spot_img
spot_imgspot_img

ගාලු නගර සභාවේ ලාච්චුවකින් මතු වූ එන්නත් කාර්ඩ්පත්, තවත් එන්නත් මගඩියක සාක්ෂි ද ?

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභාවේ නිලධාරියකු නම් නොලිවූ එන්නත් කාර්ඩ්පත් 45ක් සමඟ ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලැබුණු අතර මෙය එම සිද්ධිය පිළිබඳ සොයා බලා ක්ෂණික වාර්තාකරණයකින් ඔබ්බට ගිය කරුණු දැක්වීමකි.

‍බුද්ධිි අංශවලට ලැබුණු තොරතුරක් අනුව ඔහු නගර සභා පරිශ්‍රයේ ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කෙරුණු අතර එහිි දී ඔහු කියා ඇත්තේ නම් ලියා පසුව ලබාදීම සඳහා සෞඛ්‍ය අංශයෙන් තමන්ට එන්නත් කාර්ඩ්පත් 85ක් ලැබුණු බවයි. ඉන් 40ක් බෙදා දී 45ක් ඉතිරිව තිබුණු බව ද ඔහු පොලිසියට කියා තිබිණි.

මේ පිළිබඳ අපි නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකරගෙන් විමසූ විට හෙතම කියා සිටියේ අත්අඩංගුවට ගත් නිලධාරියා වරදක් කර නැති බවයි. ඔහු සහ ඔහුගේ ප්‍රජා සංවර්ධන ඒකකයේ නිලධාරීන්ගේ සහාය එන්නත්කරණ වැඩසටහනේ දී ලබාගත් බවත් සෞඛ්‍ය අංශවලට දැඩි සහායක් ලබාදෙමින් ඔහු ඇතුළු කණ්ඩායම කටයුතු කළ බවත් ‍නාගරික කොමසාරිස්වරයා කීවේය.

කොමාසරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ එන්නත්කරණ වැඩසටහන අතුරතුර එන්නත් ලබාගන්නා නගර සභා සේවකයන් සඳහා කාඩ්පත් සළකුණු කර දීම සෞඛ්‍ය අංශයේ දැනුම්වත්වීම මත ඔහු විසින් සිදුකර තිබෙන බවයි. එන්නත්කරණය අවස්ථාවේ දී එන්නත් ලබාගන්නා නගර සභා සේවකයන්ගේ නම් සටහන් කරගෙන කාර්ඩ්පත පසුව ඔහු විසින් ලබා දෙන බව ද ඒ ආකාරයට සේවක සේවිකාවන් 85 දෙනකු සඳහා දීමට ලබාගත් කාර්ඩ්පත් අතරින් 40 ක් ලබා දී 45ක් ඉතිරිව තිබූ බව ද කොමසාරිස්වරයා පවසයි.

නාගරික කොමසාරිස්වරයා පවසන්නේ මෙලෙස අදාල නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පෙර පසුගිය බ්‍රහස්පතින්දා (09) සංඝමිත්තා විද්‍යාලයේ එන්නත් වැඩසටහන අතරතුර බුර්කාව පැළඳි කාන්තාවන් 04 දෙනකු එන්නත් කාඩ්පත් ලකුණු කර එන්නත් නොගෙන පිටවයාමට උත්සාහ‍ ගැනීමේ දී අත්අඩංගුවට පත්වූ සිද්ධිය හා මෙලෙස අත්අඩංගුවට ගත් නගර සභා නිලධාරීවරයාගේ ජාතිකත්වය එකිනෙක සම්බන්ධ කරමින් වැරදි ප්‍රචාරයක් සිදුවන බවයි.

මේ පිළිබඳ පොලිසිය කරන ලද විමර්ශනවල දී සැකකරු පවසා ඇත්තේ තමන්ට නගර සභාවේ වෛද්‍යවරියක විසින් මෙම එන්නත් කාර්ඩ්පත් පසුව සළකුණු කර ලබාදීමට දුන් බවයි. ඒ අනුව තමන් ඔවුන්ට එන්නත් කාඩ්පත් ලබාදුන් බව ද හෙතෙම පවසා ඇත.

වෛද්‍යවරියගෙන් තොරතුරු විමසීමේ දී අනාවරණය වී ඇත්තේ ද එය සත්‍යයක් බවයි. නමුත් ඇය තම රථයේ ඩිකිය විවෘතකර ඔහුට ලබා දී ඇත්තේ එන්නත් කාඩ්පත් 20ක් පමණක් බව ද අනාවරණය වී ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුගේ සන්තකයේ තිබූ හිස් එන්නත් කාර්ඩ් 45 ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් සිල්වාගේ නිල මුද්‍රාව සහ දින මුද්‍රාව සටහන්ව තිබීම ද විශේෂත්වයකි.

දැනට අත්අඩංගුවට ගෙන ඇති හිස් කාර්ඩ් පත්‍රවල දැක්වෙන දින මුද්‍රාවේ සටහන්ව ඇත්තේ 2021 ජූලි මස 28 වැනි දිනයයි. එසේනම් ඔවුන් දෙවැනි එන්නත් මාත්‍රාව ද අගෝස්තුම ස 28 දින හෝ ඒ ආසන්න දිනක දී ලබාගත යුතුය. ඔහු අත්අඩංගුවට ගන්නා විට මේ කාර්ඩ්පත්‍ර ලැබිය යුතු පුද්ගලයන්ට එන්නතේ දෙවැනි මාත්‍රාවව ද ලැබී තිබිය යුතුය.

