spot_img
spot_imgspot_img

දින 39කට පසු කොටස් වෙළෙඳ පොළ දෛනික පරිවැටුම මිලියන 8,000 ඉක්මවයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 59,942ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,265ක් බවට පත්විය. මිලියන 8,000 සීමාව දින 39කට පසු ඉක්මවා යාම ද විශේෂත්වයකි.

අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 10කින් පහළ ගිය අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ ඒක 10,621ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම වාර්තාගත ගනුදෙනු ප්‍රමාණයක් සිදුකරමින් රුපියල් මිලියන 3,141ක කොටස් ගනුදෙනු සිදුකළේය. එහි විශේෂත්වය වන්නේ විකිණීමට තබා තිබූ සියලු කොටස් අවස්ථා තුනක දී ගැනුම් කරුවන් විසින් සම්පූර්ණයෙන් මිල දී ගැනීමත් දිනය අවසානයේ විකිණීමේ සීමාව තුළ කිසිදු කොටසක් විකිණීමට ඉතිරි නොවීමත්ය.

එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,025ක් ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 861ක් ද ගනුදෙනු සිදුකළ අතර වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 182ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 77ක් ද, රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 22ක් ද වශයෙන් ප්‍රධාන විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 69%කින් ද, අම්බන් කැපිටල් සමාගම 24%කින් ද, ආසිරි මෙඩිකල් සමාගම 16%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවයේ දී හේලීස් එම්ජීටී සමාගම කොටස් මිලියනයක් රුපියල් 36.00 බැගින් ද, ලුබ්රිකන්ට් සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 114.00 බැගින් ද, එක්ස්පෝ ලංකා කොටස් ලක්ෂ 01ක් රුපියල් 201.00 බැගින් ද හුවමාරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 459ක වත්කම් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 404ක වත්කම් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම දෙවැනි ස්ථානයේ ද, රුපියල් බිලියන 309ක වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම තුන්වැනි ස්ථානයේ ද පසුවිය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 74ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 112ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ පමණක් ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 38ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

අද දිනය දක්වා මෙම වසර තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් රුපියල් බිලියන 46.92 මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 5.9යි, ‍‍ෆ්‍රී ඒකර් ෆාම් රුපියල් මිලියන 5.4යි, යුනියන් බැංකුව රුපියල් මිලියන 5.1යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 32යි, බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 11යි, කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 11යි ප්‍රමුඛ විය.

මේ මස 12 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිත 2022 වර්ෂයේ අයවැය ලේඛනය මගින් කොටස් වෙළෙඳ පොළ කෙරෙහි ධනාත්මක බදු සහන ලැබෙනු ඇතැයි අයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!