spot_img
spot_imgspot_img

අල්ලස් හෝ දූෂණ කොමිසම උපාධිධාරීන් 200කට පත්වීම් දෙනවා යැයි රවටලා

පුවත්

විදෙස්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් ලෙස සුදුසුකම් ලැබූ උපාධිධාරීන් පිරිසක් ඒ සඳහා පත්කිරීම වසර දෙකකට ආසන්න කාලයක් පුරා ප්‍රමාද කරමින් සිටින බව එම පත්වීම් ලැබීමට නියමිත පිරිස චෝදනා කරති.

ඔවුහු මේ බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (11) ලිපියක් ද භාර දුන්හ.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය යටතේ අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත්කිරීමේ බලධාරියා වන්නේ ජනාධිපතිවරයා බැවින් එම ලිපිය ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා විමර්ශන නිලධාරීන් 200ක් බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පැවැත්වීමට 2018 ජුනි 08 වැනි දා ගැසට් නිවේදනයක් මගින් අයදුම්පත් කැඳවා තිබිණි. ඒ අනුව අයදුම්කළ අය සඳහා විවෘත තරඟ විභාගය කොළඹ ඇතුළු නගර හයක දී 2018 ඔක්තෝබර් 27 වැනි දින පැවැත්වූ අතර ඉන් 407ක් සමත්වූ බව 2019 මාර්තු මාසයේ දී විභාග දෙපාර්තමේන්තුව විසින් නාම ලේඛනයක් සහිතව නිකුත් කරන ලදී.

විභාගයෙන් සමත්ව බඳවාගැනීම සඳහා සුදුසුකම් ලැබූවන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශනය පිළිබඳ සිද්ධි අධ්‍යයන විභාගයක් ද පැවැත්විණි. එ් 2019 ජූලි මස 04 වැනි දා ය. ඊට පසු දිනම තනතුරට බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ද ආරම්භ විය.

තරඟ විභාගය, සිද්ධි අධ්‍යයන විභාගය සහ සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් ලබාගත් ලකුණු අනුව තනතුරු සඳහා සුදුසුකම් ලැබූ 200කගේ නාම ලේඛනයක් 2019 සැප්තැම්බර් මස ප්‍රසිද්ධ කර ඔවුන්ගේ පොලිස් වාර්තා ද එම වර්ෂයේ ම දෙසැම්බර් මාසයේ දී ගෙන්වාගෙන ඇත. ඒ අනුව ඔවුන් තෝරාගෙන 2021 සැප්තැම්බර් මාසයේ දී වස 02ක් ඉක්ම ගොස් තිබේ.

නමුත් මේ දක්වා ම එම තනතුරු සඳහා බඳවා ගැනීම් සිදුකර නැත. එය විවිධ හේතු දක්වමින් පමා කරන බව තෝරාගෙන ඇති උපාධිධාරීහු කියති.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවැනි කොටසේ සඳහන් කර ඇති දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනය සදහා කොමිසම අනුගමනය කරන මේ පිළිවෙත බාධාවක් බැවින් මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කඩිනම් අවධානය යොමුකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ‍අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිෂමෙන් විමසූ විට එහි නිලධාරීන් පවසන්නේ ගොඩනැගිලිවල ඉඩ ප්‍රශ්නයක් හේතුවෙන් මේ පත්වීම් ලබාදීම ප්‍රමාද වන බවයි.

නමුත් තෝරාගත් පිරිසට පත්වීම් ලබාදී දිනෙන් දින ප්‍රමාද කිරීමෙන් එයට තේරී සිටින පිරිස බලවත් අසීරුතාවකට පත්ව සිටිති. ඔවුන් වෙනත් රැකියාවකට හෝ ඉල්ලුම්කර නැත. දැන් ඔවුන් විරැකියාවෙන් පීඩා විදිති. අල්ලස් හා දූෂණය වැළැක්වීමේ ප්‍රධාන රාජ්‍ය ව්‍යුහය කටයුතු කරන්නේ මෙවැනි වගකීම් විරහිත ආකාරයෙන් එය බරපතල ගැටලුවක් නොවේ ද ?

1 COMMENT

  1. දූෂණ කොමිසමේම දූෂණ වෙනවා නම් කාට කියමුද ඒ අමාරුව.

Leave a Reply to Premakeerthi Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!