spot_img
spot_imgspot_img

දකුණු අප්‍රිකානුවෝ තරඟාවලිය සම කරති

පුවත්

විදෙස්

ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ඉනිමත් අවශ්‍යම මොහොතේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 05ක් දවාගත් ටබ්‍රේස් ශම්සිගේ පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලිය සම කර ගැනීමට දකුණු අප්‍රිකානුවෝ ඊයේ (04) සමත්වූහ.

ඒ දෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 67ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

ලකුණු 284ක් පන්දුවාර 47ක දී ලබාගැනිමේ ඉලක්කය පසුව පන්දුවාර 41ක දී ලකුණු 265ක් ලෙස වෙනස්විය.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 36.4 ක දී සියළු දෙනා දැවී ලකුණු 197ක් පමණි.

ඉලක්කය හඹා යාමේ අරමුණෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය සුනු විසුණු කිරීමට කාගිසේ රාබඩා සමත්වූයේය. පන්දුවාර 06ක් යවා පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්වන විට ලකුණු 16කට කඩුළු 02ක් බිඳ දමා සිටියේය. 

අවිශ්ක ප්‍රනාන්දු දවාගත් ඔහු භානුක රාජපක්ෂගේ කඩුල්ල දවාගන්නා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ පස්වැනි පන්දුවාරයට කඩුළු 03කට ලකුණු 18ක් ලෙසිනි.

පසුව පිටියේ එක්වූ චරිත් අසලංක, දසුන් ශානක සහ චාමික කරුණාරත්නට වැටී තිබූ ශ්‍රී ලංකා පිළ ගොඩගැනීමට ඉවසිලිවන්ත පිතිහරඹයකට වඩා ප්‍රහරයකට යාමට සිදුව තිබිණි.

හයේ පහර 03ක් හා හතරේ පහර 05ක් එල්ල කළ චරිත් අසලංක පන්දු 69ක දී ලකුණු 77ක් ලබා දැවී ගිය අතර ඉතිරිව සිටි බලාපොරොත්තු සහගත එකම පිතිකරුවා වූ චාමික කරුණාරත්න පන්දු 23 කින් ලකුණු 36ක් ලබාගත්ත ද එය ජයග්‍රහණය අසළටවත් යාමට ප්‍රමාණවත් වූයේ නැත.

දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් පන්දුවාර 10 දී ලකුණු 97ක් රැස්කිරීම ඔවුන්ට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හේතුවක් විය.

තමන් මුහුණ දුන් 09 වැනි එක්දින තුන්වැනි ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ජෙනමන් මලාන් දකුණු අප්‍රිකා ඉනිමේ අඩිතාලම වූයේය.  ඔහු මේ වනවිට ඉනිමක සාමාන්‍ය 104.50 තරම් ඉහළ අගයක රඳවාගත් පිතිකරුවකු බවට පත්ව සිටියි.

ඉනිම හමාර වීමට පන්දුවාර 2 ක් ඉතිරිව තිබියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව මලාන් දැවී යෑමට පෙර රීසා හෙන්ඩ්‍රිකස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් සහ හෙන්රික් ක්ලාසන් සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක් වශයෙන් සබඳතා ගොඩනගාගෙන තිබිණි.

ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල තත්වයක තිබූ අතර නවතා ගත හැකිව තිබූ ලකුණු 25ක් පමණ ප්‍රතිවාදීන්ට පූජා කරන ලදී.

අප්‍රිකානුව්නට එරෙහිව දසුන් ශානක විසින් භාවිතා කරන ලද පන්දු යවන්නන් 7 දෙනාගෙන් චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වූහ.

තරඟාවලිය සම වී ඇති බැවින් ලබන 07 වැනි දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තුන්වැනි තරඟය අවසන් මහා තරඟයක් වැනි ස්වරූපක් ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!