spot_img
spot_imgspot_img

මිතුරා මරාදැමූ රහස වසර කිහිපයකට පසු මහ වනයෙන් මතුවෙයි

පුවත්

විදෙස්

චුට්ටි මල්ලීත් කිරි මල්ලීත් ගජ යහ‍ළුවෝය. පවුලේ බාලයා වූ චුට්ටිමල්ලී නමින් ගුණපාලය. කිරිමල්ලී දයාසිරිය. ඔවුන් කුඩා කාලයේ පටන් හැදුණේ වැඩුණේ එකම ඉනි වැටෙන් වෙන්වූ නිවෙස් දෙකකය. ඒ මොණරාගල දිස්ත්‍රික්කයේ යාල මහ කැලේ ආසන්නයේ ගම්මානයකය.

එකට හැදී වැඩී එක බත් ‍පත බෙදාගෙන කෑ මේ සුමිතුරෝ එකම පාසලකට ගියහ. එහෙත් ඉගෙනුමට මේ දෙදෙනාම සමත්කම් දැක්වූයේ නැත. වැඩි දුර අධ්‍යාපනයක් නොලැබූ ඔවුන් තම තාත්තලාගේ හේන් ගොවිතැනට යහමින් උදව් උපකාර කළේ එය සිය පරපුරේ උරුමය බව දන්නා බැවිනි.

හේනේ වැවෙන කුරහන්, කවුපි, මුං ආදී  ආහාර සියල්ල ඔවුන්ගේ කරදඩු උස්මහත් කළේ කඩිනමිනි. උස්මහත්ව වැඩුණු මේ දෙදෙනා යන්තම් සොළොස්වැනි වියට එළඹෙද්දී කැලේ කොටා හේන් ගොවිතැන ආරම්භ කළේ තාත්තලාගේ අඩි පාරේ යමිනි. තාත්තලාගේ හේන් වලට වඩා තරමක් ඈත්ව පිහිටි ඔවුන් දෙදෙනාගේ හේන් දෙකක් වුව ද මේ දෙදෙනාම එය දෙකක් ලෙස සැළකුවේ නැත.

එකට එක්ව හැදුණු වැඩුණු ඔවුන් හේන වගාකළේ ද එකට එක්වය. එකම බව භෝග සිටුවා ඒවායේ අස්වැන්න නෙලා පසුව ලාභය ද බෙදා ගත්හ. හේන් දෙකටම තිබුණේ එකම පැලකි. දෙදෙනා එක්ව මාරුවෙන් මාරුවට හෙන් රකින්නේ මිත්‍රත්තවයේ තරම ගමේ කොයි කාටත් පෙන්වමිනි. ඇතැම් විට දින දෙක තුන ඔවුන් දෙදෙනා නිවසට පැමිණියේ නැත.

කර දඩු උස්වී තරුණ වියට එළැඹුණු ගුණපාල සහ දයාසි‍රි දෙදෙනා කරකාර බැඳිය යුතුයැයි යන්න දෙමාපියන්ගේ අදහස වූයේය. මේ දෙමිතුරෝ ඒ ගැන අවධානය යොමු කරන්නට වූහ. බුත්තල එක ම ගමකින් මනාලියන් දෙදෙනෙක් මේ මිතුරන් දෙදෙනාට ජෝඩු කරන්නේ ගමේ සිටි අන්දිරිස් කපු මහතා විසිනි. අන්දිරිස් කපු මහතාගේ අනේක විද වර්ණනාවන් අනුව මනාලියන් බලන්නට ගිය සුමිතුරෝ ද විවාහයට කැමැත්තක් දැක්වූහ.

එකම මාසයක එකිනෙකට ආසන්න දින දෙකක දී විවාහ දෙක සිදු කෙරිණි. සිය බිරින්දෑවරු කැන්දාගෙන ඒමට පෙර මේ දෙදෙනාම සිය මව්පියන් සිටි නිවස ආසන්නයේ නව නිවෙස් ඉදිකර තිබිණි. මුළු ගම ම මගුල් සිරියෙන් ඇළලී ගියේය.

