spot_img
spot_imgspot_img

ගාලු බස් සමාගම රජයට දී දෙපළ අහිමිකරගත් “ගාල්ලේ බස් පැටි මහත්තයා” අගමැති පරදා පාර්ලිමේන්තු යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් ගැන කියූ විට අපට සිහිපත් වන්නේ මහජන ඡන්දයෙන් තේරීපත්වී සියලු සැප සම්පත් භුක්තිවිද පරම්පරා කිහිපයකට වස්තුව ‍උපයා ගන්නා පුද්ගලයන්ය.

නමුත් එදා මෙරට සිටි දේශපාලනඥයෝ එසේ නොවූ බව පැරැන්නෝ අදට ද සිහිපත් කරන්නේ ඔවුන් ගැන ගෞරවයෙන් සහ අභිමානයෙනි.

ගාල්ලේ “බස් පැටි මහත්තයා” ද එවැන්නෙකි.

ගාල්ල මහ නගර සභාවට ගාල්ල කඩවීදිය කොට්ඨාශයෙන් තේරීපත් වී මෙරට ඉතිහාසයේ පළමු වතාවට අගමැතිවරයකු මහ මැතිවරණයකින් පරාජය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමේ අසම සම වාර්තාවක් තබා ඉන් අනතුරුව ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ද වූ බස් පැටි මහත්තයා දේශපාලනය හේතුවෙන් තම සියලු දෑ විනාශ කරගෙන වස්තු භංගත්වයට පත්වූ අයකු ලෙස හැඳින්වුවහොත් එය පුදුමයක් නොවේ.

බස් පැටි මහත්තයා නගරාධිපතිවරයා ලෙස

ඔහු Galle Motor Bus Company නමැති පුද්ගලික බස් සමා‍ගමේ හිමිකරුවාය. ගාල්ල නගරයේ මෙන් ම ඒ අවට ද ඉඩම් සහ ව්‍යාපාර රැසකට හිමිකම් කියූ ඔහුගේ බස් සමාගමත් ඉඩකඩම් රැසකුත් රජයට පවරාගැනීම හේතුවෙන් ජීවත් වූ නිවස හැර අන් සියල්ල අහිමිකරගත් පුද්ගලයෙකි.   

මාතර, නාඔටුන්නේ ඉඩම් හිමි වැවිළිකරුවකු වූ විජේසේකර දොන් දියෝනිස් අබේගුණවර්ධන විදානේ මහතාගේ සහ මාතර අකුරුගොඩ වෙද පරපුරක දියණියක් වූ කළුආරච්චි හින්නිහාමිනේ මහත්මියගේ පවුලේ තුන්වැනි දරුවා ලෙස 1907 ඔක්තෝබර් මස 03 වැනි දින මෙළොව එළිය දුටු විජේසේකර දොන් සයිමන් අබේගුණවර්ධන ගාල්ලේ ප්‍රසිද්ධ වූයේ බස් පැටි මහත්තයා ලෙසිනි. ඔහුගේ පවුලේ සහෝදරයන් සිව් දෙනකු හා සහෝදරියන් සිව් දෙනකු වූහ.

නාඔටුන්නේ කන්දකැටිය නිවසේ සිට ශාන්ත තෝමස් විද්‍යාලයට අකුරුකිරීමට ගිය කුඩා සයිමන් පසුව ගාල්ලේ දෙවටේ ඩී.ජේ.කළුආරච්චි වෙද මාමාට භාරවීම ඔහුගේ ඉරණම තීරණය කරන සාධකය විය. එහි සිට ශාන්ත ඇලුවීෂයස් විද්‍යාලට, මහින්ද විද්‍යාලයට හා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට අකුරු කිරීමට ගිය ඔහු රැකියාවක් ආරම්භ කළ ද ඔහුගේ ආහාව වෘයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිවිසීමයි.

25 වැනි වියේ දී ගාල්ලේ කම්මල්ගොඩ මුදලිගේ චාලට් නෝනා සමඟ 1933 දී විවාහ වූයේය.

බිරිඳ චාලට් නෝනා

ව්‍යාපාරික සිහිනය දකිමින් සිටි සයිමන් තම කුළුදුල් දරුවා වූ ශ්‍රීමතී දියණියගේ උපතත් සමඟ 1934 දී බස්රථයක් මිල දී ගත්තේය. එහි අංකය X 7471 විය. එම බස්රථය මිල දී ගත් ඔහු “ඩේලි සර්විස් බස්රථ සමාගම” ආරම්භ කළේය. පසුව මේ සමාගම “Galle Motor Bus Company” ලෙස හැඳින්වූ අතර 1945 වනවිට එම සමාගම සතුව බස්රථ 23ක් තිබිණි. 1945 දී ගාල්ල නරග බස් සේවාව යනුවෙන් කෙටි දුර ගමන් සේවාවක් ආරම්භ කිරීමට ද ඔහු කටයුතු කළේය.

