spot_img
spot_imgspot_img

සියලු මාධ්‍ය ජනතාව නොමග යවද්දී rata.lk නිවැරදි වාර්තාකරණයේ. “කරාපිටියේ කොරෝනා කරල” බොරුවක් බව Factcheck ආයතන කියයි.

පුවත්

විදෙස්

කරාපිටියේ කොරෝනා කරල ලෙස හැඳින්වෙන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක් බවත් එය ජනතාව අතරට ගෙන යාම සඳහා සිදුකරන සියලුම ප්‍රචාරයන් අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් බවත් Factcheck ආයතන පවසයි.

මේ පිළිබඳ සවිස්තරාත්මකව සොයා බැලූ factcrescendo.com මේ බව සිය වෙබ් අඩවියේ සවිස්තරාත්මක ව දක්වා තිබේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සහ ඔහුගේ සොහායුරා විසින් නිෂ්පාදනය කර ඇති Megha Primal Intake දේශීය ඖෂධ අතිරේකය කෝවිඩ් වෛරසයෙන් වැළකීමට සුදුසු ඖෂධ අතිරේකයක් බවට සඳහන් කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බැවින් මෙය සත්‍ය වශයෙන්ම කොරෝනා වසංගතයට පිළියමක් ද යන්න  සම්බන්ධයෙන් ඔවුන් විමර්ශනය කළ බව දක්වා තිබේ.

“ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්සයි !!!

දේශීය ඖෂධ වර්ග කීපයකින් සෑදු මෙම ඖෂධය ආසාධිතයන් අසාධ්‍ය වී මියයෑම වළකාලයි!!

මෙම ඖෂධයෙන් කොරෝනා ආසාධනය උවත් අසාධ්‍ය වී පෙනහලු තුළට යෑම සම්පූර්ණයෙන් වළකාලන බව වෛද්‍ය වරයා සඳහන් කරයි !!

නව බලාපොරොත්තුවක්!!  

වෛද්‍ය උදාර ගුණවර්ධන ඔබේ උත්සාහයට අපි හදවතින්ම සුභාශිංසන කරමු. ලොවම සුවපත් කරන්න ඔබ ඇතුළු සහෝදර කණ්ඩායමට ශක්තිය ලැබේවා…”

නමැති ශීර්ෂයන් යටතේ මේ පිළිබඳ ප්‍රචාරයක් දියත් කෙරිණි.

එම නිෂ්පාදනය සම්බන්ධව ඇති අත්පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ කෝවිඩ් වැළඳුන රෝගීන්ට මෙම බෙහෙත සුදුසු බවයි. මෙම බෙහෙතින් සුව වූ රෝගීන් ද සිටින බව මෙම අත්ප්‍රත්‍රිකාවේ දක්වා ඇත.

මෙම බෙහෙතේ නිර්මාතෘ වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් වන උදාර සම්පත් ගුණවර්ධන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ මෙම සොයාගැනීම සම්බන්ධයෙන් කළ සම්මුඛ සාකච්ඡාවක් යූ ටියුබ් නාලිකාවක පළ කර තිබිණි.

එම නාලිකාවේ දී චමුදිත සමරවික්‍රම විසින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ඖෂධය ගැන කියන කරුණු සියල්ල පිළිගන්නා නමුත් උදාර සම්පත් තමන් නව නිෂ්පාදනයක් සිදුකළ බවට හෝ එය නීත්‍යානුකූල නිෂ්පාදනයක් බවට හෝ කිසිදු පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කරන්නේ නැත. චමුදිත එවැනි දේ ප්‍රශ්න කරන්නේ ද නැත.

එමෙන්ම Megha Primal Intake සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන සම්බන්ධයෙන් සහ Youtube සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ එම නිෂ්පාදනය සම්බන්ධයෙන් කරන ලද ව්‍යාජ ‍ප්‍රචාරයන්ට ජනතාව ද විශාල වශයෙන් රැවටී නොමග ගොස් ඇති බවයි.