නමුත් ඒවා‍ේ එන්නත් කළ දෙවැනි දිනය සටහන්ව තිබුණේ නැත. එමෙන් ම සැබැවින්ම පළමු එන්නත ලබාගත් අයගේ කාර්ඩ් පත්‍ර නගර සභාවේ ප්‍රජා සංවර්ධන අංශයේ නිලධාරියකුට සන්තකයේ තබා ගත හැකි ද යන ගැටලුවක් පැන නගී. එන්නත්කරණය සම්බන්ධ කාර්ඩ්පත එන්නත් ලබාග්ත පුද්ගලයා සන්තකයේ තිබිය යුතු බව සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී තිබිය දී ඒවා ප්‍රජා සංවර්ධන අංශයේ ලාච්චුවක තිබෙන්නේ නම් බරපතල ගැටලුවක් තිබේ.

ඔහු මාසයකුත් දින 10කටත් වැඩි කාලයක් පළමු එන්නත් ලබාගත් අයගේ කාර්ඩ්පත් ළඟ තබා ගැනීමෙන් සැබැවින්ම එන්නත් ලබාගත් පුද්ගලයන් සිටීනම් ඔවුන්ගේ සෞඛ්‍ය සඳහා කර ඇත්තේ බරපතල ගැටලුවක් මතුකිරීමකි.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සැළසුමක් නොමැතිවීම හේතුවෙන් මෙවැනි ගැටලු මතුවන බව එහි සේවකයෝ ම චෝදනා කරති. ඔවුන් තම කාර්යය නිසි ලෙස ඉටුකිරීමට සංවිධානාත්මකව කටයුතු කරන්නේ නම් මෙලෙස එන්නත් කාර්ඩ්පත් පසුව ලකුණු කරන ක්‍රමයක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් කාර්ඩ්පත් පසුව ලකුණු කළා ද යන්න පිළිිබඳ අප දන්නේ නැත.

ඒ පිළිබඳ සොයා බැලීම පොලිසිය සතු කාර්යයකි.

මේ අතර ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ දැනට නිකුත් කර ඇති එන්නත් කාර්ඩ්පත් ප්‍රමාණය හා ලබා දී ඇති එන්නත් ප්‍රමාණය අතර බරපතල පරස්පරයක් තිබෙන බවයි.

නගර සභා සීමාවේ එන්නත් ලබාදීම මහ නගර සභාව විසින් පමණක් නොව යුද හමුදාවව විසින් ද සිදුකෙරිණි. මහ නගර සභාවෙන් ලබාදුන් එන්නත් ප්‍රමාණය සැළකූ විට එම එන්නත් කළ බවට නිකුත් කරනු ලබන බවට නිකුත් කරන කාර්ඩ්පත් 2,000  ක් පමණ වැඩිපුර නිකුත්කර ඇති බව සෞඛ්‍ය අංශයේ නිලධාරියෙක් අප සමඟ කීවේය.

ඒ අනුව මේ වනවිට ගාල්ලේ එන්නත් නොගත් නමුත් එන්නත් ගත් බවට කාර්ඩ්පත්‍රය සළකුණු කරගත් 2,000ක පමණ පිරිසක් සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසති. මෙය බරපතල ගැටලුවක් බවත් එක්තරා ආගමික කණ්ඩායමක් මේ ජාවාරම පසුපස සිටින බවත් ඔවුහු පවසති.

අප දන්නා තරමින් ගාල්ල මහ නගර සභාවට කොරෝන මර්ධන එන්නත් ලැබුණු මුල් දිනවල දී ම නගර සභා සේවක සේවිකාවන් සඳහා එන්නත්කරණ සිදුකර තිබිණි. එබැවින් එන්නත්කරණයට ලක්වූ නගර සභා සේවක සේවිකාවන් සඳහා එන්නත් කාර්ඩ්පත් පසුව ලකුණු කර දීමට එන්නත් හිස් කාර්ඩ්පත් ළඟ තබා ගැනීමට අවශ්‍ය ද යන්න ගැටලුවක් තිබේ.

පොලිසිය පවසන්නේ ඉදිරි දිනක දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකරන බවයි. ඉන් පසු අධිකරණයේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

උණවටුනේ දී සිදුවූ මෙරට ප්‍රකට එන්නත් මගඩියේ දී කොළඹ ඇතුළු පිටපළාත්වලින් පැමිණි පුද්ගලයන්ට එන්නත් කිරීම සිදුකෙරිණි. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුත තවමත් ඉබි ගමනේ සිදුවෙමින් පවතී. මෙලෙස එන්නත් නොකර කාර්ඩ්පත් නිකුත් කිරීම එදා ඒ එන්නත් මගඩිය සිදුකළ පිරිසට තමන්ට ලැබුණු එන්නත් ප්‍රමාණය හා නිකුත්කර ඇති එන්නත් ප්‍රමාණය සමපාත කරගැනීම මනා අවස්ථාවක් බැවින් මෙවැනි කාර්යයන්ට එන්නත් හොරුන්ගේ ආශිර්වාදය ලැබෙන බව අපි අවසාන වශයෙන් සටහන් කර තබමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!