spot_img
spot_imgspot_img

වැලිගම ‍පොල් ගහෙන් ගන්නා “දීකිරි” ලොව මිල අධිකම පළතුරක් බව දන්නවා ද ?

පුවත්

විදෙස්

“දීකිරි දීකිරි ගෙනාව දීකිරි – මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි”

යුවෙන් ලූෂන් බුලත්සිංහල ලියූ ගීතයක් තිබේ.

එහි කියැවෙන්නේ එළකිරිවලින් මුදවා ගන්නා දීකිරි පිළිබඳවය. නමුත් එළකිරිවලින් මුදවාගන්නා දී කිරි වර්ගයක් මිහිපිට නැත. ඇත්තේ එළකිරි සහ මීකිරිය

“දී කිරට බළල්ලුත් සාක්ෂියැයි” තවත් කියමනක් තිබේ.

නමුත් බළලුන් කිසිදාක දීකිරි කන්නේ නැත.

දකුණේ මහා කිවිඳිය වූ ගජමන් නෝනාගේ “නුගරුක වැනුම” දීකිරි ගැන සඳහන් වේ.

ඒ සැබෑ දීකිරිය.

දීකිරි යනු පොල්ගස්වල හටගන්නා ඵලයකි.

ගජමන්නෝනා කීවේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම දෙණිපිටිය නම් ඇ‍ගේ ග්‍රාමයේ ඇති දීකිරි ගැනයි. දීකිරි ශ්‍රී ලංකාවේ එම ප්‍රදේශයේන හැර වෙනත් කිසිම ප්‍රදේශයකින් හමුවන්නේ නැත.

එසේ වුව ද දීකිරි ලොව රටවල් ගණනාවක දක්නට ලැබේ.

පිලිපීනය, ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව, පැපුවා නිව්ගිනියාව, බ්‍රසීලය, මෙක්සිකෝව, ප්‍රංශය, ටැන්සානියාව, කාම්බෝජය යන රටවල ද දීකිරි දක්නට ලැබෙයි. එය ඉංග්‍රීසි භාෂාවෙන් මැකපූනෝකොකනට් (MACAPUNO COCONUT) ලෙස හඳුන්වයි.

ශ්‍රී ලංකාවේ දී මේවාට දීකිරි පොල් යැයි කීව ද කාම්බෝජයේ දී සහ තායිලන්තයේ දී කතී ලෙසත්, ඉන්දියාවේ දී තයිරු ටෙන්ගායි ලෙසත්, පැපුවා නිව්ගිනියාවේ දී නියු ගාරුක් ලෙසත්, පොලිනීසියාවේ දී පායි ලෙසත්,  වියට්නාමයේ දී දුආයුෂ (ඉටි පොල්) ලෙසත් දීකිරි හැඳින්වෙයි. ඉන්දුනීසියාවේ මේවා හඳුන්වන්නේ කෙලපුවාන් පොල් යනුවෙනි. එහි අර්ථය වන්නේ ගැහැනු පොල් යන්නයි.

පිලිපීන දූපත්වල දීකිරි විශාල වශයෙන් දක්නට ලැබෙන බැවින් ඔවුන් දීකිරි යොදාගෙන අයිස්ක්‍රීම්, ටොෆි වර්ග නිෂ්පාදනය කරන අතර රසවත් ආහාරයක් ලෙස කල්තබාගත කල්තබාගත හැකි ලෙස ටින්කර අපනයනය ද කරයි. ලෝකයේ ප්‍රධානතම දීකිරි අළෙවි වෙළෙඳ සැළ මැනිලා නගරයේ ස්ථාපිතව ඇත. පිලිපීනයේ ‍පොල් වගා පාලන අධිකාරියෙ ආචාර්ය එමිරිටා වී ද ගුස්මාන් විසින් මෙම ආහාර නිෂ්පාදන වැඩිදියුණු කර තිබේ.

දෙණිපිටියේ ඇති සාමාන්‍ය පොල් ගස් අතරින් ගස් කිහිපයක පමණක් මේ දීකිරි හටගනී. එවැනි පොල් හටගන්නා ගස්වලට දීකිරි ගස්යැයි ගැමියෝ කියති. මේ දීකිරි ගෙඩි හටගන්නේ ද එවැනි ගස්වල එක වල්ලකට ගෙඩියක් හෝ දෙකක් වැනි ඉතා අඩු ප්‍රමාණයකිනි. මේ නිසාම දීකිරි දුර්ලභ වී ඇත.

ගසේ තිබිය දී කිසිසේත්ම වෙන්කර හඳුනාගත නොහැකි දීකිරි ගෙඩියක් කැඩූ පසු නොදන්නා අයකු සිතන්නේ එය පුහු පොල්ගෙඩියක් ලෙසිනි. එහි දිය නොසැලේ. නමුත් බරින් වැඩිය. මෙහි යන්තම් හෝ දියරමය ස්වභාවයක් ඇත්නම් ඇසෙන්නේ උකු ද්‍රාවණයක් ඇති බවට දැනෙන සියුම් ශබ්දයක් පමණි.

