මාකඳුරේ මදූෂ් වෙඩි හුවමාරුවක දී මරුට

0
171

මාකඳුරේ මදූෂ් වෙඩි වැදීමකින් අද (20) අලුයම මියගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, අලුයම 3.08ට පමණ මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි. ජාවාරම්කරුවන් අත්බෝම්බයක් හා වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ බවත් මදූෂ් එයට මැදි වූ බවත් පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු ද රෝහල්ගත කර සිටිති.

වැටලීමේ දී පිස්තෝල දෙකක්, හෙරොයින් කිලෝ 22ක් සහ යතුරුපැදියක් සඟවා තිබිය දී හමුවී ඇත.

වසර ගණනාවක් ඩුබායි හි රැඳී සිටි මාකඳුරේ මදූෂ් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු 2019 මැයි මස 05 වැනි දා මෙරටට පිටුවහල් කරන ලදී. වසර 1 1/2 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ඔහු පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here