spot_img
spot_imgspot_img

මානව වංශකතාව වෙනස් කළ, බණ්ඩාරවෙල නගරය ලෝකයේ ම අවදානයට ලක්වෙයි

පුවත්

විදෙස්

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි.

අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ 02කට පමණ පෙරාතුව පරිනාමය වී වසර ලක්ෂයකට පෙර ලෝකය පුරා ජනාවාස ඇතිකළ නූතන මානවයා ශ්‍රී ලංකාව ද සිය ජනාවාස කරගෙන සිටියේය.

මේ මානව ඉතිහාසයේ දී මෙරට කඳුකරයෙන් අපූරු සොයාගැනීමක් සිදුවිය. එය පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වන ලද්දේ “බණ්ඩාරවෙල සංස්කෘතිය” (Bandarawelians culture) යනුවෙනි.

මෙය අදට ද ඒ නමින් පර්යේෂණ ග්‍රන්ථයන්හි පවා හැඳින්වේ. නමුත් ශ්‍රී ලාංකිකයන්ට මේ බණ්ඩාරවෙල සංස්කෘතිය අමතකව ගොසිනි. ඔවුන් දන්නේ බලංගොඩ මානවයා ගැනය.

බණ්ඩාරවෙල සංස්කෘතිය යනු ලෝක මානව වංශකතාවේ ඉතාමත්ම වැදගත්ම සොයා ගැනීමක් වූයේ අද ඊයේ නොවේ 20 වැනි සියවසේ මුල් වසර කිහිපයේ දී ම එය ලෝක‍යේ මානව විද්‍යාව පිළිබඳ  පර්යේෂකයන්ගේ දැඩි අවදානයට ලක්වූවක් විය.

එකල මානව ශිෂ්ඨාචාරයේ දීර්ඝතම කාල පරිච්ඡේදය වූ ගල් යුගය හෙවත් ශිලා යුගය බෙදා වෙන්කර තිබුණේ කොටස් දෙකකටය. එකක් පුරා ශිලා යුගයයි. වඩාත් පැරණිම කොටස ඊට අයත් වූ අතර ඉන් පසු යුගය  නව ශිලා යුගය ලෙස හැඳින්විනි.

ඒ 1890 දශකයයි. ස්විට්සර්ලන්තයේ ඉතාමත් වංශවත් සරසින් නමැති පරපුර ඥාති සහෝදර තරුණයන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණියහ. ෆ්‍රිට්ස් සරසින් (Karl Friedrich Sarasin)  සහ පෝල් සරසින්  (Paul Benedict Sarasin) යන මේ දෙදෙනාගේ අවශ්‍යතාව වූයේ ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ප්‍රධාන කරගත් මානව විද්‍යාත්මක තොරතුරු අධ්‍යයනයයි.

පේරාදෙණියේ නිවසක් මිල දී ගෙන එහි පදිංචිවූ ඔවුහු රට පුරාම සංචාරය කරමින් අධ්‍යයනයන්හි නරතවූහ. 1908 දී බණ්ඩාරවෙලට ආ ඔවුන් දුටුවේ බොහෝ ප්‍රදේශ වතු වගාවන් සඳහා එළි පෙහෙළි කර තිබුණු ආකාරයයි. නමුත් බණ්ඩාරවෙල ඇංග්ලිකන් දේවස්ථානයක් පිහිටි පල්ලිය කන්ද නමින් හැඳින්වෙන ස්ථානය කඳුකර වියළි දේශගුණයක් සහිත සවාණා තෘණ භූමියක ස්වභාවය ගත් අතර එය වතු වගාකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබුණේ නැත.

මේ සරසින් සහෝදරයන් දෙදෙනා එතැන ගවේෂණය කළහ. පුදුමයකි ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිතා කළ ගල් ආයුධ රැසක් එම ස්ථානයෙන් පහසුවෙන් සොයාගැනීමට ඔවුහු සමත්වූහ.

ඔවුන්ගේ එම සොයා ගැනීම ගැන තතු දත් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස 1903 – 1919 කාලයේ කටයුතු කළ චාර්ල්ස් හාර්ට්ලි (Charles Hartley) මේ ස්ථානයේ යළි 1912 වර්ෂයේ දී ගවේෂණයක් කළේය.

