spot_img
spot_imgspot_img

පන්දු යැවීමේ හා පන්දු රැකීමේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාව තරඟාවලියම ජයගනී

පුවත්

විදෙස්

මංගල එක්දින තරඟ‍යේ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවාගනිමින් විශිෂ්ඨ පන්දුයැවීම නිරත වූ නවක ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඇතුළු පන්දුයවන්නන්ගේ දක්ෂතාවයත් පන්දුරැකීමෙන් අනෙකුත් ක්‍රීඩකයන් ලබාදුන් ඇදහිය නොහැකි සහයෝගයත් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එහෙරව පැවැති අවසන් ඉක්දින තරඟයෙන් ලකුණු 78ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්විය.

වසර දෙකකට ආසන්න කාලයකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියක් ජයගැනීම ද විශේෂෂත්වයි. එමෙන් ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පළමු කණ්ඩායම් 05 අතර සිටින කණ්ඩායමකට එරෙහිව වසර 07කට පසු ජයග්‍රහණයක් හිමිකර ගැනීම ද විශේෂත්වයකි.

ලකුණු 204ක් යනු දකුණු අප්‍රිකානු කණ්ඩායමට පහසු ඉලක්කයක් සෙ පෙනුන ද දඟ පන්දු යවන්නන්ට විශාල සහයක් ලබාදුන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හිස එසවීමට ඔවුන්ට අවස්ථාවක් ලබුණේ නැත. දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක ද දැවී ගිය අතර ඒ වනවිට රැස්කරගෙන සිටියේ ලකුණු 125ක් පමණි.

‍ෂෝට් මිඩ්විකට් හි පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් රැක ගත් උඩ පන්දුව ජාත්‍යන්තර විචාරකයන්ගේ විශේෂ ඇගයීමට ලක්වූ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකා පන්දු රැකීම ගැන ඔවුන්ගෙන් දැඩි ප්‍රසාදයක් පළවිය.

දුෂ්මන්ත චමීරගේ පන්දුවකට වැන්ඩර් ඩසන් එල්ල කරන ලද වේගවත් පහර ගුවනට පැන අල්ලා ගනිද්දී කමිඳුගේ සිරුර සම්පූර්ණයෙන් ම ගුවනේ රැඳී තිබිණි.

දකුණු අප්‍රිකානු සහ ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 08 බැගින් දවා ගැනීමට දඟ පන්දු යවන්නෝ සමත්වූහ. එසේ වුව ද අප්‍රිකානු කණ්ඩායමේ අත්‍යාවශ්‍යම පිතිකරුවන් දෙදෙනකු වන රීසා හෙන්රික්ස් සහ වැන්ඩර් ඩසන්ගේ කඩුළු දවාගත් මද වේග පන්දු යවන දුෂ්මන්ත චමීර තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි.

කැරම් පන්දු යවන්නකු ලෙස කණ්ඩායමට එක්වූ මහීෂ් තීක්ෂණ මංගල පන්දුවෙන් ම කඩුල්ලක් දවාගත් මෙරට සිව්වැනි ක්‍රීඩකයාය. ඔහුට පෙර චරිත බුද්ධික, කෞෂාල් ලොකුආරච්චි සහ තිළිණ තුෂාර එම දස්කම දක්වා තිබිණි. දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් යැවූ පන්දුවාර 30න් 10ක් ම යැවූ මහීෂ් කඩුළු 04ක් දවා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 37ක් පමණඛ් ලබා දෙමිනි. වනිඳු හසරංග කඩුළු 02ක් දවාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම සහ චරිත් අසලංක එක් කඩුල්ලක් බැගින් දවාගත්හ.

දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන් හැර ‍අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලැබුණේ නැත.

ඊයේ තරඟයේ දී දෙපිළට ම හිමිවූ තවත් වාර්තාවක් තිබේ. ඒ එක් තරඟයක දී දඟ පන්දු යවන්නන් විසින් බිඳ දමන ලද වැඩිම කඩුළු වාර්තාවේ දෙවැනි තැනට පත්වීමයි. ඊයේ තරඟයේ දී දැවීගිය කඩුළු 19න් 16ක් ම දඟ පන්දු යවන්නන් විසින් දවාගත් අතර මීට පෙර 2011 වර්ෂයේ දී බංග්ලාදේශය සහ පකිස්තානය අතර පැැති තරඟයක දී දඟ පන්දු යවන්නන් විසින් කඩුළු 19ක් ම දවාගෙන තිබිණි.

කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට දසුන ශානක තීරණය කළ ද පන්දුවාර 50න් 10ක් ම දඟ පන්දු යවන්නන් විසින් යැවූ අතර දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් හමුවේ ‍ශ්‍රී ලංකා කණ්ඩායම ද දැඩි පසුබෑමකට ලක්වව තිබිණි. පළමු කඩුළු 08 ම ලකුණු 166කට දැවී ගොස් තිබුණු අවස්ථාවේ දී පිටියේ එකතු වූ මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර අතර 09 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 32ක සබඳතාව හේතුවෙන් ලකුණු 200 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

දුෂ්මන්ත චමීර ලකුණු 29ක් ලබාගත් අතර නොදැවී සිසටි මහීෂ් තීක්ෂණ ලකුණු 10ක් ලබා සිටියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංකට පිට පිටම ලබාගැනීමට තිබූ තුන්වැනි අර්ධ ශතකය අහිමි වී ගියේ ලකුණු තුනකිනි. ඔහු අවසන් එක්දින තරඟ 05 දී තමන් මෙරට විශ්වාසනීයම පිතිකරුවකු බවට පත්වන බව සනාථ කර තිබේ.

ඊයේ තරඟයේ දී චරිත්ගේ දැවී යාම සිදුවූයේ ටබ්‍රේස් ශම්සි එවන ලද පන්දුවකට ඉදිරියට ගොස් පහරක් එල්ල කිරීමට ගන්නා ලද උත්සාහයක දී ය. කඩුළු රකින ක්ලාන්ස් පන්දුව රැකගෙන ක්ෂණයකිින් කඩුල්ල බිඳ දැමුවේය. එ් වනවිට චරිත් අසලංක සිටියේ සීමා ඉරට ඉදිරිියෙනි. නමුත් පන්දුව ඔහුගේ පිත්තේ යන්තමට තැවරී තිබුණු බැවින් දැවී යාම සටහන් වූයේ උඩ න්දුවක් ලෙසිනි.

තරඟ තුනේ දී ලකුණු 196ක් ලබාගත් චරිත් අසලංක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 65.33ක් හිමිකරගෙන තිබේ. ඔහුගේ මේ දක්ෂතාව තරඟාවලියේ වීරයා සම්මානය ලැබීමට හේතුවක් විය

තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සැප්තැම්බර් මස 10 වැනි දා ආරම්භ වෙයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!