියලු කරුණු සටහන් කරගන්නා ආකාරය ද ශ්‍යාමිලා මහත්මිය සියැසින් ම දැක ඇත.

“එදා දිවා ආහාරය අවස්ථාව වනවිට නඩුකාරතුමා උසාවිය කල් තැබුවා. මේ සිකුරාදා දවසක්. සවස තීන්දුව දැනුම් දෙනවා කියලා. අර සටහන් ගත්තු නීතිඥ මහත්මයාත් ඇතුලට යනවා මම දැක්කා. තීන්දුව ප්‍රකාශ කරන වෙලාවේ කිව්වේ. තීන්දුව නෙවෙයි මේ නඩුව මේ උසාවියේ විභාග කරන්න බැහැ කියලා. ඒකත් පුදුම කරුණක්. නඩුව විභාග කරන්න බැරිනම් ඒක ගොනු කළ අවස්ථාවේ කිව යුතුයි. විභාග කරලා කියන්න බැහැ. නමුත් එදා සිකුරාදා නිසා අපිට නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. හවස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තිබුණා. ඇමතිතුමා ඇතුළු පිරිස පක්ෂයෙන් නෙරපා දමන්න තීරණය කළා.”

ඉන්පසු සිදුවූයේ ලලිත්, ගාමිණී  දෙපළගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය හෙවත් රාජඅලියා කණ්ඩායම බිහිවීමයි. එය මෙරට දැවැන්ත විකල්ප බලවේගයක් බවට පත්වෙමින් තිබිණි. 1991 සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධානය කළ රාජාලියා කණ්ඩායම මෙරට යුග පෙරැළියකට අත පොවන බව පෙනෙන්නට තිබිණි. නිද්‍රාශීලීව සිටි විපක්ෂය ද අවදි විය. එක්සත් ජාතික පක්ෂ විරෝධයක් රට පුරා නැගෙන්නට විය.

රණවිරුවන්ගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණු අතර ලලිත් ඇතුලත්මුදලි බස්නාහිර පළාත් සභාවටත්, ගාමිණී දිසානායක මධ්‍යම පළාත් සභාවටත්, ප්‍රේමචන්ද්‍ර වයඹ පළාත් සභාවටත් වශයෙන් තරඟ කිරීමට සැළසුම් කෙරිණි. රට පුරා රැස්වීම සදහා දස දහස් ගණන ජනතාව ඒකරාශී වූහ. බල පෙරැළියකට රට ම සූදානම් වෙද්දී 1993 අවුරුදු දිනයේ සවස තේ පානයේ දී ශ්‍යාමිලා තම ගුරුවරයාට මෙසේ කීවේය.

“අපිට බයයි, ඔබතුමාට මොනවා හරි කරදරයක් කරාවි කියලා. ඒ නිසා තවත් පරෙස්සම් වෙන්න ඕනේ.”

“නෑ. මට අත තියලා ඒ අයට වැඩි දවසක් ඉන්න වෙන්නේ නෑ.” ඒ ඔහුගේ පිළිතුර විය.

ඊට දින ‍කිහිපයකට පසු මහරගම රැස්වීමකට පැමිණි පුද්ගලයකු කිරුළපනයේ රැස්වීමක් පැවැත්විය යුතු බව කියා සිටියේය. ඔහු ඉල්ලා සිටියේ 23 වැනි දා සවස් කාලයයි. දිනපොත පවත්වාගෙන යන්නේ ශ්‍යාමිලා විසිනි. ඇය කැඳවූ ලලිත් ඇතුලත්මුදලි රැස්වීම සඳහා දිනයක් දෙන ලෙස කීව ද ශ්‍යාමිලා ඊට කැමති වූයේ නැත. නමුත් උදේ කුරුණෑගල, හලාවත ප්‍රදේශවල ‍ගොස් සවස අලුත්කඩේට පැමිණෙන බැවින් ඉන් පසු කිරුළපන රැස්වීම සංවිධානය කරන්න යැයි ඔහුගේ උපදෙස විය. ශ්‍යාමිලා ද අකමැත්තෙන් ඊට කැමතිවූවාය. රැස්වීමට දිනය නියම විය.

දරුවන්ට ඉගැන්වූ මොහොතක්

“ 23 වැනි දා උදේ පාන්දරම මුන්නේෂ්වරම් යමු කියලා එතුමාගේ දෙමළ මිත්‍රයෙක් ආරාධනා කරලා තිබුණා. ඒ නිසා උදේම ගියා. මේ යනකොට ඇමතිතුමා පොඩි නින්දක ගිහින් තියෙන්නේ. මීගමුවේ දී දුම්රිය හරස්පාරේ ලයිට් එක තිබිලා නෑ. එතනින් වාහනය දාන්න හදනකොටම කෝචිචියේ ශබ්දය ඇහිලා රියදුරා එකපාරටම කාර් එක නවත්තලා. තව තත්පරයක් එහාට වුණානම් කාර් එක කෝච්චියේ වදිනවා. කාරයේ බ්‍රේක් ගහපු පාරට ගැස්සිලා ඇහැ ඇරිලා ඇමතිතුමා අහල තියෙනවා 99 බේරුණා නේද කියලා.”

