කොරොනා මඩින්න බිලියන 82ක් රටින් ලැබිලා

0
119

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන, ආධාර හා ණය ලෙස ඩොලර් කෝටි 45ට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 82කට අධික මුදලක් ලබාදී ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වේ.

මෙම තොරතුරු ලබාගෙන ඇත්තේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි.

එම තොරතුරු අනුව මේ දක්වා විටින් විට ආධාර සහ ණය වශයෙන් ඩොලර් හතළිස්හතර කෝටි හැත්තෑ ලක්ෂ තිස් අටදහස් අටසිය අසූහයක මුදලක් (447,038,886) ලැබී තිබේ. එය ආසන්න වශයෙන් රුපියල් 82,255,155,132 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම මුදල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමාජ ආරක්ෂණ අරමුදල වෙත ලැබී ඇති බවයි.

මෙහිදී ප්‍රදානයන් ලෙස   ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 1.9 (1,900,000)ක් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් (UNFPA ) ඩොලර් 212,260ක් ,UNICEF  මගින් ඩොලර් 125000ක් , ආසියානු සංවර්ධන බැංකුව(ADB) මගින් ඩොලර් 5,000,000ක මුදලක් ද ගෝලීය අරමුදල මගින් 1,194,424ක් ද ලැබී තිබේ.

ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් (WP) ඩොලර් 128,000,000 ක මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබේ. ඒ අනුව ආධාර සහ ණය  ලෙස පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවට ඩොලර් තිස් එක් කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් ( 319,036,386) එය රුපියල්වලින් බිලියන පනස්ට අටකට අධික මුදලක්(රුපියල් 58,702,695,024 ) වේ.

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් 634,918.59ක මුදලක් ලැබී ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ඇමෙරිකානු ඩොලර් 300,000,000ක මුදලක් ලැබී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු එම මුදලින් ඇමෙරිකානු ඩොලර 150,000,000ක මුදලක් වෙන් වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, සමාජ ආරක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙනි.

 මේ වනවිට ලංකාව තුල 2020 ඔක්තෝම්බර් මස 17 වනදා වන විට  PCR පරීක්ෂණ තුන්ලක්ෂ අසු අටදාස් එකසිය හතලිස් නවයක් (388,149)  සිදුකර තිබෙන අතර ඒ සදහා දළ වශයෙන් ඩොලර් එක්කෝටි විසි තුන් ලක්ෂයකට අධික මුදලක් වැය  වී තිබේ (12,322,190.40) එය රුපියල් වලින් බිලියන දෙකකට වඩා වැඩි ප්‍රමානයක් වේ (රුපියල් 2,328,894,000 )

2020 ජුලි 25  දක්වා පරීක්ෂණ 153,022 ක් සිදුකර තිබෙන අතර අනෙකුත් PCR පරීක්ෂණ  235,127 සිදුකර ඇත්තේ එතැන් සිට 2020 ඔක්තෝම්බර් මස 17 වන දා දක්වා කාලයේ දී ය.

මිට අමතරව බෙහෝ දෙනෙකු තම පුද්ගලික වියදමින්ද PCR පරීක්ෂණ සිදුකරගෙන තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගෙන් කළ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කරන ලද විමසීමක දී ඔහු කියා ඇත්තේ සිදුකරන ලද PCR පරීක්ෂණ සඳහා මෙම මුදල් යෙදවීම හැරුණු විට PCR පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් වැඩි කිරීම සඳහා යාපනයේ හා මඩකලපුවේ පර්යේෂණාගාර වැඩි දියුණු කිරීම මෙන්ම PCR පරීක්ෂණ සදහා ලබාගන්නා උපකරණ සදහා ද මෙම මුදල් යොදාගත් බවයි.

” අපි සමාජය දැනුවත් කිරීම් කටයුතු සදහා ද මෙම මුදල් භාවිත කරලා තියෙනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කරන ලද රුපවාහිනී දැන්වීම් කීපයක් සදහාද මෙම මුදල් යොදවා තියෙනවා. එමෙන්ම අදාළ උපකරණවලට අමතරව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට විශාල මුදලක් වැය වෙනවා ”

සෞඛ්‍ය ක්ෂේත්‍රය හැරුණු විට ඒ සදහා පත්කර ඇති කොමිසමක් මගින් වෙනත් ක්ෂේත්‍රයන්  සඳහා ද මෙම මුදල් වැයකරන බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවද සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා පවසයි.

    කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව   ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය කොපමණද යන්න පිළිබඳ හා එම මුදල් වියදම්කර ඇති ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කර ඇතත් ඒ සඳහා මෙතෙක් පිළිතුරු ලබා දී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here