කාලය ක්‍රමයෙන් ඉගිල ගියේය. දයාසිරි හා ගුණපාල මෙන් ම ඔවුන් දෙදෙනා කැන්දාගෙන ආ මනාලියෝ ද කුඩාකළ පටන් මිතුරියන් වීම ඔවුන්ගේ මිතුදම තවත් වර්ධනය කරන්නට හේතුවක් වී තිබිණි.

වසර කිහිපයක් ගත වි ගියේය. ගුණපාල දියණියකගේ හා පුතකුගේ පියකු වුව ද දයාසිරිට දරුවන් සිටියේ නැත. දරුවන් නැති වුව ද ඔහුට එහි වෙනසක් නොවූයේ ගුණපාලගේ පුතා සහ දියණිය තම දරුවන් සේ සැලකීම හේතුවෙනි. ගුණපාලගේ දියණිය වැඩිවියට පත්ව තරුණ වියට පත්වෙද්දී ඇය රූප සොබාවෙන් කාගේත් නෙත් සිත් පැහැරගන්නා යුවතියක වූවාය. මේ අතර ගුණපාලගේ බිරිඳත් දයාසිරිගේ බිරිදත් අපූරු අදහසක් ගෙන ආවේය. ඒ වසර දෙක තුනකට ඔවුන් දෙදෙනා විදේශගත වීමයි.

හේන් ගොවිතැනෙන් ලබන ආදායම හොද නිවෙසක් තනා ගැනීමට ප්‍රමාණවත් නොවීමත් දැන් දියණිය හා පුතණුවන් උස් මහත්ව සිටින බැවින් පවුල් බරක් නොමැති වීමත් ඒ දෙදෙනා විදෙස් ගතවීමට සුදුසුකම් කරගෙන තිබිණි.

අකමැත්තෙන් වුව ද දයාසිරි හා ගුණපාල ඔවුන් දෙදෙනාට කැමැත්ත දුන්හ. දෙදෙනාම විදේශගත වූයේ මහත් බලාපොරොත්තු‍ පොදි බැද ගනිමිනි.

මිතුරන් දෙදෙනා දිගටම හේන් ගොවිතැනේ නිරත වූහ. සිය මවත් පියාත් නිවසේ සිටින බැවින් ගුණපාලට දියණිය නිවසේ නවතා හේනට යාම ගැටළුවක් වූයේ නැත. ඇය සිය මිත්තණිය සමග නිවසේ සිටියි. බිරින්දෑවරු ද නිවසේ නොමැති බැවින් ගුණපාල හා දයාසිරි වැඩි දින ගණනක් හේනේ ගත කිරීමට පුරුදුව සිටියහ.

” ගෙදර ගියහම ගෑණි මතක් වෙනවා බං. උඹ ගිහින් දුව බලල වරෙන් මම ඉන්නම් ” ඇතැම් දින වලදී එසේ කියන දයාසිරි පැලේ තනිව සිටියි. දිනක් දෙදෙනාම නිවෙස් වලට ගියහ. සවස කඩයට ගිය ගුණපාල යළි නිවසට එද්දී දුටුවේ දයාසිරි තම නිවසේ එළිපත්තේ වාඩි වී සිටින දියණිය අසළට වී ඇගේ හිස අතගාමින් සිටින බවයි.

” උඹේ දූ හරිම ලස්සනයි බං. හිරිම සීදේවි කෙල්ල. ” දයාසිරි නිතර නිතර සිය දියණියගේ රුව වර්ණනා කරන අයුරු ගුණපාලට එකවරම මතක් වූයේය. ඒ යම් සැකයක් ද සමගිනි. දියණිය දයාසිරි සමග සිනාසෙමින් සිටින ආකාරය ඔහුගේ මේ සැකය තවත් වර්ධනය කළේය.

එදිනම රාත්‍රී ගුණපාල හේනට නොයන බවත් දයාසිරිට යන ලෙසත් කීවේය. දයාසිරි ඉක්මණින් හේනට ගියේය. ගුණපාල ද පසුව හේනට ගියේ දයාසිරි පුදුමයට පත්කරමිනි.

” ඇයි බං මම ගෙදර නවතිනවා කියල හිතාගෙන ඉදිද්දී උඹනෙ කිව්වේ අද එන්න බෑ කියලා. දැන් අපි දෙන්නම පැලේ ” දයාසිරි ගුණපාලගේ පැමිණීමත් සමගම ඒසේ කීවේය.

