spot_img
spot_imgspot_img

මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් පන්සල්වලට වැරදි උපදෙස් දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාසයක් ?

පුවත්

විදෙස්

රාජ්‍ය නිලධාරියකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරිමටත් රටේ නීතිය ආරක්ෂා කිරීමටත් කටයුතු කළ යුතුව තිබිය දී මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ඊ.ආර්. ලලිත් බී.ඇටම්පාවළ නීත්‍යානුකූල නොවන ලිපියක් උඩුනුවර ප්‍රාදේශීය ලේකම්වරයාට සහ මහනුවර සහකාර පොලිස් අධිකාරීවරයාට ද පිටපත් සහිතව විහාරස්ථ හිමිනමකට නිකුත් කර ඇත.

මෙම ලිපිය මගින් මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනතාවට හිසංනයකට අනුබල දෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 2007 වර්ෂයේ දී ලබාදුන් නියෝගයක් උල්ලංඝනය කිරීමට අනුබල දී ඇත. නීතිවේදීන් පවසන්නේ එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් බවයි.

එවැනි උපදෙස් නිකුත් කිරීමට මහනුවර දිස්ත්‍රික්ක‍යේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ‍හැකියාවක් ඇත්ද යන්න ගැටලුවකි.

මෙම ලිපිය 2021-10-06 දිනැතිව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරයේ විහාරාධිපති හිමියන්ට නිකුත් කර තිබේ.

ලිපියේ සඳහන් කර ඇත්තේ අදාල විහාරස්ථානයේ දෛනිකව ප්‍රචාරය කරනු ලබන පිිරිත් සජ්ජායන හේතුවෙන් පීඩාවට පත්වන බව පේරාදෙණිය, කැලියල්පිටිය නිවසක පදිංචිකරුවන් විසින් විවිධ ආයතන සඳහා පැමිණිලි ඉදිරිප්ත කර ඇති බවයි.

ඒ අනුව මෙම කරුණු පිළිබඳ ගෞරවනීය අවධානය යොමුකර පීඩාවක් නොවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලමි යනුවෙන් ද සසුන් ලැදියකු බව සඳහන් කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා එම ලිපිය යොමුකර තිබේ.

මෙය නීති විරෝධී ලිපියකි. ‍ඔහු මෙමගින් විහාරස්ථානයේ උදේ සවස ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිරිත් සජ්ජායනා කිරීම අනුමත කර තිබේ. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් මෙන්ම අධිකරණ නියෝගය ද නොතකා හැරීමකි. ඔහු කළ යුතුව ඇත්තේ පිරිත් සජ්ජායනා ශබ්ද විකාශන යන්ත්‍රවලින් විකාශය කිරීම නවතා දමන ලෙස රටේ වලංගු නීතිය අනුව විහාරාධිපති හිමියන්ට උපදෙස් දීමයි. නමුත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මෙරට අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමට උපදෙස් දී ඇත.

අපි මේ පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් ඇටම්පාවල අමතා විමසීමක් කළ විට ඔහු කියා සිටියේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය විසින් තමන් වෙත යොමුකර තිබූ ලිපියකට අනුව මෙම ලිපිය යැවූ බවයි.

මීට පෙර මේ සම්බන්ධයෙන් අප තැබූ සටහනක පොලිසිය විවිධ පාර්ශවයන්ට ලිපි යොමුකරමින් පීඩාවට පත්වන පුද්ගලයාට යුක්තිය ඉටුකිරීම පැහැර හරින බව ප්‍රකාශ කළෙමු. එම ලිපිය මෙතැනින් කියවන්න.

අප එදා අනාවරණය කළ ආකාරයෙන් ම දැන් එය සිදුව තිබේ.

ඇටම්පාවල පවසන්නේ ද ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබිය දී සහකාර පොලිස් අධිකාරී කාර්යාලයෙන් ඒවා ක්‍රියාත්මක නොකර මෙවැනි  ලිපියක් තමන්වෙත යොමුකිරීම අනවශ්‍ය බවයි. නමුත් ලිපිය යොමු වූ බැවින් පිළිිතුරු ලිපියක් යැවූ බව ද ඔහු සඳහන් කළේය.

