spot_img
spot_imgspot_img

සිංහල – මුස්ලිම් – දෙමළ එකම ජාතියක් බව විද්‍යාත්මකව තහවරු වෙයි

පුවත්

විදෙස්

අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරු
තුන් සිංහලයම දූදරුවෝ
තුන් සිංහලයම දූදරුවෝ

යනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනයෙන් වික්ටර් රත්නායක ගායනා කළ ගීතය සැබෑවක් බව කොළඹ විශ්වවිද්‍යාලය සිදුකරන ලද ජාන විද්‍යාත්මක පර්යේෂණයකින් සනාථ වී තිබේ.

ජාති, ආගම්, කුල මල බේද අනුව වර්ග කරමින් එකිනෙකා ඇණ කොටා ගත්ත ද ශ්‍රී ලංකාව නම් කුඩා දූපතේ ජීවත් වන්නේ එකම නෑදෑ පරපුරක් බවත් ඔවුන් ජාති ආගම වශයෙන් වෙන්කර සැළකීමට නොහැකි තරම් සමීපතමයන් බවත් එම පර්යේෂණයෙන් තහවුරු වී ඇත.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ජන වර්ග අතර ඇති අන්තර් ඥාති සම්බන්ධතා සොයා බැලීම අරමුණු කරගනිමිනි. කොළඹ විශ්වවිද්‍යාලය හා ජීන්ටෙක් ආයතනය විසින් කරන ලද මේ පර්යේෂණය සම්බන්ධ විද්‍යාත්මක වාර්තාව ජාත්‍යන්තර නේචර් සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.

පර්යේෂණය පදනම් වී තිබෙන්න් ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවගේ X-වර්ණදේහ මූලික කරගත් DNA ඇඟිලි සළකුණු ක්‍රමවේදය ඔස්සේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ව විද්‍යා සහ පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ගයනි ගල්හේන, කොළඹ ජීන්ටෙක් ආයතනයේ නන්දික පෙරේරා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ගයා රණවක යන අය මෙම පර්යේෂණ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝය.

මෙම පර්යේෂකයන් කණ්ඩායම ශ්‍රී ලාංකිකයන් සඳහා  X- වර්ණදේහ මූලික කරගනිමින් DNA ඇඟිළි සළකුණු පරීක්ෂණ ක්‍රමවේදයක් නිර්මාණය කර එමගින් සංකීර්ණ ඥාති සම්බන්ධතා අධ්‍යයනය කිරීමේ දී මතුවිය හැකි ගැටලු මගහරවාගෙන තිබේ.

මෙම ක්‍රමය වඩාත් වැදගත් වන්නේ අවම වශයෙන් එක් කාන්තාවක් හෝ සම්බන්ධ ඥාති සබඳතා නිර්ණය කිරීම් සඳහාය. ඒ අනුව මෙම නව අධ්‍යයනයේ අරමුණ වන්නේ නව DNA ඇඟිලි සළකුණු ක්‍රමවේදය ලංකාවේ ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ජාන දත්ත සංචිතයක් සකස් කිරීමයි.

එම ජාන සංචිතය මෙරට ජාතීන් අතර ඇති ප්‍රවේණි සම්බන්ධතාවලට අනුරූප විය යුතු අතර එමගින් ඔවුන්ග් අන්තර් ඥාති සම්බන්ධතාවයේ ස්වභාවය ද තීරණය කිරීමට හැකි විය යුතුය.

සාමාන්‍ය පිළිගැනීම වූයේ ශ්‍රී ලාංකීය ජන වර්ග අතර සංකීර්ණ ජාන විකාශන ඉතිහාසයක් තිබිය හැකි බවයි. එය දේශීය හා විදේශීය වශයෙන් ද බලපෑමට ලක්වූවක් විය යුතුය. ඉතා ඈත අතීතයේ සිට පෙර අපරදිග සුප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයක්ව පැවැති බැවින් විවිධ රටවලින් පැමිණි විදේශියන්ට ශ්‍රී ලංකාව නැවතුම්පොළක් විය.