” මම දන්නව උඹ අද ගෙදර නවතින්න හැදුවේ මගේ කෙල්ලව අමාරුවේ දාන්න ” ගුණපාල පැවසුවේ තරහින් ගැහෙමිනි.

” පිස්සුද උඹට, ඒකි උඹේ උනාට මගේ කෙල්ලෙක් වගේ ” දයාසිරි එසේ කියද්දී දෙදෙනා අතර ඇතිවූයේ බහින් බස්වීමකි.

පසු දා දයාසිරි නිවසට ආවේ නැත. ගුණපාල ද දින කිහිපයකට පසු නිවසට පැමිණිය ද වෙනදා මෙන් කතා බහක් නැත. දින කිහිපයක් ගෙවී ගියේය. දයාසිරි හේනට නොපැමිණි බවත් කොහේ හෝ යන්නට ඇති බවත් ගුණපාල දයාසිරිගේ නිවැසියන් සමග කීවේය. ඔහුගේ චර්යාවේ වෙනසක් තිබුණ ද ඒ ගැන කිසිවෙකුටත් සැක කරන්නට හේතුවක් තිබුණේ නැත.

දින සති මාස බවට පෙරළී ගිය ද දයාසිරි පැමිණියේ නැත. ඥාතීන්, ගැමියන් හා පොලීසිය ද දයාසිරි  ගැන සොයා බැලුව ද ඔහු ආගිය අතක් ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැත. මේ අතර ගුණපාල හේන පාළුවන්නට ඉඩ තබා වගා කටයුතු නවතා දැමුවේය. ඔහු බීමට ඇබ්බැහි වූයේ නිරායාසයෙනි.

ගුණපාලගේ හා දයාසිරිගේ හේන තිබූ ආසන්නයේ වෙනත් අයෙකු විසින් තවත් හේනකට වනය එළි පෙහෙළි කරන්නට ගිය අයෙක් දිනක් හදිසියේම අස්ථි කැබලි කිහිපයක් දැක තිබිණි. ඔහු ඒ බව ගමේ ග්‍රාම නිලධාරී මහතාට කීවේය. ග්‍රාම නිලධාරී මහතා ඒ ගැන පොලීසියට කීවෙන් පොලීසිය එහි පැමිණ සෝදිසි කළේය.

නොගැඹුරු වළක වළ දමා තිබූ මිනිස් සිරුරක දිරාපත්වෙමින් තිබූ අස්ථි කොටස් ගොඩගැනීමට ගත වූයේ පැය දෙක තුනක් පමණි. මේ ආසන්නම හේනේ හිමිකරුවා වූ ගුණපාල දයාසිරිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොසිටිය ද පොලීසිය ඔහු ගැන බලවත් සැකයකින් පසුවූවේය. ඇට සැකිල්ල ගොඩගන්නවාත් සමගම පසෙක සිටි ගුණපාලත් අත්අඩංගුවට ගැණිනි.

ගුණපාලගෙන් ප්‍රශ්නකිරීම් ආරම්භවීමටත් පෙර අස්ථිකොටස් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කැරිණි. ඒවා පරීක්ෂාකළ රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා කියා සිටියේ එම අස්ථි කොටස් හොදින් වැඩුණු පිරිමි පුද්ගලයකුගේ අස්ථි පද්ධතියක් බවයි. වැඩි දුර පරීක්ෂණ කරමින් වෛද්‍යවරයා එම අස්ථි හිමි තැනැත්තාගේ උස සහ වයස පිළිබදව ද පොලීසියට අනුමානයක් ලබා දුන්නේය. ඒ සියලු තොරතුරු අතුරුදන්ව සිටි දයාසිරි හා මනාව ගැලපිණි.

