spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අනපේක්ෂිත ලෙස කඩා වැටෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ දෛනික ගනුදෙනු 62,036ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම මිලියන 10,439ක් ලෙස වාර්තා විය.

පෙර දිනයට සාපේක්ෂව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 328.5කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 8,764ක් ලෙස සටහන් විය.

අද සමස්ත කොටස් මිල දර්ශකය 5%ක ප්‍රතිශතයක් ආසන්නයට පහළ වැටුණු අතර එය එම අවස්ථාවේ දී සටහන් වූයේ ඒකක 8,669ක් ලෙසයි. 5%ක ප්‍රතිශතයකින් කොටස් වෙළෙඳ පොළෙහි සමස්ත කොටස් මිල දර්ශකය පහළ ගිය අවස්ථාවක දී ස්වයංක්‍රීය අගුළු පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පැය භාගයකට අත්හිටුවීම සිදුවන අතර අද එවැනි තත්වයක් උදා නොවී නැවතත් කොටස් වෙළෙඳ පොළ පහළ බැසීම ක්‍රම ක්‍රමයෙන් අඩුවිය.

2021 වර්ෂයේ පෙබරවාරි 16 වැනි දිනට පසු කොටස් වෙළෙඳ පොළේ වැඩිම පහළ යාමක් වාර්තා වූයේ අද දිනයේ දී ය. දිනයේ වැඩිම වටිනාකම්වලින් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3,674යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2,151යි, හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත) රුපියල් මිලියන 643ක් ලෙස ද කැපී පෙණිනි.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 227යි, නේෂන් ලංකා සමාගම කොටස් මිලියන 50යි, එස්එන්බී ලීසිං සමාගම (ඡන්ද බලය රහිත) කොටස් මිලියන 26ක් ලෙස ප්‍රධාන විය.

අද දිනයේ දෛනික කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර නේෂන්ස් ෂිපිං සමාගමේ කොටස් මිල 25%කින් ද, සිංහ පුත්‍ර සමාගමේ කොටස් මිල 22%කින් ද, සිංහ පුත්‍ර සමාගම (ඡන්ද බලය රහිත) 21%කින් ද ඉහළ ගොස් ඇත.

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වීම් ලෙස හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත) කොටස් මිලයන 4.9ක් රුපියල් 130.00 බැගින් හුවමාරු වීම කැපී පෙ‍ණිනි. අද දිනයේ ද කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස එක්ස්‍පෝ ලංකා සමාගම රුපියල් බිලියන 334ක වත්කමක් වාර්තා කරමින් පළමු ස්ථානයේ ද රුපියල් බිලියන 257ක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද රැඳී තිබිණි.

අද දිනයේ විදේශීය ආ‍යෝජකයන් විසින් රුපියල් මිලියන 69ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 314ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශීය ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස රුපියල් මිලියන 245ක මුදලක් අද දින‍ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 6.5ක් ද, හේලීස් සමාගම රුපියල් මිලියන 1.5ක් ද ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 1.2ක් ද ලෙස ප්‍රධාන විය. විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 111ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 49ක් ද, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 42ක් ද ලෙස වාර්තා විය.

ඒ අනුව මෙම වසර තුළ අද දිනය දක්වා විදේශීය ආ‍යෝජකයන් විසින් රුපියල් බිලියන 42.929ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!