“මම මේ සම්බන්ධ නීතිය දන්නවා. 2007 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙනවා. ඒ අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරනවානම් ඊට බලපත්‍රයක් ගත යුතුයි. බලපත්‍ර කොන්දේසි තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ කොන්දේසි අනුව බලපත්‍රයක් අරගෙන තිබේනම් එහි ශබ්දය අඩුකරන්න කියා මා ලිපිය යැව්වේ. නීතිය නොදැන යැව්වා නොවෙයි. මේ ගැන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දී කතා කරලා සුදුසු සාධාරණයක් කරන්නත් ඉදිරියේ දී කටයුතු කරනවා.”

මේ රාජ්‍ය නිලධාරියා විසින් නීතිය දැන දැනම කර ඇත්තේ විශාල වරදකි.

ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බපත්‍රයක් ලබාගත යුතුය. ඒ බව ඔහු ද දනී. නමුත් මේ විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා එවැනි බලපත්‍රයක් නොදුන් බව පොලිසිය පවසයි. විහාරස්ථානයේ ශබ්ද විකාශනය සඳහා බලපත්‍රයක් නොගත් බව විහාරාධිපති හිමියන් වන ඇතිපොළ බුද්ධරක්ඛිත හිමියෝ ද කියති. එසේනම් ශබ්ද අඩු කරන්නට යැයි උපදෙස් දී ඇත්තේ කවර නම් වූ ශබ්ද විකාශන යන්ත්‍රයක ද ?

මෙම ශබ්ද විකාශන යන්ත්‍රවලින් ජනතාවට පීඩාවක් සිදුවන බවට පැමිණිලි කර තිබීම සම්බන්ධයෙන් අප විහාරාධිපති ඇතිපොළ බුද්ධරක්ඛිත හිමිගෙන් විමසූ විට කියා සිටියේ පිරිත් අහන්න බැරි අයට ගැන තමන්ට ප්‍රශ්නයක් නැති බවයි. ගමේ බහුතරයකට ඕනෑ නිසා පිරිත් විකාශය කරන බවත් එය නොනවත්වන බවත් තමන්ට නීතිය අදාල නැති බවත් ඒ හිමියෝ අප සමඟ කීහ.

මේ ගැන ඇසූ විට මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දෙන්නේ යන්නේ කොහේ ද ? මල්ලේ පොල් උත්තරයකි.

“පන්සලේ විශේෂ උත්සවයකට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන්න පුළුවන්නේ. ඉතින් මේ එහෙම එකක් වෙන්න ඇති.”

කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් තමන්ට හිරිහැර කළ බවට මේ නිවැසියන් විසින් වසර දෙකකටත් පෙර පොලිසියට පැමිණිලි කර තිබේ. විහාරාධිපති හිමි ඇතිපොළ බුද්ධරක්ඛිත ගමේ ජනතාව රැස්කරමින් එම නිවැසියන්ට එරෙහිව ඔවුන්ව මෙහෙයවමින් හා චණ්ඩිකම් පාමින් බලහත්කාරයෙන් මේ ශබ්ද විකාශන යන්ත්‍ර දිගටම පවත්වාගෙන යන්නේ විහාරස්ථානයේ විශේෂ උත්සයක් සඳහා නොවන බව කොමසාරිස්වරයා ‍හොඳින්ම දන්නා කරුණකි. නමුත් සසුන් ලැදි ඔහු ඒ ගැන ගණනකට නොගන්නා බව පැහැදිළිය.

ශබ්ද විකාශන යන්ත්‍ර විශේෂ උත්සවයක් සඳහා භාවිතා කරනවානම් ඒ සඳහා එම දිනයට පමණක් බලපත්‍රයක් ලබාගත යුතු බවත් එහි ශබ්දයත් විහාරස්ථානයෙන් පිටතට නොඇසෙන සේ තිබිය යුතු බවත් අපි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට සිහිපත් කළ විට ඔහු එය පිළිගත්තේය.