එමෙන්ම ඉන්දියාව වැනි සුවිසල් දේශයකට ඉතාමත් සමීපව තිබූ කුඩා දූපත් රාජ්‍යයක් බැවින් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වරින් වර මතු වූ ප්‍රාදේශීය රජවරු සේනා රැස්කරගෙන මෙරට ආක්‍රමණය කළහ. මෙරට රජවරු ද වරින් වර ඉන්දියාවට ගොස් විවිධ ජන කොටස් මෙරටට රැගෙනවිත් ඇති අතර රැකියා සඳහා පැමිණි ජන කණ්ඩායම් ද ආවාහ විවාහ සඳහා පැමිණි ජන කණ්ඩායම් ද පිළිබඳ අතීතයේ සඳහන් වේ.

ඉන් පසු අරාබි, පර්සියන් ජාතිකයන් මෙන්ම පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයෝ ද මෙරට පැමිණියහ. යුරෝපීයයෝ වසර 450ක් පමණ මෙරට බොහෝ ප්‍රදේශවල අඛණ්ඩව පැල පදියම් වී සිටියහ. මේ හේතුවෙන් මෙරට ජන කොටස්වල ජාන විවිධත්වය දේශීය හා විදේශීය බලපෑම ඇති බව පරීක්ෂණයකින් තොරවම නිගමනය කළ හැකිය.

නමුත්, ඒ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍ය වේ.

වර්තමාන ශ්‍රී ලංකවේ වාසය කරන ජනතාවගෙන් වැඩි කොටස් මෙලෙස විදේශිකයන්ගෙන් පැවත එන අතර ඉන් 99.5% ප්‍රතිශතයක් සිංහල, ශ්‍රී ලාංකික ද්‍රවිඩ, මුස්ලිම් සහ ඉන්දීය ද්‍රවිඩ යන වර්ග හතරට වර්ගීකරණය කර තිබේ. මෙය විද්‍යාත්මකව කරනු ලබන්නක් නොව සංස්කෘතිමය වශයෙන් සිදුවන්නකි.

මෙම ජන වර්ග අතර ජානමය සම්බන්ධතාව අධ්‍යයනය කිරීම සඳහා X –  වර්ණදේහයේ පිහිටි ජාන සළකුණු 16ක්  පර්යේෂණ කණ්ඩායම විසින් භාවිතා කර තිබේ.

මෙය ශ්‍රී ලාංකිකයන් සදහා එදා මෙදා තුර ඉතිහාසයේ කර ඇති විශාලතම ජාන අධ්‍යයනයයි. පර්යේෂකයන් ඒ සඳහා එකිනෙකා සමඟ ඥාති සම්බන්ධයක් නැති 838 දෙනකුගේ ජාන විශ්ලේෂණය කර තිබේ.

ර්යේෂණය සඳහා භාවිත කරන ලද X – වර්ණදේහයේ ජාන සලකුණු 16

මෙ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මේ වනවිට ඉන්දීය ද්‍රවිඩ යනුවෙන් හඳුන්වමින් ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ගය සුළු වශයෙන් නමුත් සංඛ්‍යානමය දත්ත අනුව සැළකිය යුතු ප්‍රමාණයකින් මෙරට සිටින සිංංහල සහ මුස්ලිම් ජනවර්ගයන්ගෙන් වෙනස් වෙයි.

නමුත් සිංහල, ශ්‍රී ලාංකික ද්‍රවිඪ සහ මුස්ලිම් යන ජන වර්ග එකිනෙක දැඩි සම්මිශ්‍රණය වීමක් දක්නට ලැබේ. එහි දී තහවුරු වී ඇත්තේ සිංහල සහ මුස්ලිම් ජන වර්ග අතර ඇති ජානමය සම්බන්ධතාව සිංහල සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවව ඇතර ඇති ජනමය සම්බන්ධතාවයට වඩා වැඩි බවයි. ඒ අනුව සිංහල ජාතියේ ළඟම නෑයා මුස්ලිම් ජනතාව ලෙස විද්‍යාත්මකව තහවුරු වෙයි.

මේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ සිටින ජන වර්ග හතරෙහි විකාශය පිළිබඳ ඓතිහාසික වාර්තාවන්ට එකඟ වවන බව ද අධ්‍යයනය කළ පර්යේෂකයෝ කියති.

