spot_img
spot_imgspot_img

කොරෝනා මර්ධනය කිරීමටනම් එන්නත්කරණය ගැන ආගමික හා සංස්කෘතික කණ්ඩායම් දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළ සාර්ථකව කොරෝනා පාලනය කිරීමට නම් ආගමික සංස්කෘතීන් සඳහා විශේෂ ආමන්ත්‍රණයක් අවශ්‍ය බව විශේෂඥ ප්‍රජා වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පවසයි.

ඔහු මේ බව කියා සිටින්නේ ඕස්‍ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහජන සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයනාංශයේ පර්යේෂකයකු ලෙස එම විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලය එක්වී කරන ලද පර්යේෂණක් පදනම් කරගනිමිනි.

ඔහු එහි දී පවසන්නේ විවිධ ආගමික විශ්වාස නිසා මෙරට ඇතැම් ජන කොටස් එන්නත් ලබාගැනීමෙන් වැළකී එන්නත් ලබාගත් බවට ලේඛන අයථා ක්‍රමවලින් ලබාගැනීම බරපතල වරදක් බවයි. විශේෂයෙන් ම මුස්ලිම් ප්‍රජාව හා ක්‍රිස්තියානි ආගමේ ඇතැම් නිකායන් මෙලෙස එන්නත්කරණ මඟහැරීම ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනයට බාධකයක් වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලද මේ පර්යේෂණයේ දී ඒ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 55% ක් වැනි විශාල පිරිසක් තමන් නිශ්චිතව එන්නත් ගන්නා බව සෘජුව නොකී බව ද වෛද්‍යවරයා පවසයි. ඔවුන් බොහෝ දෙනකු එන්නත් සම්බන්ධයෙන් ඇති දුර්මත විශ්වාස කළ බවත් එන්නතට යම් පමණකින් බියක් දැක්වූ බවත් සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

පර්යේෂකයන් භාවිතා කළ සමාජ නියැදියෙන් 13%ක් තමන් ස්ථිර වශයෙන් ම එන්නත ලබා නොගන්නා බව පෙබරවාරි මාසයේ දී කියා තිබිණි. එන්නත ලබාගන්නා බව ස්ථිර වශයෙන් පැවසීමට අපොහොසත් වූ අයගෙන් 30%ක් එන්නත ගැනීමෙන් පසු ඇතිවිය හැකියැයි විශ්වාස කළ ශාරීරික ආබාධ නිසා එය ප්‍රතික්ෂෙප කරන මට්ටමක සිටි අතර 25% එන්නත හේතුවෙන් දීර්ඝකාලීන අතුරු ආබාධ ඇතිවේයැයි විශ්වාස කර තිබිණි.

නමුත් අප්‍රේල් මාසයෙන් පසුව කොරෝනා රැල්ලක් යළි මෙරට ආරම්භවීම සහ අගෝස්තු මාසයේ දී ඩෙල්ටා ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තියත් සමඟ එන්නත් ගැනීම කෙරෙහි ජනතාවගේ විශාල උනන්දුවක් ඇතිවී තිබීම සාධනීය ලක්ෂණයක් බව ද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි පවසයි. ඔහු පවසන්නේ පෙබරවාරි මාසයේ සිට කරන ලද දත්ත විශ්ලේෂණය මේ වනවිට යම් තරමකට වෙනස් වී ඇති බවයි.

එසේ වුව ද තවමත් විවිධ ආගමික හා සංස්කෘතික කණ්ඩායම් එන්නත් නොගැනීම සහ එන්නත් ගත් බව හැඟවීමට එන්නත් කාර්ඩ් පත් විවිධ අයථා ක්‍රම මගින් ලබාගනිමින් සිටීම ගැටලුවක් බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මෙසේ ද කීවේය.

“ කොරෝනා එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන් ම සිටින රටක්. නමුත් අපිට තවමත් ගැටලුවක් තිබෙනවා. අපේ රටේ විවිධ ආගම් අදහන සහ විවිධ සංස්කෘතීන්ට අයත් පිරිස් එන්නත් ප්‍රතික්ෂේප කරනවා. අපි යම් ජාතියක් හෝ යම් ආගමික ප්‍රජාවක් ඉලක්ක කරගෙන එවැනි ප්‍රකාශයක් කිරීම වැරදි විය හැකියි. නමුත් සංඛ්‍යාලේඛන දත්ත අනුව මේ බව පැහැදිලි වෙනවා. මේ ප්‍රශ්නයට අපි විසඳුම් දිය යුතුයි. ඒ සඳහා කළ යුතු හොඳම දේ තමයි ඒ ඒ ආගමික හා සංස්කෘතික ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් එන්නත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. රටේ එන්නත්කරණ වැඩසටහනෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට නම් එය අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.”

විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පවසන්නේ ඒ ඒ ආගමික හා සංස්කෘතික කණ්ඩායම් මීට පෙර ද එන්නත් ලබාගැනීමේ දී පසුගාමීත්වයක් පෙන්නුම් කළ බවයි. නමුත් සැළසුම් සහගතව ඔවුන්ට නිසි අවබෝධය ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි වූ බවත් කොරෝනා මර්ධන එන්නත් සම්බන්ධයෙන් ද ඒ ආකාරයෙන් කටයුතු කිරීම අවශ්‍ය බබවත් පෙන්වාදෙයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!