දීකිරි ගෙඩියක් වැලිගම දී රුපියල් 300.00 සිට 1000.00 දක්වා වූ මුදලකට අළෙවි වෙයි. දීකිරිවල රසයත් ගුණයත් දන්නා අය එවැනි මුදලක් ගෙවා දීකිරි මිල දී ගැනීමට මැලි වන්නේ නැත.

දෙණිපිටියේ දිසානායක වලව්වේ දීකිරි සෑදෙන පොල්ගස් කිහිපයක් ම දක්නට ලැබෙයි. එම නිවසේ පදිංචි කේ.කේ.ඩී.ඩබ්ලිව්.දිසානායක දීකිරි ගස් ගැන මෙසේ කීවේය.

“දීකිරි හැදෙන පොල් ගස් හැමතැනම නැහැ. එවැනි ගස් මේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම තිබෙනවා. එවැනි ගස්වල එක් වල්ලක හැදෙන පොල්ගෙඩි තට්ටුකරලා බැලීමෙන් සහ සොළවා බැලීමෙන් පළපුරුදු දෙනෙකුට දීකිරි ගෙඩි හඳුනාගත හැකියි. පොල් ඔයනවිට (ඔයනවා යනු දකුණේ ව්‍යවහාරික වචනයකි. පොල් ඔයනවා යනු පොල් ලෙලි ගැසීමයි) හොඳින් දැනෙනවා එම ගසේ අනෙක් පොල්ගෙඩිවලට වඩා දීකිරි ගෙඩියෝ ලෙල්ල ඉතාමත් බුරුල් ස්වභාවයකින් යුක්තයි.”

මේ පොල්ගෙඩියේ වෙනස ඇත්තේ එහි මදයේය. පොල් ගෙඩිය බිඳ බැලූ විට සාමාන්‍ය පොල් ගෙඩියකට වඩා මදය ඇතු‍ළත පිරෙන තරමට ඝනකමින් යුක්තය. එමෙන් ම බුරුල්ය. හිස් ඉඩ ඇත්තේ සුළු ප්‍රමාණයකි. ‍හොඳින් මෝරා ඇති දීකිරි ගෙඩියක වුව ද මදය හැන්දකින් කෑමට හැකි තරම් මෙළෙක් ස්වභාවයක් ගනී.

පොල් මදයේ ඇති බලශක්ති ප්‍රභවයක් වන්නේ ගැලැක්ටෝමාන්නන් ය. එම ස්ථරය ගැලැක්ටෝස් සහ මන්නෝස් වලින් සමන්විතය. නමුත් දීකිරිවල එම ස්ථරයේ වර්ධනයට හේතුවන ගැලැක්ටෝසිඩේස් යන එන්සයිම සක්‍රීය නැත. එබැවින් දීකිරි ගෙඩියක පැලයක් හටගන්නා කලලය විනාශ වෙයි. ඒ හේතුවෙන් දීකිරි පොල් ගෙඩියක් පැල වන්නේ නැත.

දීකිරිවල සාමාන්‍ය පොල් ගෙඩියකට වඩා සුක්‍රෝස් අනුපාතය වැඩිය. එමෙන් ම ‍හොඳින් මේරූ පොල්වලට සාපේක්ෂව එහි ඇමයිනේා අම්ල ප්‍රමාණය ද අධික වේ. එපමණක් නොව ලිපිඩ ප්‍රමාණය ද අඩුය. සිට්‍රික් සහ මැලික් අම්ලය ද මෙහි සාමාන්‍ය පොල් ගෙඩියක මදයට වඩා අඩංගු වෙයි.

එහි යන්තමින් ඇති කිරි රසයත් තෙල් ස්වභාවයත් හැර වෙනත් මිහිරි රසයක් දක්නට නැත. ගැමියන් දීකිරි කන්නෙන් සාමාන්‍ය මුදවාපු එළකිරි හෝ මීකිරි කෑමට ගන්නා ආකාරයට ම පැණි හෝ සීනි එක්කරමිනි. එවිට දීකිරි යනු අතිශය රසවත් ආහාරයකි. දීකිරි එලෙස කෑමට ගන්නවා හැර පොල්කිරි සාදා ගැනීමට හෝ කොප්පරා ලෙස වියළා තෙල් හිඳීමට හෝ භාවිතා කිරීමට හැකියාවක් නැත.

දීකිරි පොල් සඳහා වැඩිම ඉල්ලුමක් ඇත්තේ රාමසාන් උත්සව කාලයේ දී ය. ඉස්ලාම් භක්තිකයෝ ඒ දිනවල දී පෝෂ්‍යදායී ආහාරයක් ලෙස දීකිරි කෑමට පෙළඹෙන බවත් හොඳ දීකිරි පොල් ගෙඩියක් එම කාලයේ දී රුපියල් 1000.00කට පමණ අළෙවි වනබවත් දෙනිපිටිය ගම්වාසීහු කියති.