වර්ණදේහය පාදක වූ ඩී එන් ඒ ඇඟිලි සලකුණු අධ්‍යනයට අනුව ශ්‍රී ලාංකික ප්‍රධාන ජන වර්ග හතර අතර ඇති ඥාති සබැඳියාව.

ශ්‍රී ලාංකික ද්‍රවිඩ යනුවෙන් වර්තමානයේ හඳුන්වන ජන කොටස විකාශ්‍ය වී ඇත්තේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිට මෙරටට පැමිණ සිංහලයන් හා විවාහ සම්බන්ධතා ඇතිවීමෙන් බවට ඉතිහාසයේ දැක්වෙන කතාව මේ පරීක්ෂණ දත්ත අනුව පැහැදිලි වෙයි.

කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්ද්‍රීය ද්‍රවිඩ ජනයාගේ ආරම්භය එතරම් පැරණි නොවන අතර මෑත අතීතයේ යටත් විජිත යුගය දක්වා පමණක් දිව යන්නකිය. යටත් විජත කාලයේ වතු කම්කරුවන් ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඔවුන් සිංහල ජනයා සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජයයා අතර සම්මිශ්‍රණය වී ඇත්තේ ඉතා සුළු වශයෙනි.

ඉතිහාසය සාක්ෂි දරන්නේ අරාබි රටවලින් වෙළෙඳාම සඳහා පැමිණි මුස්ලිම් ජාතික පිරිමි මෙරට ජීවත් වූ සිංහල සහ ශ්‍රී ලාංකික ද්‍රවිඬ කාන්තාවන් සමඟ විවාහවීමෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ සම්භවය සිදුවූ බවයි.

එය දැන් විද්‍යාත්මකව තහවරු වී තිබේ. X – වර්ණ දේහ විශ්ලේෂණයෙන් හෙළි වී ඇත්තේ මුස්ලිම් ජනතාව තුළ ඇති ජාන හා සිංහල ජනතාවගේ ජාන සම්භවය ඉතාමත් සමීප බවයි. ඒ අනුව ජීව විද්‍යාත්මකව ඔවුන් එකිනෙකට සම්මිශ්‍රණය වූ ඥාති බන්දුතාවක් ඇති ජාතීන්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ සම්භය පිළිබඳ මත දෙකක් ඇත. එක් මතයකින් කියවෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට අතීතයේ සංක්‍රමණය වූ අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන බවයි.

දෙවැනි මතය වන්නේ ඔවුන් ඉස්ලාම් භක්තිකයන් වූ ඉන්දියානුවන් පිරිසකගෙන් සම්භවය වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම නවතම ජාන විශ්ලේෂණය අනුව තහවුරු වී ඇත්තේ ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයා සතු ඉන්දීය සම්භවය හේතුවෙන් දෙවැනි මතය හෙවත් ඉස්ලාම් භක්තිකයන් වූ ඉන්දියානුවන් පිරිසකගෙන් ඔවුන් පැවත එන බවයි.

මෙය තරමක් ආන්දෝලනාත්මක වුව ද සත්‍යය නම් එයයි.

කෙසේ වෙතත් පරීක්ෂණ තවදුරටත් පුළුල් කරමින් මේ විද්‍යාඥයන් පිරිස ශ්‍රී ලංකාවේ එම ජනවර්ඝ හතරෙහි ජානමය සම්බන්ධතා තවත් මහද්වීපවල වූ ජන වර්ග 14ක් සමඟ සන්සන්දනය කර තිබේ.

එයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකිකයන් දකුණු ආසියාතික රටවල අනෙකුත් ජන කොට්ඨාස සමඟ පෙන්ම යුරෝපීයයන් සමඟ ද සමීප සම්බන්ධතාවක් දක්වන බවයි. නමුත් එවැනි සමීප බවක් අග්නිදිග ආසියාතික රටවල් සහ අප්‍රිකානු රටවල් සමඟ නැත. නමුත් ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉන්දීය ද්‍රවිඪ ජාතිකයන් සිංහල, මුස්ලිම් හා ශ්‍රී ලාංකීය ද්‍රවිඪ ජාතිකයන්ට වඩා අග්නිදිග ආසියාතික හා අප්‍රිකානු රටවල ජනතාව සමඟ ජනාමය සම්බන්ධතාවක් දක්වයි.

