spot_img
spot_imgspot_img

තුන්වැනි දිනටත් කොටස් වෙළෙඳ පොළ ඉහළ යයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 22,050ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,906ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 109.7කින් ඉහළ ගිය අතර එය ගනුදෙනු අවසානයේ ඒකක 8,940ක් ලෙස සටහන් විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 882යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 401යි, කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 179යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 43යි, කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 28යි, ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 06යි ලෙස ප්‍රමුඛ විය.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූඩයමන් සමාගම (ඡන්ද බලය රහිත) 33% ප්‍රතිශතයකින් ද , බ්ලූඩයමන්ඩ් (ඡන්ද බලය සහිත) 12% ප්‍රතිශතයකින් ද, සීගිරිය විලේජ් සමාගම 09%කින් ද කැපී පෙණිනි.

එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 343ක් වාර්තා කරමින් තව දුරටත් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම බවට පත්ව සිටින අතර රුපියල් බිලියන 247ක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්ව සිටියි.

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියනක් රුපියල් 42.00 බැගින් ද, ජන ශක්ති රක්ෂණ සමාගම කොටස් මිලියනයක් රුපියල් 25.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් 468,000ක් රුපියල් 49.50 බැගින් ද, නෙස්ලේ සමාගම කොටස් 50,000ක් එක් කොටසක් රුපියල් 1,250.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 71ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 117ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 46ක මුදලක් ඉවත් කරගෙන තිබේ.

අද දිනය දක්වා මේ වසර තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 43.291ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශීය ආයෝජකන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 51යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 04යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 02යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර නෙස්ලේ ලංකා සමාගම රුපියල් මිලියන 83යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 14යි සහ බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 04 යි ලෙස ප්‍රධාන විය.

අද දිනයේ ජීවන වියදම් කමිටුව රැස්වූ අතර කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි යන පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දැමීම සම්බන්ධව ලබන සඳුදා දිනයේ රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයේ දී අවසන් තීරණයක් ගැනීමටත් මෑත කාලීනව ශ්‍රී ලංකාවට ආනයනය කර ශ්‍රී ලංකා රේගුවේ රඳවා තබා ඇති සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් බහාලුම් වහාම මුදා හැරීමටත් තීරණය කර තිබේ.

එමෙන් ම මෙම කලාපයේ ඉන්දියානු කොටස් වෙළෙඳ පො‍ළෙහි SENSEX කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද පෙරවරුවේ දී ඒකක 60,000ක් ඉක්මවා තිබේ. කොවිඩ් වසංගතය හමුවේ ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන සීඝ්‍ර එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් මෙසේ ඉන්දියානු කොටස් වෙළෙඳ පො‍ළ ඉහළ ගොස් ඇත. ඉතා කෙටි කාලසීමාවක් තුළ පිට පිට තුන්වෙනි වසරටත් ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ වෙත දිගින් දිගටම විදේශීය ආයෝජන ගලා ඒමත් මෙම සීඝ්‍ර වර්ධනයට ප්‍රධාන වශයෙන් බල පා තිබේ.

මේ වසර තුළ දී පමණක් ඩොලර් බිලියන 09ක විදේශීය ආයෝජන ඉන්දියානු කොටස් වෙළෙඳ පොළට ආකර්ශනය වී ඇති අතර දකුණු කොරියාව සහ මැලේෂියාව යන කොටස් වෙළෙඳ පොළ වලින් ද විදේශීය ආයෝජන පිටතට ගලායාම සිදු වෙද්දී ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ විදේශීය ආයෝජන ආකර්ශනය කිරීම ශ්‍රී ලංකාවට ද ආදර්ශමත් සාධකයක් වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!