” සිරුර හමුවන අවස්ථාවේ තිබුණේ අස්ථි කොටස් පමණයි. අත් සහ පාද අස්ථි වල නොගැඹුරු කැපුම් තුවාල දක්නට ලැබුණා. හිසේ තුවාල තිබුණේ නැහැ. මේ පුද්ගලයාගේ හිස් කබල පරීක්ෂා කිරීමෙන් පැහැදිලිව පෙනී ගියා මොට ආයුධයකින් තදබල පහරක් හිසට වැදීම නිසා ඔහු මියගොස් ඇති බව. මෙවැනි මරණයක් සිදුවන්නේ පහර වැදීම හේතුවෙන් මොළයේ ආවරණයට රුධිරය ගලා යාම නිසා. මේ වගේ අවස්ථාවක දී මේ පුද්ගලයා මරණයට පත්නොවී බේරාගත හැකියි. එවැනි විටෙක හිසේ ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් මොළයේ ආවරණයේ පිරී ඇති රුධිරය ඉවත් කළ යුතුයි. එසේ කළ නොහැකි වුවහොත් මේ තැනැත්තා මරණයට පත්වනවා. “

වෛද්‍ය පෙරේරාගේ මතය වූයේ ගුණපාල යම් හේතුවක් නිසා දයාසිරිට පොල්ලකින් පහර දෙන්නට ඇති බවයි. ඒ පහර දීම හේතුවෙන් සිහි මුර්ජාවී ඇද වැටුණු දයාසිරි මිය යන්නට ඇතැයි සිතා ඔහුගේ සිරුර එකම ස්ථානයේ තිබෙන්නට ඇති බවත් පසුව තනියම වළක් කපා වළ දමන්නට ඇති බවත් වෛද්‍යවරයාගේ නිගමනය විය.

පෙරේරා මහතා ඒ බව සනාථ කළ හැකි තවත් සාධක ඉදිරිපත් කළේය.

මේ අස්ථි පද්ධතියේ අත් පා වල නොගැඹුරු කැපුම් තුවාල දක්නට ලැබුණා. ඒවා සිදුව ඇත්තේ මියයාමෙන් පසුව කාඨින්‍යය හේතුවෙන් සිරුර දරදඩු වූ පසු වළ දැමීමට ගත් උත්සාහයේ දී විය යුතුයි. ඝාතකයා තමන් විසින්ම හෑරූ කුඩා නොගැඹුරු වළකට මේ සිරුර දැමීමේ දී නැවීම සඳහා එහි අත් පා මේ ආකාරයට කපා තිබෙනවා. “

වෛද්‍යවරයා පවසන්නේ කෙනෙකු මියගොස් පැය දහයක් හෝ දොළහක් පමණ ගතවන විට මළ සිරුර දරදඩු වීම හෙවත් කාඨින්‍යය සිදුවීම සම්පූර්ණ වන බවයි. මේ සිදුවිමේදී පහරදීමෙන් සිහිනැතිවූ දයාසිරි පැ කිහිපයක් ගතවන තුරු මියයන්නට නැති බවත් වෛද්‍යවරයාගේ මතයයි. පැය කිහිපයකට පසු මියගිය ඔහු පසුදා උදෑසන වළදමා ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

වෛද්‍යවරයා පැවසූ තොරතුරු අනුව ගුණපාලගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කැරිණි.

” දුව දයාසිරි එක්ක හිනාවෙමින් ඉන්නවා දැක්ක වෙලාවේ මට දයාසිරි ගැන සැකයක් ඇතිවුණා. මම ඒ ගැන අහපු වෙලාවේ අපි හොදටම බැන ගත්තා. පැලේ තිබුණු පොල්ලක් අරගෙන මම දයාසිරිගේ ඔළුවට ගැහුවා. ඒ වෙලාවේ වැටුණා. එළිවෙනකන් ම දයාසිරි බිම වැටිලා හිටියේ. උදේ බලන කොට එයාගේ අතපය දරදඩු වෙලා මැරිලා. මම හේනේ කෙළවරේ තිබුණු කැලෑ කෑල්ලේ වළක් කපලා වළ දැම්මා. කවුරුවත් දැක්කේ නැහැ. අතපය දරදඩු වෙලා නිසා වළට දාන්න බැර වුනා. මම මන්න පිහියෙන් අත පය තැන තැනින් කපලා තමයි එයාව වළට දැම්මේ. පස්සේ දයාසිරිගේ ඇදුම් කිහිපයකුයි පිහියයි ඇළට විසිකළා. “

ගුණපාල අවසානයේ තම කළණ මිතුරා මරා දැමූ ආකාරය විස්තර කළේ ඒ ආකාරයෙනි.

(මෙහි එන සියලු නම් ගම් මනංකල්පිත බව සළකන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!