මෙයින් පැහැදිළි වන්නේ අතීතයේ යුරේෂියානු ජන සංක්‍රමණය පිළිබද ඇති මත සමඟ මෙම පර්යේෂණ දත්ත මනාව ගැලපෙන බවයි.  

ඉතිහාසඥයන් පවසන්නේ සිංහලයන් පැවත එන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පෙර කළු මුහුද හා කැස්පියන් මුහුද ආශ්‍රිතව යුරෝපය හා දකුණු ආසියාව දෙසට සංක්‍රමණය වූ යුරේසියානු මහද්වීපිකයන් කොටසක් වන ඉන්දු ආර්යයන්ගෙන් බවයි.

වර්තමාන යුරෝපීයයන් හා දකුණු ආසියාතිකයන් අතර හඳුනාගන්නා ලද සමීප ප්‍රවේණි සම්බන්ධතාව ඔවුන්ගේ ලෝකඩයුගයේ පොදු පූර්වජයකු පිළිබඳ මතය සනාථ කරයි.

නමුත් ද්‍රවිඩ ජනයා පැවත එන්නේ ඉන්දියාවේ ජීවත් වූ ස්වදේශීය මිතුන් මිත්තන්ගෙනි. ආදි පූර්වජයයන් වෙනස් වුවත් ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් වසර දෙදහස් ගණනක් තිස්සේ සිංහලයන් හා පැවැත්වූ සම්බන්ධතා හේතුවෙන් මේ ජාතීන් දෙක අතර දැන් ජාන සම්මිශ්‍රණය වී පොදු ප්‍රවේණික පසුබිමක් දක්නට ලැබෙයි.

ඉන්දීය ද්‍රවිඩ ජනතාවගේ X -වර්ණදේහ පාදක වූ ඥාති සබඳතා නිර්ණය සඳහා ඔවුන්ටම ආවේණික වූ ජාන දත්ත සංචිතයක් යොදා ගැනීම සුදුසු යැයි මෙම පර්යේෂණ කණ්ඩායම යෝජනා කර තිබේ.

නමුත් සිංහල, ශ්‍රී ලාංකික ද්‍රවිඩ සහ මුස්ලිම් යන ජන වර්ග දෙක සඳහා පොදු ජාන දත්ත සංචිතයක් භාවිතා කිරීමේ හැකියාව පවතී.
මෙලෙස X – වර්ණදේහ මූලික කරගනිමින් ජන වර්ගයන්ගේ ජාන විශ්ලේෂණය කිරීම මෙරට සිදු කර ඇත්තේ මුල්වරයටය. මෙරට ජන විකාශන ඉතිහාසය පිළබඳ ඉතිහාසය අධ්‍යයනය අණුක අධිකරණ විෂය ක්ෂේත්‍රයේ නව මාවතක් විවර වීමකි.

කොළඹ විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත්කරන ලද ලිපියක්

2 COMMENTS

  1. You are a bladdy idiot.You are making and issue to camouflage our Sinhala identity amoung uncivilized. Sinhalease have a recorfed history over 40000 years.Please do not make a political issus on the Sinhala identity.

  2. සිංහලයන් කියන්නෙ සංක්‍රමණය වෙච්ච ජාතියක් කියන්නෙ කොහොමද? සිංහල කියන්නෙ හෙළයන්. මීට අවුරුදු 7000 කටත් පෙර ඉදන් මේ හෙළබිමේ ජීවත්වූ බවට සාක්ෂි තියෙන බව රාජ් සෝමදේව මහතා පවසනවා. ඊට අමතරව කාශ්‍යප බුදුන් කල සෙල් ලිපි පවා සොයාගෙන තියෙන බවක් කියවෙනවා. සියලු බුදුවරුන් පහළවන මේ පින්බිමේ ඉන්න හෙළයන් කොහෙන්වත් සංක්‍රමණය වෙලා කියන්න කලින් හොදින් සොයා බැලිය යුතුයි

Leave a Reply to Priyantha Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!