නමුත් ඔහු මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන අංශවලට නිසි උපදෙස් දෙන්නේ නැත. විහාරාධිපති හිමියන්ට ද වැරදි උපදෙස් දෙයි.

ශබ්ද දූෂණය වැළැක්වීමේ ජාතික එකමුතුව නමැති සංවිධානයේ නීතිඥ වරියක් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ පොලිසියට පැමිණිලි කළ පුද්ගලයා 46 වතාවක් පොලිසියට කැඳවා සිටිය දී විත්තිකාර පාර්ශවය නොපැමිණීමත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දැනටමත් දිගන පොලිසියට හා මහනුවර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් පැමිණිල්ලක් ගොනුකර තිබෙන බවයි. එමෙන්ම මෙම ලිපියට අනුව මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා හැරීම සම්බන්ධයෙන් ද, පොලිසිය එම නියෝග නොතකා හැරීම සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැනුම් දෙන බව ද එම නීතිඥවරිය පැවසුවාය.

(මෙම ලිපිය සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ කරුණු පැහැදිලි කිරීමක් ‍සඳහා මෙවැනිම ඉඩක් ලබාදෙමින් පළකරනු ලබන බව දන්වා සිටිමු)

4 COMMENTS

  1. දුක් විඳින ජනතාව වෙනුවෙන් ඔබ කරන මෙහෙය අගයමි.

  2. මේ වගේ නීතී නොසලකා කටයුතු කිරීම් අනන්තයි. අප්‍රමාන යි. හාමුදුරුවනේ පෝයදාට විතරක් ඔය උතුම් කටයුත්ත කරල අහල පහළ ගෙවල්වල දරුවන්ට සහනයක් දෙනවා නම් හොද බව මගේ හැගීමයි.

  3. මේ ලව්ඩ්ස්පීකර් භාවිතය දැන් වසංගතයක් ලෙසම පැතිර යන ස්වභාවයක් දක්නට ඇත. මෙය මහා ඝෝෂාකාරීය. වහා නීතිය ක්‍රියාත්මක කල යුතුය.

  4. මෙම සිද්ධියේදි මා දන්නා තරමින් හිංසනයට පත් පවුලේ අයගේ ශ්‍රමයෙන්ම මෙම ශබ්ද විකාශන යන්ත්‍රය සවි කල කුළුණ සාදවාගෙන ඇත. එහිදී පවසා ඇත්තේ විශේශ අවස්තාවකදී පමණක් එම කුළුණේ ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කරන බවයි. නමුත් හිංසනයට පත් පවුලේ අළුත උපන් බිළිඳෙකු සිටින නිසා එම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටි අවස්තාවේදී හිමි නම පවසා ඇත්තේ “එතකොට අපි නිදා ගන්නේ කොහොමද?” යනුවෙනි. දැනට අවුරුද්දක පමණ කාලයක් පුරාවට වයස අවුරුදු 7ක දරුවෙකු සහ අවුරුද්දකට අඩු වයසැති බිළිඳෙකු සෑම දිනකම පාන්දර මෙම පිරිත් විකාශනය නිසා පත්වෙන පීඩාව බෞද්ධ කම තවරා ගත්තු දේවදත්ත කුලයේ චීවරදාරියාටවත් ඔහුගේ අනුගාමීන්ටවත් නොවැටහීම මනුෂ්‍යත්වට කෙරෙන බරපතල නිග්‍රහයකි.
    මානුෂිකව සිතීමවත් නොහැකි චීවරදාරීන්ගෙන් (මොනම හෝ ආගමික පූජ්‍ය පාර්ශවයකින්) මිනිසුන්ට වෙන පීඩාවන් වලින් ඔවුන් බේරා ගැනීමත් ශාසනය/සමාජය බේරා ගැනීමත් පුරවැසි යුතුකමක් බව මතක් කිරීමට කැමැත්තෙමි.

Leave a Reply to Harithra Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!