බස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය

සිංහල භාෂාවටත් දේශීයත්වයටත් දැඩි ඇල්මක් දැක්වූ සයිමන් සැදැහැවත් බෞද්ධයෙකි. මේ හේතුවෙන් ම සිංහල භාෂාවෙන් ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කළ පළමු බස් සමාගම බවට ඔහුගේ බස් සමාගම පත්විය. එමෙන් ම පූජ්‍ය පක්ෂයට බස් රථවල ‍ආසනයක් වෙන්කිරීම සහ භික්ෂූන් වහන්සේලාට සිය බස්රථවල නොමිලේ යාමට ඒමට පහසුකම් ලබාදීමත් ඔහු ආරම්භ කළේය.

රෝලන්ඩ්ස් සමාගමෙන් බස් චැසි ගෙන්වාගන්නා පැටිමහත්තයා ඒවාට බස් බොඩිය සකසන්නේ පානදුරේ ලූකන්ස් සමාගමෙන් හෝ හැරිසන් සමා‍ගමෙනි. අලුත්ම බසයක් ගාල්ලට රැගෙන ආ විට ඔහු කරන පළමු කාර්යය වන්නේ ගාල්ලේ පිරිසක් පටවාගෙන කතරගම වන්දනාවේ යාමයි. කතරගම ගොස් පැමිණෙන බසය පසුව දා සිට ධාවනයට එක්වෙයි.  

පැටි මහත්තයා සිය බිරිඳ සමග

ලංකාවට නිදහස දිනාගැනීමේ කාර්යයේ දී තීරණාත්මක බලවේගයක් බවට පත්ව තිබූ සිංහල මහා සභාව ගාල්ලට හඳුන්වාදුන් සයිමන් එහි ගාලු දිස්ත්‍රික් ප්‍රථම සභාපතිවරයා වෙමින් තම දේශපාලන ගමන ආරම්භ කළේ 37 වැනි වියේ දී ය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායකගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ සිංහල මහ සභාව පසුව එක්සත් ජාතික පක්ෂය පරිවර්ථය වීමත් සමඟ සයිමන් අබේගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල ශාඛාවේ ප්‍රථම සභාපතිවරයා ද වූයේය.

තම දේශපාලන ගුරුවරයා වූ බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය හැරගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූව ද සයිමන් අබේගුණවර්ධන එක්සත් ජාතික පක්ෂය හැරගියේ නැත.

ඔහු ගාල්ල මහ නගර සභාවට ගාලු කඩවීදිය කොට්ටාශයෙන් ඉදිරිපත් වී 1955 දී නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්වූ අතර 1956 දී පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුව ද ජයගත නොහැකි වූයේය.

ගාල්ලේ ප්‍රකට බස් ව්‍යාපාරිකයකු වූ ඔහු අගමැති ශ්‍රීමත් ‍ජෝන් කොතලාවල වෙත 1954 දී අපූරු යෝජනාවක් කළේය. එම යෝජනාව වූයේ තමන් ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සතුව ඇති බස් ව්‍යාපාරය මෙරට ජනතාවට වඩාත් සාර්ථක සේවාවක් බවට පත්කිරීමට නම් එය ජනසතු ව්‍යාපාරයක් බවට පත්කළ යුතු බවයි.

නමුත් ජෝන් කොතලාවල අගමැතිවරයාට එය කළ නොහැකි විය. ඉන් පසු බලයට පත්වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනාය බස් ජනසතු කළේය. ඒ වනවිට බස් පැටිමහත්තයා සතුව තිබූ බස්රථ සංඛ්‍යාව 85කි. ඒ සමාගමේ සේවකයන් පිරිස 750ක් පමණ විය. රජය විසින් බස් ජනසතු කිරිම හේතුවෙන් ඔහුට සියලු බස්රථ අහිමිවූ අතර බස් රථ නවතා තිබූ පෙට්ටිගලවත්තේ ඉඩම් කිහිපයක් ද අහිමිවිය. බස් සමාගම පැවැති ගොඩනැගිලි පවා රජයට පවරාගත් අතර සේවකයන් ද ලංකා ගමනා ගමන මණ්ඩලයට බඳවාගන්නා ලදී.

