spot_img
spot_imgspot_img

ගාල්ලේ කොහු ව්‍යාපෘතියකට බව කියමින් මිලියන ගණනක් හොර පාරේ. ළදරු පාසලක් වසා දමා ප්‍රජා ශාලාවත් ගමට අහිමි කරලා

පුවත්

විදෙස්

ගාල්ල දඩල්ලේ සුනාමි නිවාස සංකීර්ණයක ඉදිකර තිබූ ප්‍රජා ශාලාවක් කොහු මෝලක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරිකයකුට ලබා දී ඒ සඳහා රජයේ ප්‍රතිපාදන පවා වෙන්කර දීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි ගම්වාසීහු චෝදනා කරති.

මෙලෙස ලබා දී ඇත්තේ කරිටාස් සෙඩ්ගෝල් ආයතනය විසින් ඉදිකරන ලද ප්‍රජා ශාලාවකි. සුනාමියෙන් අවතැන් වූ පවුල් 72ක් සඳහා ඉදිකරන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ පොදු අවශ්‍යතා සඳහා එම ප්‍රජා ශාලාව ඉදිකර තිබේ. වසර ගණනාවක සිට එහි ගමේ විවිධ සමිති රැස්වීම් පැවැති අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපංදිචි මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානක් (ළදරු පාසලක්) ද පවත්වාගෙන යන ලදී.

එසේ තිබිය දී “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානය” වැඩසටහන යටතේ මේ ප්‍රජා ශාලාව කොහු නිෂ්පාදනාගාරයක් සහ අළෙවි සැළක් ලෙස භාවිතා කිරීම සඳහා ලබාගැනීමට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හදිසිියේම කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ එම ගම්මානයේ දී දැනුම්වත් කිරීමේ රැස්වීමක් ද පවත්වා ඇත.

ගම්වාසීන් පවසන්නේ සාමාන්‍ය ජනතාව පදිංචිව සිටින නිවාස සංකීර්ණයක් අසළ මෙවැනි කොහු කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි. කොහු අමුද්‍රව්‍ය සැකසීමේ දී හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කිරීමේ දී ශ්වසනාබාධ ඇති විය හැකි බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය බැවින් පුද්ගලික නිවාස ආසන්නයේ එවැනි ස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ද අවසරය ලබාගත යුතු වෙයි.

මෙම කරුණ සම්බන්ධයෙන් දඩල්ල ප්‍රදේශයේ ගාල්ල මහ නගර සභා මන්ත්‍රී සුගත් ද සිල්වාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මේක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක සිටින කොහු නිෂ්පාදකයන්ගේ ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන්නේ. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය අනුව තමයි ලැබුණේ. ගමේ හැමෝම එකතුවෙලා මේක කරගෙන යන්නේ. මුදල් ලැබෙන්නේ සමිතියකට. ලක්ෂ 50ක් විතර ලැබෙනවා. අපි වෙබ් සයිට් එකක් ‍එහෙම හදලා මේ ස්ථානයේ නිෂ්පාදන විකුණනන්න කටයුතු කරනවා. මේ ගොඩනැගිල්ල ඉතාමත් වටිනා ගොඩනැගිල්ලක්. ප්‍රජා ශාලාවක් වුණාට අසව් පවා ගලවලා තිබුණේ. මෙතැන ගමේ කෙනෙක් කරපු ළදරු පාසලක් තිබුණා. අපි ඒකට ලක්ෂ 04ක් දීලා ඉවත් කරනවා. එතකොට එයාට අසාධාරණයක් වෙන්නේ නැහැ.”

ඔහු කියූ විස්තරයට අමතරව අපි ඔහුගෙන් ‍විමසූ ප්‍රශ්න සහ අපට ලැබුණු පිළිතුරු මෙසේ ය

rata.lk – කොහු කර්මාන්තයේ යෙදෙන පවුල් කීයක් ඉන්නව ද ?

මන්ත්‍රීවරයා – ඒකනම් මම දන්නේ නෑ. හැබැයි මේ පැත්තේ හැමෝම වගේ කොහු කර්මාන්තයේ යෙදෙනවා.

අප දන්නා තරමින් දඩල්ල ප‍්‍රදේශයේ පාරම්පරික කොහු කර්මාන්තකරුවන් විශාල පිරිසක් සිටිය ද දැන් ඒ බොහෝ දෙනකු කොහු කර්මාන්තය අතහැර දමා තිබේ. මේ වනවිට එහි නියැළෙන්නේ ඉතා සුළු පිරිසකි.

rata.lk – කොහු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් තියෙනවා ද ?

මන්ත්‍රීවරයා – අපි අමුද්‍රව්‍ය පිටින් ගේනවා. නැතිනම් මේ ඉඩමේ පර්චස් 80කට වඩා තියෙනවා. ඒ නිසා වළවල් කපලා වතුරෙන් පොඟවලා අමුද්‍රව්‍ය සකස්කරගන්නත් පුළුවන්. අමුද්‍රව්‍ය නැති වුණොත් හේලීස් එකෙන් අමුද්‍රව්‍ය ගන්නවා.

මන්ත්‍රීවරයා ව්‍යාපෘතිය ගැන විස්තර කළ ද මේ සඳහා අමුද්‍රව්‍ය ගන්නා ආකාරය පිළිබඳ මෙතෙක් කිසිදු සැළැස්මක් නැති බව පැහැදිළිය. රජය ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වෙන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ ලබාගැනීමට හැකි ආකාරය පිළිබඳ කිසිදු පූර්ව සැළැස්මක් හෝ නොමැති ව්‍යාපෘතියකට ද යන්න ගැටලුවකි

rata.lk – දැන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කවුද ?

මන්ත්‍රීවරයා – අපි කොහු කර්මාන්තකරුවන්ගෙන් සමන්විත සමිතියක් පිහිටවලා තිබෙනවා. ඒ සමිතියෙන් තමයි කරන්නේ

rata.lk – මුදල් ප්‍රතිපාදන වෙන්වෙන්නේ සමිතියට ද ?

මන්ත්‍රීවරයා – සංවර්ධන නිලධාරීට මුදල් වෙන්වෙන්නේ

rata.lk – සමිතිය ලියාපදිංචි කරලද තියෙන්නේ. කොහෙද ලියාපදිංචි කළේ ?

මන්ත්‍රීවරයා – මේ සමිතිය පිිහි‍ටෙව්වේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට. දැනට ලියාපදිංචියට කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම්තුමියට අවශ්‍ය ලේඛන භාරදීලා තියෙන්නේ.

rata.lk – කොහු ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් පරිසර අධිකාරියෙන් බලපත්‍රයක් ගත යුතුයි නේද ? ඒක අරගත්ත ද ?

මන්ත්‍රීවරයා පළමු සාකච්ඡාවේ දී අප සමඟ කියා සිටියේ එවැනි බලපත්‍රයක් ලබාගත යුතු වුව ද මෙතෙක් ලබාගෙන නැති බවයි. නමුත් අද නැවත කතා කිරීමේ දී ඔහු එවැනි බලපත්‍රයක් අනවශ්‍යයැයි කීවේය.

rata.lk – සුනාමියෙන් පස්සේ ඔබ කියන ආකාරයේම කාර්යයක් සඳහා දඩල්ලේ කෝටි ගණනක් වැය කරලා කොහු කර්මාන්ත ශාලාවක් සහ නිෂ්පාදන අළෙවි සැළක් කොළඹ ප්‍රධාන මාර්ගය අසළ ආරම්භ කලා. නමුත් ඔය කියන ගම්මාන‍වල ඉන්න කර්මාන්ත කරුවන් ඒක පවත්වාගෙන ගියේ නැහැ. ඒක අසාර්ථකයි. අද අතඇරලා දාලා. නැවත මේ වගේ එකක් පටන් ගත්තාම සාර්ථක වෙයි ද ?

මන්ත්‍රීවරයා – ඒක මුහුද අයිනේ. ඒ නිසා එතන වැඩ කරන්න බෑ. ඔබතුමා මේ කර්මාන්තයේ හැටි දන්නේ නැහැ. මේක මුහුද ආශ්‍රිතව කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

(අපට ඇති ගැටලුවනම් මේ කියන මන්ත්‍රීවරයා කොහු කර්මාන්තය පිළිබඳ නිසි අවබෝධයකින් සිටින්නේ ද යන්නයි. කොහු කර්මාන්තය මුහුදු වෙරළ ආශ්‍රිත කර්මාන්තයක් බව ඕනෑම අයකු දනී. නමුත් මේ කියන මන්ත්‍රීවරයා ඒ බව දන්නේ නැත.)

rata.lk – අතහැර දැමූ ඒ ගොඩනැගිල්ල ගාල්ල මහ නගර සභාව සතුවූවකි. මේ ව්‍යාපෘතිය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්න ඔබ නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. මේ ව්‍යාපෘතියට ඒ ගොඩනැගිල්ල යොදා ගන්න තිබුනානේ.

මන්ත්‍රීවරයා – ඒක අපේ සභාව පිහිටුවන්න ඉස්සෙල්ලා හදපු එකක්. වහළ දැම්මෙත් අපේ සභාව පිහිටුවන්න ඉස්සෙල්ලා

rata.lk – ගාල්ල මහ නගර සභාව පිහිටෙව්වේ 1867 දී. මේ ගොඩනැගිල්ල හැදුවේ 2004 සුනාමියෙන් පස්සේ.

මන්ත්‍රීවරයා – කැරිටාස් ගම්මානයේ තියෙන ගොඩනැගිල්ලත් වහළ දාපු එකක්

rata.lk – එහෙම කියන්න බැහැනේ. එතැන ළදරු පාසලක් පවත්වාගෙන ගියා. ඒක ප්‍රජා ශාලාවක්. කොහු කර්මාන්තයට ම හදපු ගොඩනැගිල්ලක් මේ ගම්මානයේ ම තිබිය දී ඇයි ඒක යොදාගන්නේ නැතිව පොදු ස්ථානයක් යොදාගන්නේ.

මන්ත්‍රීවරයා – ඒක මම සභාවට පත්වෙන්න ඉස්සෙල්ලා හදපු ගොඩනැගිල්ලක්. දැන් හොඳම තැන තමයි අපි ගන්නේ

rata.lk – ඔබ ගමේ මන්ත්‍රීවරයා ඔබ සභාවට පත්වෙන්න පෙර ගමේ තිබූ ව්‍යාපෘති ගැන නොදන්නවා නෙවෙයි නේ. ඒ වගේම කොහු කර්මාන්තයටම වෙන් කළ තැනක් තිබිය දී ඒක නොගෙන ළදරු පාසලක් පවත්වාගෙන යන ප්‍රජා ශාලාවක් මේ සඳහා යොදා ගැනීම ගැටලුවක් නොවේ ද ?

මන්ත්‍රීවරයා – මේවා ටෙලිෆෝන්වලින් කතා කරන්න බෑ. ඔයාට විස්තර දැනගන්න ඕනනම් ඇවිත් හමුවෙන්න.

ගම්වාසීන් මේ ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පෙත්සමක් ද භාර දී තිබේ. එහි 31 දෙනකු අත්සන් කර තිබේ. දඩල්ල කරිටාස් සුනාමි නිවාසලාභී එකමුතුවේ සභාපති ශිරංග ජයසේකර පවසන්නේ මේ ගම්මානයේ පිහිටි ප්‍රජා ශාලාව මෙවැනි කටයුත්තකට යොදා ගැනීම බරපතල ගැටලුවක් බවයි. ඊට ගමේ විශාල පිරිසක් විරුද්ධ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ ප්‍රදේශයේ කොහු කර්මාන්තය මහා පරිමානයෙන් සිදුකරන ව්‍යාපාරිකයකු සිටියි. ඔහු වෙනත් ප්‍රදේශයක කොහු කර්මාන්තශාලාවක් පවත්වාගෙන ගොස් පසුව එහි ඇති වූ ගැටලුවක් හේතුවෙන් ගම්මානයේ නිවසක කොහු කර්මාන්තය ආරම්භ කළ බවත් ඉන් පසු නිවැසියන් පවා පෙනහළු රෝගවලට ගොදුරු වූ බවත් ඒ අවට පදිංචිකරුවෝ කියති. එම කොහු නිෂ්පාදනාගාරයට එරෙහිව පදිංචිකරුවන් විසින් පරිසර අධිකාරියට පවා පැමිණිලි කර තිබේ.

ඔවුන්ගේ අදහස වන්නේ එවැනිම ව්‍යාපාරිකයකු සඳහා මෙම ස්ථානය ලබාදීමේ කූඨ සැළැස්මක් අනුව මේ ව්‍යාපෘතිය සිදුවන බවයි.

සුගත් ද සිල්වා මන්ත්‍රීවරයා පවසන්නේ එම ප්‍රජා ශාලාවේ පවත්වාගෙන ගිය ළදරු පාසල ඉවත්කිරීමේ දී මෙම ව්‍යාපෘතිය යටතේ එය වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට රුපියල් 400,000.00ක මුදලක් ලබා දෙන බවයි.

නමුත් එය අසත්‍ය කරුණු දැක්වීමකි.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වැඩිදියුණු කර වඩාත් ප්‍රමිතිගත කිරීමේ රජයේ ව්‍යාපෘතිය යටතේ එම ළදරු පාසල සංවර්ධනය කිරීම සඳහා ද යෝජනා කැඳවා තිබිණි. පොදු ස්ථානයක පවතින ළදරු පාසල් සඳහා සෙල්ලම් පිටියක් සැකසීම ඇතුළු සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 800,000.00 ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වෙන්කිරීම සිදුවෙයි.

මෙම ළදරු පාසල වැඩිදියුණු කිරීමට ද එම ප්‍රතිපාදන වෙන්වීමට නියමිතව තිබිණි.

නමුත් ගම්වාසීන්ගේ දැඩි විරෝධය නොතකා ළදරු පාසල එම ස්ථානයෙන් ඉවත්කර වෙනත් තැනකට ගෙන යන ලෙස එය පවත්වාගෙන ගිය ගුරුවරියට උපදෙස් දී ඇත. ඒ සඳහා රුපියල් ලක්ෂ 400,000.00 ක මුදලක් ලැබෙන්නේ ළදරු පාසල එම ස්ථානයෙන් ඉවත්කිරීම හේතුවෙනි. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසූ විට ද ඇය එය පිළිගත්තාය. එම ස්ථානයේ ළදරු පාසල පවත්වාගෙන යා හැකිවූවානම් රුපියල් ලක්ෂ 08ක් හිමිවන බවත් පුද්ගලික ස්ථානයක ළදරු පාසලක් පවත්වාගෙන යනවානම් ලක්ෂ 04ක් පමණක් ප්‍රතිපාදන ලැබෙන බවත් ඇය කියා සිටියාය.

ප්‍රදේශයේ මන්ත්‍රීවරයා පවසන්නේ සාවද්‍ය කරුණක් බව ඉන් පැහැදිළි වෙයි.

මේ සම්බන්ධයෙන් අප ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීරගෙන් විමසුවෙමු.

ව්‍යාපෘතිය ගැන ඇයගෙන් විමසන විටම කතාව ආරම්භ කළේ ගමේ පදිංචිකරුවන් විරුද්ධනම් තමන් මේ ව්‍යාපෘතිය වහාම අවලංගු කර දමන බව පවසමිනි. නමුත් අද (09) සෙනසුරාදා දිනය වන විටත් කිසියම් පිරිසක් විසින් එම ප්‍රජා ශාලාව වටකර තාප්පයක් බැඳීම ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“මේ ගොඩනැගිල්ල මගේ භාරයේ තියෙන්නේ. රජයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ දඩල්ල ප්‍ර‍දේශයේ කොහු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න මේ ගොඩනැගිල්ල ගන්න තීරණය කළා. ඒ සඳහා සමිතියක් පිහිටවා තිබෙනවා. මේ ගම්මානයේ කොහු කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසක් ඉන්නවා. නමුත් මේ ව්‍යාපෘතියට විරුද්ධව කණ්ඩාමක් පෙත්සමක් භාර දුන්නා. ඒ ගැනත් සළකා බලා අවසන් තීරණය ගන්නවා තවමත් මෙය නවත්වන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. මුදල් ගෙවන්නේ අදියර මට්ටමින්. සම්පූර්ණ ව්‍යාපෘතිය ලක්ෂ 50ක් පමණ වෙනවා.”

rata.lk – දඩල්ලේ ඔය ප්‍රදේශය ආසන්නයේ ම වසර 10කට විතර ඉස්සෙල්ලා කොහු නිෂ්පාදනයට හා නිෂ්පාදන අළෙවියට ස්ථානයක් අලුතෙන්ම ඉදිකරා. කෝටි ගණනක් වැය කරලා. ඒක අද වහළා දාලා කියලා ඔබ දන්නවා ද ?

ප්‍රාදේශීය ලේකම්වරිය – මම ඒ ගැනනම් දන්නේ නෑ. ඒ කොහෙ ද ? ඒක ප්‍රාදේශීය ලේකම් හෝ දිසාපති යටතේ තියෙන එකක් ද ?

rata.lk – ගාල්ල මහ නගර සභාව යටතේ තියෙන්නේ. එතැන පටන්ගත්තෙත් නිෂ්පාදන ස්ථානයක් සහ අළෙවි සැළක්. ගමේ සමිතියක් පිහිටවලා ඒ අයට කරගෙන යන්න කිව්වා. කෝටි ගණනක් මුදල් අපතේ යාම විතරයි වුණේ. මේ ව්‍යාපෘතියත් ඒ වගේ වෙයි නේ ද ?

ප්‍රාදේශීය ලේකම්වරිය –  ඒ ව්‍යාපෘතිය ගැනනම් මම දන්නේ නෑ. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ප්‍රදේශයේ ජනතාවගෙන් ආපු යෝජනාවක් මේ.

rata.lk – මෙතැනට අමුද්‍රව්‍ය ගේන්නේ කොහ‍ොම ද ? කොහු අමුද්‍රව්‍ය හදනව ද ?

ප්‍රාදේශීය ලේකම්වරිය – අමුද්‍රව්‍ය පිටින් ගේන්න තමයි සැළසුම් කරලා තියෙන්නේ. ප්‍රමාණවත් නැත්නම් හේලීස් එකෙන් ගන්නවා. ‍මෙතැනම තෙත්කරලා නවීන යන්ත්‍රවලින් කොහු වෙන්කරන්නත් සැළැස්මක් තියෙනවා.

rata.lk – ඒ කියන්නේ තවම අමුද්‍රව්‍ය ගැන නිෂ්චිත ඉලක්කයක් නෑ නේද ?

ප්‍රාදේශීය ලේකම්වරිය – ඒ ප‍්‍රදේශයේ කොහු කර්මාන්තය තියෙනවානේ. ඒ නිසා ගැටලුවක් නැති වේවි

rata.lk – අමුද්‍රව්‍ය මේ ස්ථානයේ සකස් කරනවානම් සහ කොහු නිෂ්පාදන කරනවානම් පාරිසරික බලත්‍රයක් ගන්න වෙනවා නේද ? ඒක ගත්ත ද ?

ප්‍ර‍ාදේශීය ලේකම්වරිය – තවම ගත්තෙනම් නැහැ. මම පරිසර අධිකාරියට කිව්වා. ඉස්සරහට අමුද්‍රව්‍ය සකසන්න ඕනෑ වුණොත් අපිට අවශ්‍ය අනුමැතිය දෙන්න කියලා.

rata.lk – ඔබට හොඳටම විශ්වාසද කලින් ව්‍යාපෘතිය වගේම මේ ව්‍යාපෘතිය ආසර්ථක වීමක් වෙන එක්ක නැහැ කියලා.

ප්‍රාදේශීය ලේකම්වරිය – කලින් ව්‍යාපෘතිය අසාර්ථක වුණේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම ඒ ගැනත් සොයා බලන්නම්. නමුත් ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය නැත්නම් මම මේක නවත්වනවා.

rata.lk – ළදරු පාසලක් වහපු එක වැරදියි නේද ? ඒ වගේම ගමේ මිනිසුන්ට පොදු ස්ථානයක් හැටියට රැස්වෙන්න තියෙන තැනක් මේ වගේ දේකට යොදාගන්නේ නැතිව මේ ව්‍යාපෘතිය කලින් මේ සඳහාම වෙන්කළ තැනට ගෙනියන්න තිබුණා නේද ?

ප්‍රාදේශීය ලේකම්වරිය – ළදරු පාසල වැහුවේ නෑ. ඒක පුද්ගලික එකක්. ඒ ගුරුවරියට අයින් වෙන්න කිව්වා. මේ ප්‍රජා ශාලාවේ දොරගුළු පවා හොරු කඩලා තිබුණේ. කලින් තැන ගැන මම දන්නේ නැහැ. ව්‍යාපෘතියට සම්බන්ධ අයගේ ඉල්ලීම අනුව තමයි මේ තැන තෝරාගත්තේ.

rata.lk – ඒ ළදරු පාසල වෙන තැනකට ගෙන යනවාට රුපියල් ලක්ෂ 04ක් ගෙවනවද ? කොහෙන්ද ඒ සල්ලි ?

ප්‍රාදේශීය ලේකම්වරිය – මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වැඩිදියුණු කරන්න පොදු ස්ථානයක තියෙන ළදරු පාසල් සඳහා රුපියල් ලක්ෂ 08ක් වෙන්කරන්න කටයුතු කර තිබුණා. පුද්ගලික තැනකට තියෙන ඒවාට දෙන්නේ ලක්ෂ 04යි. මෙතැන තිබුණානම් ලක්ෂ 08ක් දෙන්න පුළුවන්. නමුත් මේ ව්‍යාපෘතියට ගොඩනැගිල්ල ගන්න නිසා අපි කීවා පුද්ගලික තැනකට ගෙනියන්න කියලා. එවිට ලක්ෂ 04ක් ඒ ළදරු පාසලට ‍ලබාදිය හැකියි.

ප්‍රාදේශීය ලේකම්වරියත් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාත් සමඟ කළ සාකච්ඡාවෙන් පැහැදිලි වන්නේ මේ ව්‍යාපෘතිය සඳහාම ගමේ සමිතියක් පිහිටුවා ඇති බවයි. ඒ සමිතියේ සාමාජික සාමාජිකාවන්ගෙන් බහුතරයක් දැනට කොහු කර්මාන්තයේ නියැලෙන්නේ නැත.

එසේ නම් ව්‍යාපෘතියේ අවශ්‍යතාව කවුරුන් සඳහා ද යන් ගැටලුවකි.

ගම්වාසීන් චෝදනා කරන්නේ එක්තරා ව්‍යාපාරිකයකු සඳහා මේ පොදු ස්ථානය ව්‍යාපෘතියක් මුවාවෙන් ලබාදෙන බවයි.

ගමේ කොහු කර්මාන්තයේ නිරතවන පවුල් සංඛ්‍යාව ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දන්නේ නැත. වසර 10කට පෙරාතුව ‍රුපියල් කෝටි ගණනක් වියදම් කර එම ආසන්නයේ ම ආරම්භ කර ආසාර්ථක වූ කොහු නිෂ්පාදනාගාරය සහ ප්‍රදර්ශනාගාරය ගැන සැළසුම් සකස්කළ නිළධාරීන් දන්නේ නැත.

කොහු නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය අදාල සමිතියට ලැබෙන ආකාරයක් පිළිබඳ කිසිවෙකුත් දන්නේ නැත. අදාල සමිතියේ බැංකු ගිනුම ඇත්තේ කවර බැංකුවක දැයි විමසූ විට එයට පිළිතුරු ලැබුණේ ද නැත. කොහු හේලීස් සමාගමෙන් ලැබෙන බවා මන්ත්‍රවරයාත්, ප්‍රාදේශීය ලේකම්වරියත් කීව ද හේලීස් සමාගම සමඟ මෙතෙක් එවැනි සාකච්ඡාවක් පවත්වා නැත. කොහු එම ස්ථානයේ නිෂ්පාදනය කිරීමටද සැළසුම් කරන බව කීව ද මධ්‍යම පරිසර අධිකාරියෙන් ඊට අවසරයක් ගෙන නැත.

ශ්‍රී ලංකාවේ රාජ්‍යසේවයේ හොඳම සුපිළිපන්න නිලධාරිනිය වූ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීරට මේ ගැන සැළකිලිමත් විය යුතු බව අපි අවධාරණය කරමු.

ඔබ මෙරට හොඳම රාජ්‍ය නිලධාරිනිය වූ අවස්ථාවේ දී ඔබ වෙනුවෙන් ප්‍රශස්ති කියූ ගාලු ජනතාව ඔබ දෙස හැමදාමත් බලා සිටියි.

සැළසුම අවුල් සහගත බව පැහැදිලිය. වසර ගණනාවකට පෙර කොහු කර්මාන්තයට සමුදුන් පිරිසක් සමඟ හදිසියේම අටවාගත් සමිතියකට රජයේ අරමුදල් මිලියන ගණනක් වැය කිරීම සුපිළිපන්න භාවය නොවේ. ප්‍රජා ශාලාවක් යනු පොදු ස්ථානයකි. ළදරු පාසල් වැඩි ප්‍රමාණයක් ඇත්තේ පුද්ගලික ගුරුවරුන්ගේ භාරයේය. රජයෙන් පවත්වාගෙන යන්නේ සුළු ප්‍රමාණයකි. ගමට තිබූ ළදරු පාසල පැත්තකට විසිකර දමා ව්‍යාපාරික අවශ්‍යතාවන් වෙනුවෙන් සමිතියකට මුවාවී රජයේ මුදල් කොල්ලකෑමක් සිදුවන බවනම් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

‍මේ ගැන ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ හොඳම සුපිලිපන්න නිලධාරිනය වූ ඔබගේ දැඩි අවධානය යොමු විය යුතු බව නැවත අවධාරණය කරන්නෙමු.

(සජීව විජේවීර)

(මෙම ලිපියෙන් යම් පාර්ශවයකට, ආයතනයකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුව ඇත්නම් මේ හා සමාන ඉඩක් ලබාදෙමින් ඔවුන්ගේ, ආයතනයේ හෝ පාර්ශවයේ අදහස් ද පළකිරීමට rata.lk අපි බැඳී සිටින්නෙමු.)

සුනාමියෙන් ලැබුණු ව්‍යාපෘතියක් ලෙස දඩල්ලේ කොළඹ පාර ආසන්නයේ කොහු නිෂ්පාදනය සහ අළෙවිය සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල. දැන් අතහැර දමා ඇති ආකාරය
එම ගොඩනැගිල්ලේ ඇතුළත දර්ශන
ව්‍යාපෘතිය අතහැර දැමිය හැකියැයි ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුව ද ප්‍රජාශාලාව වට කරමින් තාප්පයක් ඉදිකරන ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!