චාර්ල්ස් හාර්ට්ලි

බණ්ඩාරවෙල නගරය යාබද ව අදටත් පල්ලිය කන්ද යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ වර්තමාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි කොටසේ කුඩා කඳු ගොඩැල්ලක් මත ඔහු පර්යේෂණ කැණීමක් සිදුකරන ලදී. එය ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඉතිහාසයේ පළමු ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ කැණීම ලෙස පිළිගැනෙයි. මීටර 30ක් දිග පළලින් යුතු කොටසක ඔහු කරන ලද කැණීමේ දී විශේෂ ශිලා මෙවලම් රැසක් සොයාගැනීමට හැකියාව ලැබිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ මතුපිටින් පවා ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවෙයි

ඒවා අතර ඉතාමත් කුඩා ශිලාමය මෙවලම් රැසක් තිබූ අතර විවිධ ජ්‍යාමිතික හැඩ එ්වායේ දක්නට ලැබිණි.  මේ කුඩා මෙවලම් හැඳින්වීමට ඔහුට ඒ වනවිට නිශ්චිත පාරිභාෂික වචනයක් තිබුණේ නැත. ඒ නිසා එතෙක් ‍ලොව සොයාගෙන තිබූ ශිලා මෙවලම්වලට වඩා කුඩා මේ මෙවලම් “පිග්මි මෙවළම්” (Pygmy Tools) ලෙස හඳුන්වන ලදී. ලෝකයේ ප්‍රාග් ඓතිහාසික කැණීම් වල ප්‍රාරම්භක අවදියක් වූ එකල මේ ගැන වැඩි අවබෝධයක් ද පර්යේෂකයන්ට තිබුණේ නැත.

ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවන ආකාරය

නමුත් මෙහි වැදගත්කම තේරුම් ගත් චාර්ල්ස් හාර්ට්ලි එම ස්ථානයෙන් සොයගත හැකි වූ උපරිම විශාලත්වය සෙන්ටිමීටර දෙකක් පමණ වන මේ ජ්‍යාමිතික හැඩ සහිත කුඩා ශිලා මෙවලම් 1,000කට වැඩි ප්‍රමාණයක් හැඩතල අනුව වර්ගීකරණයක් ද කරන ලදී. ඉන් පසු ඒ ශිලා මෙවලම් එකතුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යවා එහි තැන්පතුවක් බවට පත්කරන ලදී. එම විශ්වවිද්‍යාලයේ ඓතිහාසික අංශයේ තැන්පත් කර ඇති මේ ශිලා මෙවලම් භාවිතා කළ මානවයන් එදා පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් විසින් දැන සිටි පුරාණ ශිලා යුගයට හෝ නව ශිලා යුගයට අයත් නොවූ කොට්ඨාසයක් බවත් තේරුම්ගත් පර්යේෂකයෝ මේ මෙවලම් සොයාගත් බණ්ඩාරවෙල නමින් පිග්මි මෙවළම් භාවිතා කළේ බණ්ඩාරවෙල සංස්කෘතිය නම් යුගයක සිටි මිනිසුන් පිරිසක් බව තීරණය කළහ. ඒ සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා පවා ලියා එය සනාථ කළහ.

ඒ නිසා පුරාවිද්‍යාවට සහ මානව විද්‍යාවට “බණ්ඩාරවෙල සංස්කෘතිය” නම් නව පරිච්ඡේදයක් එක් කෙරිණි.

ඉන් වසර කිහිපයකට පසු මේ බණ්ඩාරවෙල සංස්කෘතියේ හමුවූ මෙවලම්වල ජ්‍යාමිතික හැඩ සහ ඒවා ප්‍රයෝජනයට ගනු ලැබ ඇති ආකාරයත්, නිර්මාණය කර ඇති ආකාරයත් අධ්‍යයනය කළ විද්‍යාඥයෝ ඒවා ජ්‍යාමිතිකමය ක්ෂුද්‍ර ශිලා මෙවලම් ලෙස නම් කළහ. ලෝකයට ඒ නම එක්වූයේ චාර්ල්ස් හාර්ට්ලි බණ්ඩාරවෙල දී කළ සොයාගැනීම හේතුවෙනි. මෙවැනිම ජ්‍යාමිතිකමය ක්ෂුද්‍ර ශිලා මෙවලම් ලෝකයේ තවත් රටවල් රැසකින් බණ්ඩාරවෙල සංස්කෘතික කාලයට සමාන යුගයේ දී හමුවීම හේතුවෙන් මෙය මානව වංශකතාවේ තවත් එක්තරා පරිනාමීය යුගයක් බවට සනාථ කළ පර්යේෂකයෝ “බණ්ඩාරවෙල සංස්කෘතිය” යනු ලෝකය පුරාම පුරාණ ශිලා යුගයත්, නව ශිලා යුගයත් අතර පිහිටි “මධ්‍ය ශිලා යුගය” ලෙස හැඳින්වූහ. ඒ අනුව “බණ්ඩාරවෙල සංස්කෘතිය” දැන් “මධ්‍ය ශිලා යුගය” ලෙස හැඳින්වේ.

ජ්‍යාමිතිකමය ක්ෂුද්‍ර ශිලා මෙවලම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා ඒ පිළිබද අදහස් දක්වමින් මෙසේ කීවේය.

