spot_img
spot_imgspot_img

දේශීය හෙළ ඔසු දරුවන් මරණ මංචකයට කැඳවයි ?

පුවත්

විදෙස්

දේශීය ඖෂධවලින් වඩාත් හොඳ ප්‍රතිශක්තියක් ඇතිවන බව පැවසීම සම්පූර්ණ මිත්‍යාවක් බවත් වසර 100ට වැඩි මෙරට සෞඛ්‍ය දත්ත පරීක්ෂා කිරීමේ දී ඒ බව මනාව පෙනී යන බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් දේශීය හා හෙළ ඔසු යන ලේබලය සහිතව වෙළෙඳ ‍පොළට පැමිණ තිබෙන ඖෂධ රැසක් කිසිදු ප්‍රතිඵලයක් ගෙන දෙන ඖෂධ නොවන බවත් ඒවා සම්පූර්ණයෙන් ම වෙළෙඳ ව්‍යාපාර පමණක් බව ද හෙතෙම පෙන්වාදෙයි.

“දැනට කොරෝනා ඇතුළු රෝගවලින් අපේ ජනතාව බේරාගැනීමට හැකි බවත් බටහිර ඖෂධ සහ එන්නත් බොරුවක් බවත් ඊට වඩා ඉතා සාර්ථක වෙද කමක් සහ ඖෂධ අප රටේ තිබුණු බවත් පවසමින් විවිධ ශාකසාරවලින් සකස් වූ ඖෂධ ආහාර අතිරේක රට පුරාම වේගයෙන් අළෙවි කරනවා. නමුත් මෙය බොරුවක් බවත් ජනතාව මුලා කිරීමක් බවත් මෙරට සෞඛ්‍ය දත්ත විශ්ලේෂණයේ දී පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එයට තිබෙන හොඳම උදාහරණය තයි 1910 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වූ වසර 108ක ළමා මරණ සිදුව ඇති ආකාරය. අපි දන්නවා 1910 වගේ කාලයේ පණු බෙහෙත් වෙනුවට බිව්වේ කසාය, උණ හෙම්බිරිස්සාවට විතරක්‍ නෙවෙයි, දෙයියන්ගේ ලෙඩ කියපුවා ඇතුළු සෑම රෝගයකට ම ‍දේශීය ප්‍රතිකාර තිබුණා. අතීතයේ මේ දේශීය ප්‍රතිකාර හොඳින් තිබුණා කියන අය කරන චෝදනාවක් තමයි බටහිර වෛද්‍ය ක්‍රමය නිසා ඒවා විනාශ වී ගියා කියන එක. ඇත්තටම 1910 දී මේ රටේ අවුරුදු 05ට අඩු ළමයි 05 දෙනෙක් ගත්තම ඉන් 02දෙනෙක් විවිධ රෝගවලින් මියයනවා. තවත් ආකාරයකින් කිව්වොත් ඉපදුණු අවස්ථාවේ සිට වයස අවුරුදු 05 වන විට ළමයි 1,000කින් 400ක් රෝගාබාධවලට ගොදුරු වී මැරුණා. නමුත් අපේ සමාජය ක්‍රමයෙන් දැන් බටහිර වෙදකම කියා චෝදනා කරන ක්‍රමවලට හුරුවීමත් සමඟ මේ මරණ අනුපාතය උපදින ළමයි 1,000ක් සැළකූ විට වයස අවුරුදු 05 දක්වා කාලය තුළ මියයන සංඛ්‍යාව 10ක් දක්වා අඩු වී තිබෙනවා.”

මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි පවසන්නේ උපදින විට විවිධ සංකූලතා සහ දුර්වලතා ඇති දරුවන් මෙලෙස මියයන බවයි. නමුත් ප්‍රතිශක්තීකරණ එන්නත් හඳුන්වාදීම ඇතුළු බටහිර වෛද්‍ය විද්‍යාවේ ආගමනයෙන් වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ අනුපාතිකය දරුවන් 1,000ට 400 සිට 10ක් වැනි විශාල ප්‍රමාණයකින් අඩුකරගැනීමට හැකිවීම සුවිශාල ජයග්‍රහණයකි.

මේ දත්ත විශ්ලේෂණයෙන් පැහැදිලිව ම පෙනී යන්නේ ඉතා බලගතු ප්‍රතිශ්තිය වඩන, අපේම දේශීය ඔසු සහ දේශීය වෙදකම, හෙළ වෙදකම භාවිතා කළ අතීතයේ දී මෙරට දරුවන් 1,000ක් ඉපදුණු විට වයස අවුරුදු 05ක් ගතවනවිට ඔවුන්ගෙන් 400ක් මියයන බවයි. එය 40%ක ප්‍රතිශතයකි. නමුත් එම සංඛ්‍යාව දැන් 1%ක් දක්වා අඩු වී තිබේ.

ඒ අනුව තවදුරටත් දේශීය වෙදකම, හෙළ ඔසු සහ ශාක සාර පිළිබඳ ප්‍රචාරයන්වලට රැවටී ඔබේ දරුවාගේ දිවි අහිමිකරනවා ද නැතිනම් ඔවුන්ගේ දිවි රැකගන්නවා ද යන්න වැඩිහිටියන් විසින් තීරණය කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!