“එතුමා ගියාට පස්සේ උදේ ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා කාර්යාලයට ඇවිත් ඇමතිතුමාව හෙව්වා. පස්සේ ශ්‍රීමනී මැතිනිය ගැන ඇහුවා. එතුමියට කතා කරලා කිව්වා අද ලලිත්ට පරෙස්සම් වෙලා ඉන්න කියලා. නකර දවසක් භයානක දෙයක් ගැන තොරතුරු තියෙනවා කියලා. අපිට සැකය තිබුණේ අලුත්කඩේ ගැන. ඒ නිසා පුද්ගලික ආරක්ෂකයන් යොදා එතැන ආරක්ෂාව තහවුරු කළා. නමුත් සිදුවුණේ හිතුවෙ නැති දෙයක්.”

ශ්‍යාමිලා පවසන්නේ කිරුලපනට එනවිට අවදානම ඔවුන්ගේ හිතෙන් පහව ගොස් තිබූ බවයි. විදුලි ආලෝකය විසන්දි වී තිබූ බවත් කිරුළපන වෙළෙඳ සංකීර්ණය අසළ රැස්වීමට ඉල්ලුව ද එය නොදී මුගලන් පාරේ පිට්ටනියට රැස්වීම යොමුකර තිබූ බවත් ඇය පවසන්නීය. රැස්වීම් භූමියේ එදා කිසිදු ආරක්ෂකයකු සිටියේ නැති බව ද ඇය පවසයි.

“මමත් අපේ මාධ්‍ය‍ ලේකම් උදය මානවසිංහත් හිටියේ මගේ කාර් එකේ. ඒ අතර තමයි රතිඤ්ඤා පුපුරනවා වගේ ඇහුණේ. මිනිස්සු දුවන්න පටන්ගත්තා. වෙඩි තියලා වෙඩි තියලා කියලා කෑ ගැහුවා. ඇමතිතුමාව අරගෙන යනවාවත් අපි දැක්කේ නැහැ. අපි දෙන්නා කෙලින්ම ජයවර්ධනපුර රෝහලට ගියා. එහේ නෑ. කොළඹ ජාතික රෝහලට ගියා. රෝහලට රැගෙන යනවිටත් එතුමාගේ පන තිබිලා. ශල්‍යාගාරයට ගන්න විට තමයි මියගිහින් තියෙන්නේ.”

දරුවන්ට පරිගණක තාක්ෂණය ලබා දෙමින්

අවසානයේ දී එය කොටි ත්‍රස්තයන්ගේ ගිනුමට බැර කෙරිණි. නමුත් මේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අවස්ථාවේ දී සාක්ෂි දුන් විදුලි කාර්මිකයකු වන රජගල්ගොඩ විමල් කවින්ද්‍ර මෙසේ කියා තිබේ.

“ලලිත් මහත්තයා කතා කරද්දී වැස්ස වැඩි වුණා. වැස්සෙන් බේරීමට මිනිස්සු වේදිකාව ගාවට ආවා. විනාඩි 10ක් විතර යනකොට තොප්පියක් දමාගත්තු අවුරුදු 30ක් විතර වෙන කෙනෙක් වැස්සෙන් බේරෙන්න වගේ මෙතැනට ආවා. එයාගේ කොණ්ඩය කොටටම කපලා තිබුණා. ලා කොළපාට ෂර්ට් එකකුයි නිල්පාට ඩෙනිම් කලිසමකුයි ඇඳ සිටියා. මෙයා මම වාඩිවෙලා හිටපු පුටුවේ ඇන්දේ වැඩිවුණා. මිනිහා ඇම්ප්ලිෆයර් එක දිහා බලලා ‘සෙට් එක තෙමනවා නේද ?’ කියලා හොඳට සිංහලෙන් ඇහුවා. වැස්ස පෑව්වම මිනිහා ස්ටේජ් එකේ දකුණු පැත්තට ගියා. එතකොට ලලිත් මහත්තයා කතාව පටන් අරන් විනාඩි 10ක් විතර ඇති. එකපාරටම සාක්කුවෙන් පිස්තෝලයක් ඇදල අරන් වෙඩි තියන්න ගත්තා. ලලිත් මහත්තයාගේ ආරක්ෂකයන් වෙඩි තිබ්බාම මිනිහත් ඇදන් වැටුනා. ඒත් නැව පැන ගියා.”

තම දේශපාලන සඟයා ගාමිණී දිසානායක සමඟ

ඝාතකයා යාපනේ සිට ආ අප්පායි බාලක්‍රිෂ්ණන් යැයි ද ඔහු කොටි වෙඩික්කරුවෙක් යැයි ද රජය ප්‍රකාශ කළේය. නමුත් ගාමිණී දිසානායක ඇතුළු පිරිස ඊට දැඩි විරෝධයක් දැක්වූහ.