“මෙය ඉතාමත් වැදගත් සොයාගැනීමක්. අද ඒ ගල් ආයුධ එකතුව මුළු ලෝකයේ ම පුරාවිද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන අය ප්‍රයෝජනයට ගන්නවා. එ්වා නිර්මාණය කර ඇති තාක්ෂණය, හැඩය, භාවිතා කළ ආකාරය ගැන පර්යේෂණ කරනවා.  මේ නිසා ශ්‍රී ලංකාවේ වැදගත් ම ප්‍රාග් ඓතිහාසික ස්ථානය ලෙස බණ්ඩාරවෙල හැඳින්විය හැකියි. මධ්‍යම කඳුකරයේ අඩි 3000කට වැඩි උසකින් ප්‍රාග් ඓතිහාසික සාධක හමුවන්නේ හෝර්ටන් තැන්නෙන් සහ මේ ස්ථානයෙන් පමණයි. ඒවා හෙක්ටයාර 20කටත් අඩු භූමියක තමයි අපිට දැනට හමුවී තිබෙන්නේ. ‍මේ නිසා බණ්ඩාරවෙළ පල්ලියකන්ද පුරාවිද්‍යාත්මක භූමිය මෙරට පමණක් නොවෙයි ලෝක ඉතිහාසයේ ම ඉතාමත් වැදගත් ස්ථානයක් වනවා.”

ආචාර්ය නිමල් පෙරේරා

සරසින් සහෝදරයන් විසින් බිබිළ ප්‍රදේශයේ නිල්ගල කරන ලද කැණීම්වල දී මෙරට පළමු ප්‍රාග් ඓතිහාසික මානව සැකිල්ල හමුවී තිබේ. ඉන් අනතුරුව මෙරට මානව විද්‍යාත්මක අධ්‍යයනයන් රැසක නිරත වූ සී.ජී.සෙලිග්මාන් සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් යුවළ ද බණ්ඩාරවෙල ගල් ආයුධ නිරීක්ෂණය කර තිබේ. 1940 දී ඒ.නූන් සහ එච්.වී.වී.නූන් දෙදෙනා ද  එම ස්ථානයේ දී පර්යේෂණ පැවැත්වූ අතර “මධ්‍ය ශිලා යුගය” යන වචනය මුල්වරට මෙරට දී භාවිතා කරන ලද්දේ ඔවුන් දෙදෙනා විසිනි.

1978 ආචාර්ය සිරාන් දැරණියගල මහතා මේ භූමිය මායිම් ලකුණු කළ අතර 1994 දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා සහ ආචාර්ය ඩබ්ලිව්.එච්.විජේපාල මහතාගේ මෙහෙයවීමනේ ආචාර්ය නිමල් පෙරේරා කැණීම් මේ ස්ථානයේ පර්යේෂණ කැණීමක් කළහ.

එදා කළ කැණීම සම්බන්ධයෙන් ආචාර්ය නිමල් පෙරේරා මෙසේ කීවේය.

“අපි එදා කැණීම කළේ වත්මන් කාලගුණ විද්‍යා කාර්යාලය අසළ තිබෙන කුඩා කඳුගැටය පාදකකරගෙන. මීටර 10 ක් දිග පළල ඇති කුඩා කැනීම් වළක් දැම්මා. සියුම්ව අධ්‍යයනය කළත් පිහිටි පොළොව දක්වා කැණීම් කෙළ් නැහැ. අපිට ප්‍රාග් ඓතිහාසික තට්ටු කිහිපයක් ම හඳුනාගත හැකි වුණා. මේ ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ එළිමහන් මානව ජනාවාසයක් තිබූ බව පැහැදිලියි. එතැන අපි කාල නිර්ණය කළාම ක්‍රිස්තු පූර්ව 2000ත් 7,500ත් අතර කාලයේ ඔවුන් ජීවත් වුණ බව තහවුරු වුණා. ඉතාමත් සංවේදී පස්තට්ටු මෙතැන තියෙනවා. ඒවා ඇත්තටම පසු මානව ක්‍රියාකාරකම් නිසා අවුල් වී ගිය පස්තට්ටු නොවෙයි.”

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඉනෝකා බාලසූරිය මෙසේ කීවාය.

“මේ භූමිය පුරාවිද්‍යා පනත යටතේ ගැසට් කරලා පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබෙනා. එලෙස ගැසට් කිරීමට පෙර එම ඉඩමේ ඉදිකර තිබූ ටෙලිකොම් ආයතනයේ ගොඩනැගිලි පමණක් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළත්. අනිත් සියල්ල තිබෙන්නේ රක්ෂිතයට පිටියි. එහි වපසරිය හෙක්ටයාර 6.6ක් වනවා. මේ අතර පසුගිය දිනවල නගර සභාවෙන් යෝජනාවක් ආවා වෙළෙඳ සංකීර්ණකට යාම සඳහා මාර්ගයක් පුළුල් කිරීමට. ඒ යෝජනාව අනුව මේ භූමියෙන් කොටසක් විනාශ වනවා. එයට ඉඩ දෙන්න බැහැ. පුරාවිද්‍යාත්මකව මේ තරම් වටිනා භූමියක් ආරක්ෂා කළ යුතුයි. මේක ලෝකයේ ම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අතිශය වැදගත් භූමියක්.”