ඔහු සතුව තිබූ බස් රථ දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කෙරුණු ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ වලට බෙදා දී සේවය සඳහා යොදාවා තිබිණි. එවැනි ඇතැම් බස්රථ පසුව තමන්ට දක්නට ලැබුණු බව ද පැටි මහතාගේ දරුවෝ දැනටත් සිහිපත් කරති.

ගාල්ල පෙට්ටිගලවත්තේ මාතර පාරට යාබදව තිබූ බස් රථ ගාලේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැඩබිම ලෙස ඉන් පසු වසර ගණනාවක් භාවිතා කළ අතර මේ වනවිට NIBM ගොඩනැගිල්ල එහි ඉදිකර තිබේ. නාවික හමුදා කඳවුර ඉදිරිපිට තිබූ ඔහුගේ තවත් ඉඩමක් රජයට පවරාගෙන දැනට එහි ලංකා ගමනා ගමන මණ්ඩලයේ කාර්යාලයක් පවත්වාගෙන යයි. තම දියණිය වෙනුවන් පැටි මහත්තයා විසින් ඉදිකර තිබූ පෙට්ටිගලවත්තේ සුවිසල් නිවසක් ද රජයට පවරාගත් අතර දැන් එහි සමූපකාර දෙපාර්තමේන්තුව පවත්වාගෙන යයි.

පැටි මහත්තයා තම දියණිය වෙනුවෙන් ඉදිකළ නිවස අද සමූපකාර දෙපාර්තමේන්තුව සතුව ඇත.

මෙම සිදුවීම පිළිබඳ ඔහුගේ පුතු ප්‍රසාද් අබේගුණවර්ධන මහතා මෙසේ පවසයි.

“බස් ව්‍යාපාරය ජනසතු කරන අවස්ථාව වනවිට අපේ බස් කම්පැනිය ගාල්ල දිස්ත්‍රික්කය පුරාමත්, මාතර අකුරැස්ස සහ දෙනියාය ප්‍රදේශවලත් බස් ධාවනය කරමින් සිටියා. එය ඉතාමත් හොඳ ලාභදායී ව්‍යාපාරයක්. නමුත් මේ ජනසතු කිරීම ගැන තාත්තා කවදාවත් කණගාටු වූ බවක් පෙන්නුවේ නැහැ. එදා ජනසතු කරනවා කියලා කිව්වට කිසිම ලිඛිත සාක්ෂියක් නැහැ. මමත් ඒ වනවිට දැනුම් තේරුම් ඇති වයසේ පසුවුණේ. පැරණි බසයකට රුපියල් 1000.00 බැගින් සහ අලුතෙන් ගෙන්වූ බස්රථවලට රුපියල් 2000.00 බැගින් මුදල් ලැබුණා. ඒ වනවිට ධාවනයට එකතු නොකරපු අලුත්ම බස් 12ක් තිබුණා. ඉඩම්වලට කිසිම දෙයක් නෑ. අදටත් ඒ ඉඩම්වල ඔප්පු සියල්ල තියෙන්නේ අපේ නම්වලට. මේ පවරාගැනීම සිදුවන විට තාත්තා තමන්ගේ දරුවන්ගේ නම්වට ඉඩම් ලියා තිබුණා. අද NIBM  ගොඩනැගිල්ල, මාගාල්ලේ ලංකා ගමනා ගමන මණ්ඩල කාර්යාලය තියෙන ඉඩම, සමූපකාර ගොඩනැගිල්ල තියෙන ඉඩම ඔක්කොම අපේ නම්වලට තියෙන්නේ.”

ප්‍රසාද් අබේගුණවර්ධන (පුතුන් අතරින් වැඩිමලා)

බස් සමාගම ජනසතු කරන කාලය වනවිට ගාල්ලේ දැවැන්ත ව්‍යාපාරිකයකු වූ බස් පැටිමහත්තයාට ගාල්ල කළුවැල්ලේ, පෙට්ටිගලවත්තේ සහ තිස්සමහාරාමයේ ඉන්ධන පිරවුම්හල් තුනක් අයත්ව තිබිණි. එමෙන් ම ගාල්ල නගරයේ ව්‍යාපාරික ගොඩනැගිලි කිහිපයක් ද ඔහු සතුවිය.

බස් ව්‍යාපාරය අහිමිවීමත් සමඟ ඔහු තිස්සමහාරාමයේ ඉන්ධන පිරවුම්හළත්, කළුවැල්ලේ ඉන්ධන පිරවුම්හළත් පවත්වාගෙන යාමෙන් ඉවත්වූයේය. පෙට්ටිගල වත්තේ ඉන්ධන පිරවුම්හළ තවමත් ඔවුන්ගේ පවුලේ ඥාතීන් සතුව ඇති ව්‍යාපාරයකි.