කෙසේ වෙතත් ඝාතකයා තවමත් අභිරහසකි. මේ ඝාතනය පිළිබඳ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය පවා පරීක්ෂණ පැවැත්වුව ද ඒ වාර්තා සියල්ල අතුරුදන්ය.

ශ්‍යාමිලා පවසන්නේ එදා වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද ලලිත් ඇතුලත්මුදලි මියයන ආකාරයට වෙඩි තබා තිබූ බවයි.

ලලිත් ඇතුලත්මුදලි වමත් කාරයෙකි. වමත ඔසවන විට වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද කිහිල්ලට යටින් වෙඩි උණ්ඩයක් හෘදය දක්වා යැවීමට දක්ෂ වෙඩික්කරුවකුට හැකියාව ඇත. වෙඩි තබා ඇත්තේ එලෙස ඉලක්කය ගනිමිනි. කාරයේ තිබූ වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද ඔහු මරා දැමීමට මේ වෙඩික්කරුවට හැකියාව ලැබෙනු ඇත.

ලලිත් ඇතුලත්මුදලි ජීවතුන් අතර සිටිය දී ම ඔහුගේ චරිතාපදානය ලියූ ප්‍රවීන ගත් කතුවර රංජිත් අමරකීර්ති පලිහපිටිය එම චරිතාපදානයේ මෙසේ සටහන් කර ඇත.

“මා මියගිය දවසක මගේ සොහොනේ මේ දේ ලියවුණොත් මට එයම ඇති. රංජිත් ඒ තමයි ‘මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.’ ඔහු වෙනුවෙන් ඉදිවූ ස්මාරකයේ අදටත් ඒ වැකිය ලියා තිබේ.

ලලිත් ඇතුලත්මුදලිගේ නීති ශිෂ්‍යාවක වූ ශ්‍යාමිලා “නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” (හංසයා පක්ෂය) නම් දේශපාලන පක්ෂයේ ලේකම්වරියයි. ඇය මේ වනවිට දේශපාලනයෙන් ඈත්ව “ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය සඳහා වූ ආයතනය” පිහිටුව තරුණ නායකයන් පුහුණු කිරීමේ නියැලී සිටින්නීය.

ඇගේ පක්ෂය මෙරට නායකයන් බිහිකිරීමට උර දී තිබේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍‍ෆොන්සේකා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේම වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ එම පක්ෂයෙනි. රජුන් තැනුව ද ඇයට තවමත් තම ගුරුවරයා සේම සදාදරණීය නායකයාගේ සැබෑ ඝාතකයන් සොයා ගැනීමට හැකි වී නැත.

1 COMMENT

  1. වටිනා ලිපියක් සජිව . මා අදටත් ගරුකරණ පුද්ගලයෙක්. අපේ රටේ අවාසනාවට ඒ ජනතා පුත්‍රයා විනාශ කලා. අද ඔහු ජිවතුන් අතර සිටියා නම් ලංකාව ආසියාවේ දියුණුම රටක් 😭😭😭❤️

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන...

Google සමාගම මැතිවරණ දැන්වීම් පළකිරීම තහනම් කරයි

ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ.

කළුතරට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අද (01) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන‍්නේය. ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාවෙන් හමුවූ සුවිසල් මැණික් ගල්වලට සිදුවූ දේ

අශෝක ජයතුංග විසිනි මෙරට වෙලාගත් ඩොලර් බිලියන ගණනක් වන අධික ණයබර එක් රැයකදී ගෙවා නිමකල හැකි බවට  ප්‍රකාශ වූ...

මහින්දයේ හිටපු වැ.බ. විදුහල්පති පොලිසියට භාර වෙයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන තමන් වැඩ ආවරණය කළ විදුහල්පතිවරයාව සිටිය දී කළ බව කියන විෂමාචාර කිහිපයක්...

සිසුවකුගේ වෙඩි තැබීමකින්, සිසුන් තිදෙනකුට ජීවිතය අහිමිවෙයි

ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකකින් සිසුන් තිදෙනකු ‍මියගොස් තවත් සිසුන් සහ ගුරුවරු 08 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය...

වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට

වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ කාමරයක මේ...

කොළඹ කොටස් වෙළෙඳ පොළ දිනෙන් දින වාර්තා අලුත් කරයි

කොළඹ කොටස් වෙ‍ළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 62,630ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,054ක් බවට පත්විය. කොළඹ කොටස්...

සිරිසේන කුරේ සමුගනී

හිටපු අමාත්‍යවරයකු සහ කොළඹ නගරාධිපතිවරයකු ද වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වූයේය. පවුලේ ඥාතීන් පවසන්නේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්...

ස්ථාවරව බිලියන 500ක වත්කම් වාර්තා කළ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 65,135ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8970ක් බවට පත්විය. අද දිනය...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: