spot_img
spot_imgspot_img

ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවල බොරුව සහ ඇත්ත

පුවත්

විදෙස්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට දීමට රජය පිඹුරුපත් සකස් කර ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බැලීමට එහි ගියේය. නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසන්නේ ත්‍රිකුණාමලයේ ඇති තෙල්ටැංකි සියල්ල මේ වනවිටත් ඉන්දියාවට ලබා දී ඇති බැවින් එය නැවත ලබාගැනීම සඳහා තමන් ඉන්දියාව සමඟ විශාල අරගලයක නිරත වී සිටින බවකි.

මෙ‍රට බොහෝ දෙනකු ‍මේ තෙල් ටැංකිවල ඇත්ත කතාව දන්නේ නැත.

තෙල් ටැංකිවල ඉතිහාසය

පළමු ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මේ තෙල් ටැංකි සංකීර්ණය ඉදිකරන ලද අතර 1924 දී වැඩ ආරම්භකළ එහි වැඩි අවසන් වූයේ 1930 දශකය අග භාගයේ දීය. එහි ඉදිකිරීම් අප්‍රිකානු ජාතික කම්කරුවන් විසින් සිදුකළ අතර දෙවැනි ලෝක යුද්ධය වනවිට බ්‍රිතාන්‍යය සතුව තිබූ ලොව විශාලතම තෙල් ගබඩාව ලෙස ද හැඳින්විණි. මේ නිසාම ත්‍රිකුණාමලය දෙවැනි ලෝක යුද්ධයේ දී මර්මස්ථානයක් ලෙස හැඳින්විණි.

අක්කර 850ක භූමියක තෙල් ටැංකි 102ක් ඉදිකිරීමට සැළසුම් කර තිබුණ ද පැවති මිත්‍යා විශ්වාසයන් හේතුවෙන් 100 වැනි ටැංකිය ඉදිකර නැති බැවින් එහි තිබුණේ ටැංකි 101ක් පමණි. දැවිතෙල්, ඩීසල් සහ භූමිතෙල් ගබඩා කිරීම සඳහා ඉදිකර තිබූ මේ ටැංකි සංකීර්ණයේ එක් ටැංකියක ධාරිතාව ඉන්ධන ටොන් 12,000කි. ඒ අනුව එහි සමස්ත ධාරිතාව මිිලයන 1.2 ඉක්මවයි.

මෙම ටැංකි සංකීර්ණ ඉහළ ටැංකි සංකීර්ණය Lower Tank සහ පහළ ටැංකි සංකීර්ණය Upper Tank යනුවෙන් කොටස් දෙකකින් සමන්විත අතර ත්‍රිකුණාමලය වරාය ජැටියේ සිට කිලෝ මීටර 02ක් ඇතුළත පිහිටා තිබේ.  

ජපන් ප්‍රහාරයේ තෙල් ටැංකිවලට වූ විනාශය

කොළඹට බෝම්බ දමා දින 04කට පසු ත්‍රිකුණාමලය තම ඉලක්කය කරගත් ජපන් ගුවන් හමුදාව තෙල් ටැංකිවලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණියේ 1942 අප්‍රේල් 09 වැනි දා ය. ජපන් ප්‍රහාරක යානාවක් තෙල් ටැංකි දෙසට පැමිණ බෝම්බ හෙළීමට සූදානම් වුවද ප්‍රති ප්‍රහාර හේතුවෙන් එය සාර්ථක වූයේ නැත.

එලෙස පැමිණි යානයේ ජපන් නියමුවා වූ ෂිජෙනෝරි වටනාබේ තම සහායකයන් දෙදෙනා ද සමඟ අංක 91 තෙල් ටැංකියේ යානය හප්පවා පුපුරා හැරියේය. ඉන් ඇති වූ ගිනන දින 07්ක් පැවැති අතර ඉදිකිරීමේ ආරක්ෂිත බව නිසාම එය අනෙක් ටැංකිවලට පැතිරී ගියේ නැත.

ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඉතිරිවූයේ තෙල් ටැංකි 100ක් පමණි. මේ වනවිට එහි ඇත්තේ ටැංකි 99කි.  

තෙල් ටැංකි වනයෙන් වැසී යයි

මේ දැවැන්ත තෙල් සංකීර්ණය ක්‍රමයෙන් වනාන්තරයෙන් වැසී යන්නට වූ අතර ශ්‍රී ලංකාවේ මාස කිහිපයක ඉන්ධන අවශ්‍යතාවට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගත හැකි වුවද එවැනි අවශ්‍යතාවක් මෙරට කිසිදු රජයකට තිබුණේ නැත. නමුත් මෙහි වටිනාකමත් ගත හැකි ප්‍රයෝජනත් හොඳින්ම අවබෝධ කරගෙන සිටි ඉන්දියාව ‍ත්‍රිකුණාමලයේ ඉන්ධන ගබඩාව කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටියේ එහ කවර හෝ මොහොතක තමන් සතුකර ගැනීමේ අභිප්‍රායෙනි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සඳහා ඇමෙරිකානු අත පෙවීම

එල්ටීටීඊ සංවිධානය උතුරු සහ නැගෙනහිර වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ගෙනගිය අරගලයේ දී ඇමෙරිකානු හිතවාදියකු වූ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පකිස්තානයනේ සහ ඊශ්‍රායලයෙන් සහාය ලබාගත් අතර ඉරණවිල “ඇමෙරිකා හඬ” ගුවන්විදුලි මධ්‍යස්තානයක් ද පිහිටවූයේය.

මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වූ ඇමෙරිකා සමාගමකට ලබාදීම ද සිදුකෙරිණි. මේ කොන්ත්‍රාත්තුවට ඇස ගසා සිටි ඉන්දියාව මේ කිසිවක් රිස්සුවේ නැත.

ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ අතපෙවීම් ගැන වඩාත්ම සසළ වූයේ ඉන්දියාවයි.

තෙල් ටැංකි අත්පත් කරගැනීමේ ඉන්දීය සැළැස්ම

ආසියාවේ විශාලතම තෙල් ආනයන කරුවකු වන ඉන්දායවට තමන්ට අවශ්‍ය තෙල් තොග ත්‍රිකුණාමලයට විශාල නැව්වලින් ගෙන්වා ගබඩා කර අවශ්‍යතාව අනුව කුඩා නැව්වලින් නැවත ඉන්දියාවට රැගෙන යාම ඉතාමත් ලාභදායී කාර්යයකි. එපමණක් නොව ලෝකයේ වෙළෙඳ හා නාවික මධ්‍ය ලක්ෂයක පිහිටි ත්‍රිකුණාමලය ලෝක ව්‍යාප්ත වූ ඕනෑම යුද්ධයක දී ද අතිශය වැදගත් පිහිටීමකින් යුතු වීම ඉන්දියාව මේ කෙරෙහි අවධානය යොමු කිරීමට හේතුවක් වී තිබිණි.

1985 දී ත්‍රිකුණාමලය තෙල් ගබා සංකීර්ණය නඩත්තු කටයුතු ඉන්දියාවට භාර දෙන බවට ශ්‍රී ලංකා රජය කැමති කරවාගැනීමට ඉන්දියාව මහත් වෙහෙසක් ගත්තේය. නමුත් ජේ.ආර්. ඊට නම්‍යශීලී වූයේ නැත.

එසේ වුවද 1987 ජූලි මස 29 වැනි දින අත්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා රජයට දණ නැමීමට සිදුවූ අතර එම ගිවිසුමේ එක් ඇමුණුමක් ලෙස ත්‍රිකුණාමලයේ ඇති තෙල් ගබඩා සංකීරණය  සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමඟ ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකා රජයට නොහැකි වගන්ති එක්කර තිබිණි.

එම ගිවිසුම අනුව ඉන්දියාවට තෙල් ටැංකි සම්බන්ධයෙන් යමක් කළ හැකි වුව ද ශ්‍රී ලංකා රජය ඒ සඳහා කිසිදු අවසරයක් ලබා නොදී වසර 15ක් ම ගත කර තිබිණි.

ඉන්දියාවට තෙල් ටැංකි පවරාදීම

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපිනියව සිටිය දී අගමැති රනිල් වික්‍රමසිංහ රජය 2003 වර්ෂයේ කොටි සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව Indian oil company  (IOC) සමග ගිවිසුමක් අත්සන් කෙරිණි.  

2002 වර්ෂයේ දී ඉන්දියාවේ සංචාරය කළ අගමැති රනිල් වික්‍රමසිංහ තෙල් ටැංකි සඳහා ඉන්දියාවට විවෘත ආරාධනයක් කර තිබිණි. පසු කළෙක රනිල් වික්‍රමසිංහ කියා තිබුණේ සටන් විරාම ගිවිසුමකට යාමට සැළසුම් කර තිබුණ ද අනාගතයේ දී කවර හෝ මොහොතක යළි යුද්ධයක් ඇතිවිය හැකි බැවින් ඊට පෙර සූදානමක් ලෙස ඉන්දියාවට ආරාධනා කළ බවයි. ඉන්දියාවේ අදහස වූයේ රිලයන්ස් නමැති පුද්ගලික සමාගමක් මගින් ශ්‍රී ලංකාවේ තෙල් ටැංකි පාලනය ගැනම වුව ද ශ්‍රී ලංකා රජය ඊට එකඟ වූයේ නැත. ශ්‍රී ලංකාවේ යෝජනාව වූයේ ඉන්දීය රජයේ කොටස්කාර සමාගමක් වූ අයිඕසී සමාගම මේ සඳහා අවශ්‍ය බවයි.

එම සාකච්ඡාවලින් පසුව 2003 පෙබරවාරි 07 වැනි දා තිස්පස් වසරක බදු පදනමක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකිර්ණය ඉන්දියානු ඔයිල් සමාගමට පවරා දෙන ලදී.  එම පැවරීම අනුව ඉන්දියාව සෑම වර්ෂයක දී ම ‍ඇමෙරිකානු ඩොලර් 100,000ක් ශ්‍රී ලංකාවට ගෙවිය යුතුය. එමෙන් ම ජාතික හා ආරක්ෂක අවශ්‍යතාවල දී මෙම තෙල් සංකීර්ණයට ප්‍රවේශ වීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව ඇති බව ද ගිවිසුමේ කොන්දේසිවල දැක්වෙයි. මෙම ගිවිසුම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අයිඕසී සමාගමත්, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාත් අත්සන් තැබූ අතර කිසිදු පාර්ශවයකට මේ ගිවිසුම ඒක පාර්ශ්විකව අවසන් කළ නොහැකිය.

ගිවිසුම්ගත කාලය අවසන් වන්නේ 2038 ‍දීය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩි ප්‍රසාදයක් දැක්වූයේ නැත. ඇය දිගින් දිගටම අවධාරණය කළේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පමණක් නොදී සිංගප්පූරුව, ජපානය සහ ඉන්දියාව යන රටවල් කිහිපයකට බෙදා දිය යුතු බවයි.

දේශපානයේ කඩවුණු පොරොන්දු

ඉන්පසු විටින් විට බලයට පත්වූ පාලකයෝ තම මැතිවරණ වේදිකාවේ දී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ල යළි රජයට පවරා ගන්නා බවට අත්පොළසන් සහ විසිල් ශබ්දය මැද කීව ද කිසිදිනක එය ඉටු නොවූ පොරොන්දුවකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද මේ පොරොන්දුව දී තිබිණි. නමුත් මේ ගිවිසුම අහෝසි කිරීමට ඔහු කටයුතු කළේ නැත. අන්තර්ජාතික වශයෙන් මේ ගිවිසුම අහෝසිකළ හැකි මට්ටමක නොමැති බව හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පමණක් නොව වත්මන් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මම්පිළ ද හොඳින්ම දන්නා කරුණනකි. 2003 වර්ෂයේ සිට ගිවිසුම අහෝසි කරන බව කියූ සියලු රජයන් මේ දක්වාම වාර්ෂිකව ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් 100,000 මුදල නොපැකිළව ලබාගනී.

ඉන්දියාවේ භාවිතය හා රජයට ලැබෙන ආදායම

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99ක් ඉතිරිව ඇතත් දැනට ඉන්දියානු ඔයිල් සමාගම භාවිතා කරන්නේ ඉන් තෙල් ටැංකි 14ක් පමණි. අනෙක් ටැංකි භාවිතයට ගන්නේ නම් ටැංකි 16ක් සුළු අළත්වැඩියාවකින් භාවිතයට ගත හැකි තත්වයේ පවතින අතර අනෙක් සියල්ල පූර්ණ අලුත්වැඩියාවකට ලක්කළ යුතුය. ටැංකි එතරම් දිරාපත් වී නැත්ත ටැංකිවලින් තෙල් ප්‍රවාහනය කරනු ලබන නල මාර්ග රැසක් දිරාපත්ව ඇති බව 2017 වර්ෂයේ දී අප කරන ලද නිරීක්ෂණයකින් දැකගත හැකි විය.

2016 – 2017 වර්ෂවල දී ඉන්දියානු ඔයිල් සමාගම මෙරට තෙල් බෙදා හැරීමෙන් 1/3ක් හිමිකර ගැනීම හේතුවෙන් රුපියල් බිලියන 80ක ආදායමක් උපයා රජයට රුපියල් බිලියන 30ක ආදායමක් ලබා දී ඇත. ඒ මෙම ටැංකි බදු දීමෙන් ශ්‍ර්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික ඩොලර් 100,000ක ආදායමට අමතරවය.

එහෙත් ශ්‍රී ලංකාවේ තෙල් බෙදාහැරීමෙන් 2/3කට හිමිකම් කියන ඛනිජතෙල් නීතිගත සංස්ථාව තවමත් වාර්ෂිකව බිලියන ගණනක් පාඩු ලබන සමාගමක් බව ශ්‍රී ලංකා රජයයන් හැමදාමත් කියන දෙයකි.

තෙල් ටැංකි ගිවිසුම සමඟ මෙරට ඉන්ධන බෙදාහැරීමෙන් කොටසක් හිමිකරගත් IOC සමාගම රට පුරා ඉන්ධන පිරවුම්හල් නවීකරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ද සිය ඉන්ධන පිරවුම්හල් යාවත්කාලීන කිරීමට සිදුවීම පාරිභෝගියන්ට වඩාත් පහසුවක් විය.

ගිවිසුම් වෙනස් කිරීමේ උත්සාය

පසුගිය යහපාලන රජය කාලයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගැනීම සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් තැබීමට ශ්‍රී ලංකා රජයේ උත්සාහයක් තිබිණි. එහි දී උත්සාහය වූයේ ඒ වනවිටත් අයි‍ඕසී සමාගම භාවිතා කරන ටැංකි 15 තවදුරටත් ඔවුන්ටම ලබා දී ටැංකි 10ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරා  ගැනීමයි. ඉන් පසු ඉතිරි ටැංකි 74 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයිඕසී සමාගම හවුල් කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමත් කැබිනට් මණ්ඩල අනුමැතිය පවා හිමිව තිබිණි. නමුත් ඒවා ක්‍රියාත්මක වූ සැළසුම් නොවේ.

ඉන්දියාව සමඟ ඒකාබද්ධ වී හවුල් කළමනාකරණයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව 2020 පෙබරවාරි මාසයේ දී බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ කීවේය.

ඔහු එදා කීවේ එම ටැංකිවල ඉන්ධන ටොන් 999,000ක් ගබඩා කළ හැකි බවයි. එමෙන්ම එය මාස දෙකක ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් බව ද අමාත්‍යවරයා කීවේය. ඉන්දියාවට බදු දී ඇති මේ තෙල් ටැංකි සංකීර්ණය යලි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය එකඟතාව ප්‍රකාශ කර ඇති බවත්, ඔහු කියා සිටියේය.

ඉන්දිය විදේශ ලේකම්වරයාගේ සංචාරය සහ තෙල් ටැංකිවල අනාගතය

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශිංග්ලේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමට එහි ගියේය. දැනට ඉන්දීය ඔයිල් සමාගම විසින් භාවිතා කරන පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ මෙරට බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම පිළිබඳ එහි දී ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරීන් ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුම්වත් කර තිබේ.

2003 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ තෙල් ටැංකි සම්බන්ධයෙන් අත්සන් කර ඇති ගිවිසුම තවමත් වලංගු සහ ක්‍රියාත්මක බවත් තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ ඇති ටැංකි 84 ද ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත් වාසිදායක වන ආකාරයට කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!