MeGha Primal Intake යනු කොරෝනා වෛරසය මැඩලීමට ශ්‍රී ලාංකික බටහිර වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මාස ගණනාවක විවිධ අත්හදා බැලීම් වලින් අනතුරුව සොයාගත් ආහාර අතිරේකයක් යනුවෙන් හඳුන්වාදෙමින් කරල් ‍12ක් සහිත පෙට්ටියක් රුපියල් 3,750.00ක මුදලකට විකිණීමට වෙබ් දැන්වීමක් පළ කර තිබේ. නමුත් මේ දක්වා ම එම පර්යේෂණය කළ බව කියන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සහ ඔහුගේ සහෝදර ආචාර්ය නන්ද ගුණවර්ධන එවැනි පර්යේෂණයක් පිළිබඳ පළ කරන ලද පර්යේෂණ වාර්තාවක් හෝ පර්යේෂණයක් සිදුකළ ස්ථානයක් පිළිබඳ හෝ කිසිදු ආකාරයකින් පෙන්වා නැත.

මෙම බෙහෙතට නැතහොත් බෙහෙත් කරල කෝවිඩ් වෛරසයට පිළියමක් ලෙස නිර්දේශ කළ හැකිද යන්න පිළිබඳව factcrescendo.com පාර්ශව කිහිපයකින් විමසා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙසේ පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි ආයතන වලින් අනුමැතියකින් තොරව මෙලෙස හිතුමනාපෙට ඖෂධ නිෂ්පාදන කිරීමට අවසර දෙන්නේ නැහැ. මෙය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක්‍රියාවක්. විශේෂයෙන්ම කෝවිඩ් වැනි වසංගත තත්ත්වයක් හමුවේ තහවුරු නොකළ තොරතුරු යටතේ ජනතාව වෙත බලාපොරොත්තුවක් ලබාදී ඔවුන් නොමග යැවීමට කටයුතු සිදු නොකළ යුතුයි.”

ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයූර්වේද වෛද්‍යවරයෙක් හරහා පමණක්  ඖෂධ ලියාපදිංචි කරන බවයි. ආයුර්වේද ආහාර අතිරේක වුවද ලියාපදිංචි කරනු ලබන්නේ ඖෂධ කාණ්ඩයට යටතේ බැවින් ආහාර අතිරේකයක් ලෙස හඳුන්වා දී ඇති MeGha Primal Intake ආහාර අතිරේකය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගත යුතු වුව ද එය ලියාපදිංචියක් ලබා නැති බවත් එය ඖෂධයක් නොවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

COVID-19 සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් හඳුනා නොගත් ආයුර්වේද ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම හේතුවෙන් මහජනතාව නොමග යැවීම වැළැක්වීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව  අවධානයෙන් සිටින අතර COVID-19 සුව කිරීම සම්බන්ධව කිසිදු පරීක්ෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිතා කිරීම සඳහා මහජනතාව පෙළඹවීම හා නොමග යවන සුළු ප්‍රකාශ සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබිණි.

Youtube සම්මුඛ සාකච්ඡාවේදී වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම ඖෂධ‍ය නිපදවීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ශාක වර්ග වනුයේ සුදුළූණු, ආඩතෝඩා, කොත්තමල්ලි, වද කහ, සහ මදුරුතලා යනාදියයි. මෙම ඖෂධ වලින් කොරෝනා මර්ධනය කිරීමට හැකියාව පවතිනවාද යන්න විමසීමට අප මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක මහතාගෙන් factcrescendo.com විමසා ඇති අතර එහි දී ඔහු සඳහන් කර තිබුණේ මෙවැනි කරුණකි.

“ ඉහත සඳහන් ද්‍රව්‍ය ගත් විට ඒවායේ වෙන වෙනම ඖෂධ ගුණ පවතිනවා නමුත් ඒවා වෛරසයක් පාලනය කළ හැකි ද්‍රව්‍ය නොවෙයි. වෛරසයක් විනාශ කිරීමට බෙහෙත් ලබා දුන්නොත් ශරීරයේ අනෙක් සෛල වලට ද බලපෑමක් ඇතිවිය හැකියි. ඒ නිසා  වයිරස සුව කිරීමට ඖෂධ නැහැ. කරන්න පුළුවන් එකම දේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකිරීම පමණයි. මේ ඖෂධ මිශ්‍ර කළ විට එවැනි දෙයක් සිදුවනවාද කියා පර්යේෂණ සිදුකර නැහැ.”

මෙම ඖෂධ්‍ය සම්බන්ධයෙන් ප්‍රචාරය ආරම්භවන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ලෙසත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළ ප්‍රියන්ත ජීවරත්නගෙන් ද factcrescendo.com කරුණු විමසා තිබේ.

“මම කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන එහි මානසික රෝග ඒකකයේ සේවය කළා. ඔහු මෙවැනි නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අප දැනුම්වත් කර තිබුණේ නැහැ. රෝහලේ කිසිවෙකුත් මේ ගැන දන්න‍ේ නැහැ. රෝහලේ රසායාගාරවල මෙවැනි දෙයක් පරීක්ෂා කරලත් නැහැ. සායනික පරීක්ෂණ කරලත් නැහැ. මෙය අනුමැතියකින් තොරව කරගෙන යන දෙයක්. බටහිර වෛද්‍ය විද්‍යාව වෘත්තියේ යෙදෙන වෛද්‍යවරුන්ට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කරන්න ඇත්තටම බැහැ. මෙය ජනතාව නොමඟ යැවීමක්”

කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ, මෙම නිෂ්පාදනයට මුල්වී ඇති වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සේවය කළත් කරාපිටිය රෝහල හා මෙම නිෂ්පාදනය අතර කිසිම සම්බන්ධයක් නොමැති බවයි. 

තවද, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, බොහෝ පිරිස් කරාපිටිය රෝහලේ මනෝචිකිත්සක ඒකකයේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා හා රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සම්පත් ගුණවර්ධන මහතා ලෙස අනන්‍යතාවය වරදවා වටහාගෙන ඇති බවයි. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා හා මහාචාර්ය සම්පත් ගුණවර්ධන මහතා අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට ඔවුන් තහවුරු කර තිබිණි.  

එමෙන්ම රුහුණු විශ්ව Megha Primal Intake නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධකමක් නොමැති බවත් මෙම ඖෂධය හෝ පෝෂණ අතිරේකය ගැන රුහුණු විශ්ව විද්‍යාලයෙන් විමසීමක් නොකරන ලෙසට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන ඉල්ලීමක් කර තිබිණි.

කොව්ඩ් 19 මැඩලීමට උපකාර වන Megha Primal Intake නිෂ්පාදනය එළි දැක්වීම දැක්වීමේ දී එම නිෂ්පාදනය සඳහා ISO 22000 සහ GMP සහතික කළ නිෂ්පාදනාගරයක නිපදවා ඇති බවක්.

මෙවන් පසුබිමක Colombo Information Agency නම් Youtube නාලිකාවක් මැයි 08 දින වෛද්‍ය උදාර ගුණවර්ධන මහතා සම්බන්ධ වීඩියෝවක් නිකුත් කර තිබිණි.

එහිදී වෛද්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන කටකතා, අසත්‍ය තොරතුරු, පදනම් විරහිත තොරතුරු පැතිරෙන බවත් ඔවුන්ගේ මෙම කාර්ය තුළ වැරදි කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන්ගේ එකම අරමුණ මිනිසුන් මිය යන ප්‍රමාණය අවම කිරීම බවයි.

නුදුරු දිනයේදීම මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද අසත්‍ය තොරතුරු වලට පිළිතුරු ලබා දෙන බව වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා. නමුත් මෙ‍ම ඖෂධය සම්බන්ධයෙන් මෙතෙක් ISO 22000 තත්ව සහතිකය හිමි වී නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ, බටහිර වෛද්‍යවරුන් යොදාගෙන කරාපිටිය රෝහලේ නම අනිසි ලෙස භාවිතා කර ඇති බවයි.