1960 මාර්තු මහ මැතිවරණයේ දී ගාල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූයේ ඩබ්ලිව්.ඩී.එස්.අබේගුණවර්ධන නොහොත් බස් පැටිමහතාය. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයෙන් පසු ඒ වනවිට අගමැතිධූරය හොබවමින් සිටි විජයානන්ද දහනායක ඔහුගේ ප්‍රතිවාදියා වූයේය. හිටපු අගමැතිවරයා පරාජය කරමින් ගාල්ල ආසනය ජයගත් බස් පැටිමහත්තයා අගමැතිවරයකු පරාජය කර පාර්ලිමේන්තුවට පත්වූ මෙරට එකම මන්ත්‍රීවරයා ලෙස ඉතිහාසගත විය.  එසේ වුව ද 1960 ජූලි මැතිවරණයේ දී ඔහු පරාජයට පත්වූයේය.

“අපේ තාත්තා දහනායක මහත්තයාගේ දේශපාලන උදව් කාරයෙක්. දහනායක මහත්තයා බිබිළ මැතිවරණයට ඉදිරිපත්වෙද්දී තාත්තා තමයි කාර් එහෙම අරගෙන ගිහින් තාත්තාගේ රියදුරාත් එක්කම උදව් කළේ. ඒ විතරක් නෙවෙයි බණ්ඩාරනායක මහත්තයාටත් ඉස්සර ඉදලම උදව් කරලා තියෙනවා. බණ්ඩාරනායක මහත්තයා යන එන කොට එතුමාව දකින මිනිස්සු කාණුවට පවා බහිනවා කියලා තාත්තා ඒ දවස්වල කියනවා මට මතකයි.”

තමන් සතු සියලු ආදායම් මහජන සුබ සිද්ධිය වෙනුවෙන් ම යෙදවූ ඔහු යළි 1966 ගාලු මහ නගර සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කඩවීදිය කොට්ඨාසයට නිතරඟයෙන් පත්වූ අතර ගාලු නගරාධිපති ධූරයට ද පත්වූයේය.

ඔහු නගරාධිපතිවරයාව සිටිය දී ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීමට මහත් උනන්දුවෙන් කටයුතු කළබව ගාල්ලේ පැරැන්නෝ අදට ද සිහිපත් කරති.

1970 මැතිවරණයේ දී විජයානන්ද දහනායක එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර එම මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගාල්ල ආසනයට තරඟ කළ ඔහු දහනායකට පරාජය වූයේය. ඉන් පසු පැටි මහත්තයා දේශපාලනයේ යෙදුණේ නැත.

“අපේ තාත්තාගේ ජීවන පුරුද්ද හරිම අපූරුයි කුකුළන් හඬලන්න ඉස්සෙල්ලා උදේට අවදිවෙනවා. උදේ පාන්දරම හොඳට නාලා පිරිසිදු වෙලා තමයි දවසේ රාජකාරී ආරම්භ කරන්නේ. කොච්චර කාර්ය බහුල වුණත් පුදුම සතුටකින් ඉන්නේ. ආගම දහමට පුදුම විදියට උදව් කළා. මහියංගන චෛත්‍ය ප්‍රතිසංස්කරණනය කරන්න විශාල වශයෙන් දායක වුණා. එම දාගැබේ ධාතු ගර්භයේ නිදන් වස්තු තැන්පත් කළේ තාත්තාගේ අම්මාගේ අපේ අත්තම්මාගේ අතින්. පෙට්ටිගලවත්තේ බෝධිය නඩත්තු කරමින් පවත්වාගෙන යමින් එය රැක බලාගත්තා.”

පැටි මහතා ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වූයේ ගාල්ලේ දී වුවත් ඔහු තමන් උපන් නාඔටුන්න ගම අමතක කළේ නැත. එහි අක්කර 05ක භූමියක නාඔටුන්න කණිෂ්ඨ විද්‍යාලය ඉදිකර දැයේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළේය.

පැටි මහතාටත් ඔහුගේ බිරිඳ චාලට් නෝනාටත් දරුවන් හත්දෙනෙකි. ශ්‍රීමතී, ලලිතා, නාලනී වැඩිමහල් තිදෙනාම දියණියෝය. ඔවුන් තිදෙනාම දැන් ජීවතුන් අතර නැත. ශ්‍රීමනී පොල්ගස්ඕවිට ව්‍යාපාරිකයකු වූ ඩී.ඒ.අබේසිංහ මහතා සමඟ විවාහ වූවාය. ලලිතා පේ‍රාදෙණිය රෝහලේ වෛද්‍ය එම්.එස්.උඩුවෙල මහතා සමඟ අතිනත ගත් අතර නාලනී පිඟන් සංස්තාවේ සේවය කළ ඩබ්ලිව්.ඩී.වීසරසිංහ මහතා සමඟ විවාහ වූවාය.

