spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී

පුවත්

විදෙස්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 300 හඹාගිය දකුණු අප්‍රිකාව පන්දු ඕවර 50 දී ලකුණු 286ට සීමා කිරීමට පන්දු යවන්නෝ සමත්වූහ. ‍ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් පැවති මෙම තරඟය ජයගැනීමත් සමඟ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රසාද ලකුණු 10ක් හිමිකර ගැනීමට ද තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකාවේ දී පැවැති එකම එක්දින තරඟයක හෝ රාත්‍රී පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය ඉලක්කයක් හඹා ගොස් ජයගෙන නොමැති වුවත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දුන් පන්දු ඕවර 40 අවසන්වන විට ඔවුන් කඩුළු 03ක් පමණක් අහිමිව ලකුණු 210ක් ලබා සිටියේ තරඟයේ ජය පහසු බවට ඉඟි කරමිනි.

එසේ වුව ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එම පන්දුවාර 10 දී දකුණු අප්‍රිකාණුවන්ගේ ප්‍රහාරය අඩපණ කිරීමට හැකියාව ලැබිණි.

ආරම්භයේ සිට ම ඉතා හොඳින් පන්දුවට පහර දුන් ඒඩ්න් මාක්‍රම් හොඳ ආරම්භයක් ලබා දුන්නේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ශක්තිමත් කරද්දී වනිඳු හසරංග විසින් යොමු කරන ලද පන්දුවක් අතේ වැදීමෙන් ඔහුට පන්දුවට පහරදීම නවතා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒඩ්‍රියන් මාක්‍රම් තම මංගල එක්දින ශකතය පෙනි පෙනී සිටිය දී ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවකට එල්ල කරන ලද ඉන්සයිඩ් අවුට් පහර ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග විසින් රැකගැනීම නිසා දැවී යනවිට ඔහු ලකුණු 96ක් ලබා සිටියේය.

ඉන් පසු පිටියේ එකතු වූ වැන්ඩර් ඩුසේන් පන්දු 59 කදී ලකුණු 59 ක් ද හෙන්රිච් ක්ලාසන් පන්දු 31 කදී ලකුණු 36 ක්ද රැස් කරමින් තරගය දකුණු අප්‍රිකානු පිල වෙත ගෙන ඒමට උත්සාහ ගත්ත ද දඟ පන්දු යවන්නන් වන අකිල, වනිඳු, ප්‍රවීන් සහ ධනංජයද ග්‍රහණය වැඩි කරමින් පන්දු යැවීමට සමත්වීම නිසා ඔවුනගේ උත්සාහය සාර්ථක වූයේ නැත.    

මන්දගාමී තණතීරුවක් වුව ද ඉපිලීමෙහි අඩුවක් නොතිබුණු ආර්. ප්‍රේමදාස පිටියේ දී ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුගේ තුන්වැනි එක්දින ශතකය හේතුවෙන් ලකුණු 301 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. එය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන්විය.

ප්‍රබල දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හමුවේ පසු පාදය වැඩි වශයෙන් භාවිතයට ගනිමින් පන්දුවට පහර දුන් අවිශ්ක ප්‍රනාන්දු,  චරිත් අසලංක සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 දක්වා ගෙන යෑමට දායකත්වය දැක්වූහ. පන්දු 71 ක් වැය වුණු එම සම්බන්ධතාවයේදී පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 8.19 ක් ලෙසින් සටහන්ව පැවැතිණ.

කගිසෝ රාබඩාට සහ ඒජ්න් මාක්‍රම්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහර 2 ද ඇතුළුව තවත් හතරේ පහර 10 කින් ඉනිම අලංකාර කරගත් අවිශ්ක ලකුණු 118 ක් ලබා සිටියදී දැවී යෑමෙන් පසු ඉනිමේ වගකීම කරට ගත් අසලංක අවසන් පන්දුවාර 10 දී ලකුණු 90 ක් රැස් කර ගැනීමට වැඩි දායකත්වයක් දැක්වීය. පන්දු 62 කින් සමන්විත වුණු අසලංකගේ ලකුණු 72 ක ඉනිම ඔහුගේ දෙවැනි අර්ධ ශතකය බවට පත්විය.

දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන් ලෙසින් නම් දරා සිටින කාගිසෝ රාබඩා, ඇන්රිච් නෝයේට පන්දුවාරයකට ලකුණු 6 කට වඩා ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ඔවුන් සතුව සිටින හොඳම දඟ පන්දු යවන්නා වන ටැබ්‍රේස් ශම්සිගේද පන්දුවාර 10 දී ලකුණු 55 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ කේෂව් මහරාජ්ට පමණක් තරමක් ප්‍රවේශමෙන් පන්දුවට පහර දුන්හ. ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ මහරාජ් ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තේය. 10 වැනි පන්දුවාරයේ මාක්‍රම්ව හඳුන්වාදීමත් සමඟ භානුක ලකුණු 27 කට දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂවද ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට මහරාජ් සමත්විය.

13 වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 58 ක් ලබා සිටි නමුත් දකුණු අප්‍රිකානුවන්ට පීඩනය දිගටම රඳවා ගැනීමට නොහැකි විය. එහිදී සාර්ථක වුණු අවිෂ්ක සහ ධනංජය ද සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් 79 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!