එම වෛද්‍යවරයාගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද වෛද්‍ය බෙල්ලන කියයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැහැදිලි කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන විමර්ශනය අවසානයේ ලැබෙන තොරතුරු ද මෙහි යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු

factcrescendo.com ආයතනයේ විශ්ලේෂණයෙන් අනතුරුව දක්වා ඇති නිගමනය

කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොරෝනා වෛරසය මැඩලීමට සහ කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක් ලෙස  ශ්‍රී ලාංකික බටහිර වෛද්‍යවරුන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුන්වා දී ඇතැයි කියන Megha Primal Intake නිෂ්පාදනය සඳහා කරාපිටිය රෝහලේ හෝ රුහුණු විශ්වවිද්‍යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැත.

එසේම මෙම නිෂ්පාදනය පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විසින් විමර්ශනයක් සිදුකරමින් තිබෙන අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ද මේ දක්වා ලබාගෙන නැත.

Factcheck ආයතනයේ ලිපිය පහතින්

7 COMMENTS

  1. මේ වෛද්‍යවරයාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි.වැක්සින් එක ගන්න එපා කියලා මිනිස්සු බය කරනවා.මොහුගේ පච වීඩියෝවක් දැක මගේ වැඩිමහල් දරුවන් දෙදෙනා එන්නත ගැනීම ට බියවී එය ප්‍රතික්ෂේප කළා.බොරු සමාජගත කරනවාට එරෙහිව ඔහුට විරුද්ධව නීතිමය පියවර ගතයුතුයි .

    • මගේ අක්කගේ දුවට පලමු එන්නත ගහලා සති දෙකටත් වැඩියි. ගහපු දවසේ සිට කොන්දේ වේදනාවක්. එයාගෙ යාලුවෙක්ට මුහුණ ඉදිමිලා ඇ’ගේ පලු දාල රෝහලේ තවම පරීක්ෂණ කරනවා. තව දන්න 20-25 ක් විතර විවිධ අමාරුකම්. ඒ දන්න එව විතරයි. ඒවත් බොරුද එතකොට. පොඩ්ඩක් හොයල බලන්න..ඔයාගෙ දරුවො වෙනුවෙන්..බටහිරට ගැතිවෙන්නෙ නැතිව. Facebook ගොබිලො ඒව ගැන හොයල නෑනෙ rata lk ..

  2. තවත් කුහක මඩ ප්‍රහාරයක් rata lk. බුද්ධ්මත් කිව්වට හරිම ගොං. ඕකෙ කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කරුණාතිලක මහතාම හරි උත්තරේ දීල තියෙනවා. ඒ මිශ්‍රණය තුළ තිබෙන ගුණ ගැන පරීක්ෂා කළ යුතු බව. කරල වැරදි සහ අසාර්ථක එකක් කියා නැහැ. / වයිරස් වලට ලෝකෙ කොහේවත් බෙහෙත් නෑ. එකම විස’දුම එය පාලනයට සහ ඔරොත්තු දීමට හැකි පරිදි ශරීරය සූදානම් කිරීමයි. ඒකට වැක්සින් උවමනා නැහැ. අපේ හෙළ වෙදකමේ ඕනෑතරම් ඔසු එයට ඇත. ඒ ගැන නොදන්න කුහකයින් හොරෙන් බිව්වත් එළිපිට කියන්න එන්නෙ නෑ. අපේ රට මේ තරමින් හරි රැකිලා තියෙන්නෙ ඉ’ගුරු කොත්තමල්ලි ටිකට පිංසිදුවන්නටය . කුහකයෝ නොදන්න වුණාට. ඒක මිත්‍යාවද? මේ මඩ කුහක වාහකයින්ට නැවතත් කියන්නේ මේවා විශ්වාස කරන්නට අප සූදානම් නැති බවය.
    (ප.ස, මෙය කරලක් ප්‍රමෝට් කිරීමක් නොවන බවය. නියම හෙළ වෙදකමේ බලය වෙනුවෙන් පෙනීසිමක් බවත්‍ ය)

Leave a Reply to Rajitha Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!