ජ්‍යාමිතිකමය ක්ෂුද්‍ර ශිලා මෙවලමක්

මේ සම්බන්ධව අදහස් දක්වන පුරාවිද්‍යා පර්යේෂක සමන් ඇරාගම මෙසේ කීවේය.

“ මේ භූමිය පුරාවිද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට අතිශයින්ම වැදගත් වනවා. තවමත් පර්යේෂණ කැණීම් සිදුකර තිබෙන්නේ ඉතාමත් සුළු වශයෙන්. කඳුකරය ආසන්නව හමුවන ලෙන් ආශ්‍රිත ඇති ප්‍රාග් ඓතිහාසික සාධක පවා පසුකාලීන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අවුල් වෙලා ගිහින්. නමුත් මේ එළිහන් භූමියේ සෙන්ටිමීටර 50ක් පමණ ගැඹුරින් භූමිය පුරාම වෙනස්වීමකින් තොරව මේ සාධක හමුවෙනවා. ඒවා අතර තිබූ අඟුරු යොදාගෙන කාල නිර්ණයන් කළා. කලින් මේ ස්ථානයේ කැනීම් කරපු කාලයට වඩා දැන් පුරාවිද්‍යාව ගොඩක් දියුණු වෙලා. ඉතින් ඉදිරි කාලයේ දී වඩාත් දියුණු පර්යේෂණයන් සිදුකරන්න නම් අපි මේ භූමිය බේරාගත යුතුයි.”

බණ්ඩාරවෙල නගරය වඩාත් දියුණු නගරයක් බවට පත්කිරීමට නම් ඒ සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව සත්‍යයකි. නමුත් ඒ සඳහා ලෝක මානව ඉතිහාසයේ ඉතාමත් වටිනා කඩඉමක් තැබූ පුරාවිද්‍යාවට “බණ්ඩාරවෙල සංස්කෘතිය” නම් පාරි‍භාෂික වචනයක් එක්කළ මෙවන් භූමියක් විනාශ කළ හැකි ද යන්න ගැටලුවකි.

පුරාවිද්‍යා රක්ෂිතයක් කිරීම හේතුවෙන් ම මෙතෙක් ආරක්ෂා වී තිබූ මේ අද්විතීය ස්ථානය අනාගතය වෙනුවෙන් තවදුරටත් සුරක්ෂිත කළ යුතුය. මානව වංශකතාව අධ්‍යයනය කරන්නන් පමණක් නොව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාල සිසුන්ට සේම පාසල් සිසුන්ටත්, ලොව පුරා විසිරී සිටින සංචාරකයන්ටත් පුරාවිද්‍යාවේ අපූර්වත්වය දැකගත හැකි භූමියක් ලෙස මෙම ස්ථානය සංරක්ෂණය කළ යුතුය යන්න පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.

මේ නිසාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් මත හිටපු කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

එහි දී මේ භූමියේ කොටසක් මාර්ගයක් සඳහා විනාශ වීමට ඉඩ නොදී එය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කරමින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකර තිබේ.

(සජීව විජේවීර)

බණ්ඩාරවෙල සංස්කෘතිය පිහිටි භූඹියේ කොටසක්

2 COMMENTS

  1. මා දහස් නවසිය පනහ වසරේ සිට බණ්ඩාරවෙල ඇදෙයි වැටුනා. එකල ශ්‍රී මයිල පාර දෙපස පතන් වල මේ ගල් බොහෝ තිබුණා මා ලඟ in එකතුවක් එක් ළමාකාලයේ තිබුනත් පසුව ඒවා නැතිව ගියා 1959 දී නැවත ඒ ගැන උනන්දුවක් ඇතිවෙලා මම ඔය කියන පල්ලිය කන්දේ ඒව සොයා යද්දී ඉතා වටිනා ගලා විධ ගණනාවක් මට හමුවුණා කිතල් ඇල්ල පතන්නද ඒ ගල් මට සුලබව හමු වුණා ා ළඟ තිබූ එකතුව දැන් බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා මේ ගැන උනන්දු වන අයට ඒවා දැකබලා ගත හැකියි.

  2. ශ්‍රී ලාංකේය මානව වංශ⁣යන්ගේ මං සලකුණු සහිත මෙවන් ස්ථාන පිළිබඳව ඉතා වටිනා සටහනට ස්තුතියි …..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!