පැටි මහත්තයාගේ දරුවන් සියලු දෙනා මේ ඡායාරූපයේ සිටිති. කිහිප දෙනකු මේ වනවිට ජීවතුන් අතර නැත.

පියා මෙන්ම ව්‍යාපාරවල නිරත වූ ප්‍රසාද් අබේගුණවර්ධන දැන් පදිංචිව සිටින්නේ කරාපිටියේය. ඔහුගේ බිරිඳ ඉන්ද්‍රාය. මේ පවුලේ පස්වැන්නා ද පුතෙකි ඒ ලක්ෂ්මන් අබේගුණවර්ධනයි. ලලිතා කුඩාගම සමඟ ඔහු විවාහ වී සිටි අතර දැන් දෙදෙනාම ජීවතුන් අතර නැත. හයවැන්නා ද පුතෙකි. රංජිත් නමැති ඔහු චන්ද්‍රලාත සමඟ විවාහ වී සිටියේය. ඔහුද වසරකට පමණ පෙර දිවියෙන් සමුගත්තේය. පවුලේ බාලයා වූ ශාන්තිලාල්, ධම්මිකා සමඟ විවාහ වී සිය පියා ජීවත් වූ නිවසේ වත්මන් හිමිකරුවා වී සිටියි.

පැටි මහත්තයා තම ව්‍යාපාරවලින් උපයාගත් ධනයෙන් ගාල්ලේ හිරිඹුර “ඉන්ලන්ඩ්හිල්” නමැති අක්කර 14ක පමණ වපසරියකින් යුතු ඉඩමක් නිවසක් සමඟ මිලදී ගෙන එහි පදිංචිව සිටියේය. මේ නිවස වසර 200කට පමණ පෙර කාලයේ ඉදිකරන ලද නිවසක් බවට සාක්ෂි තිබේ. ගාල්ල කොටුවේ ප්‍රකට ඖෂධ සමාගමක් සතුව තිබූ එම නිවස සහිත ඉඩම වෙනත් අයකු විසින් මිල දී ගෙන තිබිය දී පැටි මහතා විසින් මිලට ගෙන එහි සිය දරුවන් සමඟ පදිංචි වූහ.

ඉන්ලන්ඩ්හිල් නිවස

වර්තමානයේ යම් යම් වෙනස්කම්වලට භාජනය වුව ද නිවසේ මූලික සැළස්ම තවමත් නොවෙනස්ව පවතී.

ප්‍රසාද් අබේගුණවර්ධන මහතා අපට මෙසේ කීවේය.

“බස් ව්‍යාපාරය ජනසතුවීමත් සමඟ අපේ ජීවිත වෙනස් වුණා. ආදායම් මාර්ග අඩුවීමත් තිබුණු ආදායම් තාත්තාගේ දේශපාලනයට යෙදවුණා. මම අපේ බාප්පා තාත්තාගේ මල්ලී සමඟ එකතුව දිගටම ව්‍යාපාර කරගෙන ආවා. පෙට්ටිගල වත්තේ මේ ව්‍යාපාර සියල්ල 2004 සුනාමිය නිසා විනාශ වුණා. ඉන් පස්සේ ඉතින් ව්‍යාපාරවලින් ඈත් වෙලා මට තාත්තාගෙන් හිමිවුණු ඉඩම් කොටසේ කුරුඳු වගා කරගෙන ඉන්නවා. තිබුණු දෛ්වල් සහ අහිමි වූ දෙවල් ගැන කණගාටුවක් වේදනාවක් නැහැ. අපිට පුළුවන් විදියට තාත්තා වගේම හැමෝටම උදව්කරගෙන සතුටින් ජීවත්වීම තමයි කරන්නේ”

1975 දෙසැම්බර් මස 30 වැනි දා ඩබ්ලිව්.ඩී.එස්.අබේගුණවර්ධන ජීවිතයෙන් සමුගත්තේය. බස් සේවාවන් ගාල්ලේ ආරම්භ කරමින් එම ව්‍යාපාර ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වී මැතිසභයටත් ගිය බස් පැටිමහත්තයා වත්මන් දේශපාලන පරපුරට මනා ආදර්ශයකි.

ඩබ්ලිව්.ඩී.එස්.අබේගුණවර්ධන (පැටි මහත්තයා) අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී ආදාහන උත්සවය පැවැත්වූ ආකාරය

1 COMMENT

Leave a Reply to Tharaka Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!