spot_img
spot_imgspot_img

ආචාර්ය සිරාන් දැරණියගල දැයෙන් සමුගනී

පුවත්

විදෙස්

මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළ විද්වතකු ලෙස ප්‍රකට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 79 වැනි වියේ පසුවූ දැරණියගල 1942 මාර්තු 01 දා රත්නපුරයේ දී උපත ලැබුවේය.

ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ හිිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම මෙරට සත්ව විද්‍යාව හා පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රකට පර්යේෂකයකු වූ පී.ඊ.පී.දැරණියගලගේ සහ ප්‍රීති මොලමුරේ යුවළගේ පවුලේ තුන්වැනි දරුවා වූ සිරාන් උපේන්ද්‍ර දැරණියගල ශ්‍රීමත් පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ සිරිවර්ධනගේ (පෝල් ඊ.පීරිස්) මුණුපුරා වෙයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ සිරාන් දැරණියගල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වාස්තු විද්‍යාව හා සංස්කෘත භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්තේය. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලැබුවේය. 

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දී පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සෑම අංශයකින් ම දක්ෂතා පෙන් වූ හොඳම ශිෂ්‍යයාට හිමිවන ගෝර්ල්ඩන් චයිල්ඩ් රන් සම්මානයෙන් ද පිදුම් ලැබූ දැරණියගල 1968 වර්ෂයේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයා වශයෙන් පත්වීම් ලැබුවේය. 1968 වර්ෂයේ දී ම පාහියන්ගල ලෙන ආශ්‍රිත ඉපැරණි මානව ජනාවාස සොයා එය අධ්‍යයනය කළ ඔහු 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර පුරාවිද්‍යා කැණීම් ආරම්භ කළේය. අදින් වසර 130,000ක් පැරණි ඉරණමඩු පාංශු ස්ථරය පිළිබඳ දීර්ඝ පර්යේෂණ රැසක් සිදුකළ ශිරාන් දැරණියගල එම දත්ත ඇසුරින් සකස් කළ නිබන්ධනය සඳහා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේන ආචාර්ය උපාධියක් ද ලබා ගත්තේය. ඒ 1998 දී ය.

ඔහු 1992 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලබා 2001 වර්ෂය දක්වා එම ධූරයේ කටයුතු කළේය.

සුප්‍රකට මඩුවන්වෙළ වළව්ව ආචාර්ය සිරාන් දැරණියගලට පරම්පරාවෙන් උරුම වූවකි. එහි ඇති ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් එය පුරාවිද්‍යා උරුමයක් බවට පත්කිරීමට ද හෙතෙම කටයුතු කළේය. කුරුවිට පිහිටි එක්නැලිගොඩ වලව්ව ද ඔහුට පරපුරෙන් උරුම වූ වලව්වකි. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා නොදුන්න ද එහි පෞරාණික්තවය ආරක්ෂාවන පරිදි ආරක්ෂා කිරීමට හෙතෙම කටයුතු කළේය.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!