ඔවුන් දීකිරි කෑමට ගන්නේ වෙනස් ආකාරයකටය. පොල් ගෙඩිය බිඳ ඒ තුළට හකුරු, කිතුල් පැණි, රටඉඳි හෝ වියළි මිදි දමා අනතුරුව නැවත පොල් බෑ දෙක එකතු කර ශක්තිමත් කම්බියකින් ගැටගසයි. එසේ ගැටගසා එය පෝරණුවක දමා පුළුස්සා ගනී. පසුව පොල් බෑ දෙක වෙන්කර ආහාරට ගන්නා විට ඉතා ප්‍රනීත මෙන් ම ගුණදායී ආහාරයකි.

“අපි කැවිළි වර්ග සහ දෝසි වර්ග හදනවිට දීකිරි පොල් ඒවාට මිශ්‍ර කරනවා. එවිට වෙනස් හොඳ රසයක් ලැබෙනවා” යැයි ගැමියෝ කියති.

ආයුර්වේදයේ සඳහන් කර ඇත්තේ දීකිරිි යනු පුරුෂ ශක්තිය වර්ධනය කරන ආහාරයක් මෙන්ම වාජීකරණ ඖෂධයක් ද බවයි.

මේ දීකිරි පොල් ගෙඩියක් කිසිදා පැල වන්නේ නැත. නමුත් දෙනිපිටියේ දීකිරි ගෙඩි දක්නට ලැබෙන පොල් වල්ලක වෙනත් ගෙඩි පැලකිරීමෙන් හටගන්නා ගස්වල දීකිරි ගෙඩි හටගන්නා අවස්ථා මෙන්ම එවැනි දීකිරි ගෙඩි හටනොගන්නා අවස්ථා ද තිබේ. ගැමියන්ගේ අදහස වන්නේ එම ප්‍රදේශයේ පසේ ඇති යම් වෙනසක් හේතුවෙන් එම ගස්වල මේ විශේෂිත ගෙඩි හටගන්නා බවයි.

වැලිගම දෙනිපිටිය, වැලිපටිය සහ වැලිහිඳ යන ගම්මානවල දීකිරි සෑදෙන පොල් ගස් දක්නට ලැබේ. එවැනි ගස්වලින් රෝපණය කරන ලද දීකිරි සෑදෙන ගස් කිහිපයක් අකුරැස්ස, පිටබැද්දර සහ ගාල්ලේ ප්‍රදේශ කිහිපයකත් ලුණුවිල පොල් පර්යේෂණායතනයේත් දක්නට ලැබෙයි.

දීකිරි හටගැනීමේ විද්‍යාත්මක පසුබිම පිළිබඳ පොල් වගාකිරීමේ මණ්ඩලයේ විෂයානුබද්ධ නිලධාරී (ව්‍යාප්ති) ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා සිටින ඉමදුව පදිංචි කේ.ඒ.ජයසේකර මහතා‍ගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

“දීකිරි සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබෙනවා. මේ දීකිරි හටගන්නා ශාක පොල් ශාකයේ වෙනත් උප විශේෂයක් හෝ විකෘති තත්වයක් නොවෙයි. පොල් ගස්වල ඇති නිලීන ජානයක් ඇතැම් අවස්ථාවල දී ඉස්මතුවීමෙන් මෙලෙස දීකිරි ගෙඩි හටගන්නා බවට විශ්වාසයක් පවතිනවා. දෙනිපිටිය ප්‍රදේශයේ මේ ආකාරයට දීකිරි ගෙඩි හටගන්නා ශාක තිබෙන නිසා එවා එකිනෙක පරාගනය වීමෙන් නිලීන ජාන සැකැස්ම සහිත පොල් ගෙඩි හටගන්නාව කියා හිතන්න පුළුවන්.”

පොල් පර්යේෂණායතනය දීකිරි ගැන විශේෂ පරීක්ෂණ සිදුකර පටක රෝපණයෙන් ඒවායේ තවත් ශාක බිහිකර තිබේ.

පිලිපීනය වැනි රටවල පටක රෝපණයෙන් දීකිරි හටගන්නා ශාක බිහිකර දැන් දීකිරි නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදුකරයි. විද්‍යාත්මක පර්යේෂණ අනුව පැහැදිලි වන්නේ ලෝක‍යේ පොල් වගාවෙන් 0.15% වැනි ඉතා සුළු ප්‍රමාණයක් දීකිරි හටගන්නා බවයි.

දෙනිපිටියේ දීකිරි ඇති බව දන්නා අය වතුර නොසෙල්වන සියලු ගෙඩි පලා බැලුව ද අනෙක් පැතිවල සැවෝම වතුර නොසෙල්වෙන පොල් ගෙඩි සියල්ල විසිකර දමති. ඒ අතර දීකිරි ගෙඩි රැසක් නිරපරාදේ විනාශ වී යනවා ඇත.

දීකිරි යනු ලෝක‍යේ ඉතා මිල අධික පළතුරක් ලෙස පිළිගන්නා ඵලයකි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!