spot_img
spot_imgspot_img

වෛද්‍යවරු නැතිව කරාපිටියේ ළමා පිළිකා අංශය වැසී යයි. රෝගී දරුවන් මහරගමට

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළමා පිළිකා රෝගීන් සියලු දෙනා මහරගම අපේක්ෂා රෝහලට යැවීමට සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ සිට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගී දරුවන් 05 දෙනකු දැනටමත් මහරගම අපේක්ෂා රෝහලට යවා ඇති අතර මේ වනවිට කරාපිටිය පිළිකා ඒකකයේ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පිළිිකා සහිත දරුවන් 180කට වැඩි පිරිසකට මින් ඉදිරියට මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලැබීමට සිදුව තිබේ.

මෙලෙස ඔවුන් මහරගමට යැවීමට සිදුව ඇත්තේ එම ළමා පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙනි.

පිළිකා ඒකකයේ ළමයි සඳහාම වෙන්වූ වෙන්කර තිබූ කොටසේ ළමුන් 20කට පමණ නේවාසික පහසුකම් තිබේ. ඔවුන් මහරගම අපේක්ෂා රෝහල වෙත යොමුකිරීමට මේ වනවිට තීරණය කර තිබේ.

විශේෂඥ ළමා පිළිකා‍ රෝග වෛද්‍ය සංජීව ගුණසේකර මෙම ඒකකය භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු මහරගම අපේක්ෂා රෝහලට මාරුවීමක් ලබා ගියේය. ඉන් පසු අවස්ථා දෙකක දී විශේෂඥ පිළිකා රෝග වෛද්‍යවරියක සහ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරයකු මෙම අංශය ට පැමිණිය ද ඔවුන් ද මාස කිහිපයකින් මාරුවීම් ලැබ ගිය බැවින් ඒකකයේ කිසිදු විශේෂඥ වෛද්‍යවරයකු සිටියේ නැත.

එම ඒකකයේ සේවය කරන වෙනත් වෛද්‍යවරයකු, විශේෂඥ ළමා පිළිකා රෝග වෛද්‍ය සංජීව ගුණසේකර සම්බන්ධ කරගනිමින් ඔහුගෙන් ලැබෙන උපදෙස් සහ මග පෙන්වීම් අනුව එහි නේවාසිකව සිටි ළමුන් අවශ්‍ය ප්‍රතිකාර කරගෙන ගියේය.

නමුත් එම වෛද්‍යවරයාට දින කිහිපයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවක සේවය කිරීමට සිදුවී ඇති අතර මේ වනවිට ඔහු නිරෝධායනයට යොමු වී සිටියි.

එම වෛද්‍යවරයා වාට්ටුවේ නොමැතිවීමත් සමඟ කරාපිටිය පිළිකා ඒකකයේ ළමුන් සඳහා වෙන්වූ අංශය මුළුමනින්ම අකර්මණ්‍ය වී ඇත.

මෙයට ඇති විකල්පය වන්නේ මෙතෙක් එම රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් සිදුකළ විශේෂඥ වෛද්‍ය ගුණසේකර සිටින අපේක්ෂා රෝහලට ළමුන් මාරුකර යැවීමයි.

එලෙස ඔවුන් එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පසු හිස්වන ඒකකයට කොරෝනා ආසාදිතයන් යොමුකිරීම කෙරෙහි ද රෝහලේ අවධානය යොමුව ඇත.

නමුත් රෝහලේ පිළිකා ඒකකකය පිහිටි මහල් ගොඩනැගිල්ලේ පළමු මහළේ මෙම ඒකකය පිහිටා තිබෙන බැවින් කොරෝනා ආසාදිතයන් එම ස්ථානයට යොමුකිරීම අවදානම් සහගත බව ද වෛද්‍යවරුම පෙන්වා දෙති.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!