spot_img
spot_imgspot_img

නිරුවතින් මුහුදේ කිමිදී දිවි රැකගන්නා කාන්තාවෝ

පුවත්

විදෙස්

මුහුදු පත්ලේ මසුන් හා වෙනත් සම්පත් රැස්කිරීමට අතීතයේ භාවිතා කළ ක්‍රමයක් වූයේ හැකිතරම් හුස්ම අල්ලාගෙන හැකිතාක් කල් කිමිදීමයි. එය ඉතා අසීරු සහ භයානක කර්යයක් වුණා. මෙලෙස හුස්ම අල්ලාගෙන දිය යට ගත කළ හැකි කාලයේ දී එකතුකරගන්නා දේ රැගෙන මතුපිටට එනවා.

අද මෙන් අතීතයේ කිමිදුම් උපකරණ හා ක්‍රම භිවිතා නොවූ කාලක සිදුකළ මේ ක්‍රියාව දැන් යල් පැන ගිය ක්‍රමයක් බවට පත්වෙලා. මෙවැනි දෙයක් දැන් ඉඳහිට හෝ කරන්නේ කෙනෙකුගේ දක්ෂතාව සහ හැකියාව මැන බැලීමට පමණයි.

නමුත් තවමත් මේ සම්ප්‍රදායික ක්‍රමය සිදුකරන ජනන කොට්ඨාසයක් ලොව ජීවත් වෙනවා.

”අමා” යනු එවැනි අපූරු ජීවන ක්‍රමයක් සහිත කණ්ඩායමක්.

අමා යන ජපන් වචනයේ තේරුම් මුහුදු කාන්තාවන් යන්නයි. මුහුදු පත්ලේ ඇති පැලෑටි, බෙල්ලන්, මුහුදු ඉකිරියන් සහ මුතු එකතු කරමින් සාගරය ආශ්‍රිතව දිවි ගෙවනන මේ කාන්තාවන් ඉතා නිදහසේ මුහුදේ කිමිදෙනවා.

තමන්ගේ ඉන වටා ඇඳ සිටින කුඩා රෙදි කඩක් හැර වෙනත් ඇඳුමක් නොහඳින උඩුකය නිරුවතින් සිටින මේ නිර්භීත කාන්තාවන් එක් කිමිදුමක දී තත්ත්පර හැටක් එනම් විනාඩියකට වැඩි කාලයක් හුස්ම අල්ලාගෙන සීතල සාගරයේ අඩි 40ක් පමණ නිදහසේ කිමිදෙන්නේ දිය කිඳුරියන් සිහි ගන්වමින්.

ඔවුන්ගේ මෙම ජීවන ක්‍රමය අඩුම ගණනේ අවුරුදු 2,000ක් තරම් ඈතට දිවයන බව සමාජ විද්‍යාඥයන් පවසනවා.

ජපානයේ හියාන් රාජ්‍ය පාලන යුගයේ දී (ක්‍රිස්තු වර්ෂ 794 සිට 1185 දක්වා) ”අමා” කාන්තාවන් කිමිදෙමින් ජපානයේ සිද්ධස්ථාන හා අධිරාජ්‍යයා වෙත ඇබලෝන් නමැති බෙල්ලන් සැපයූ බවත් ඊට අධිරාජ්‍යයාගෙන් ගෞරව පවා හිමිවූ බව ජපන් ඉතිහාසයේ සඳහන් වෙනවා.

කාන්තා සිරුරේ පිරිමි සිරුරේ මේදයට වඩා වැඩි මේද ප්‍රමාණයක් තිබීම නිසා සීතල ජලයට ඔරොත්තු දීමේ හැකියාවක් කාන්තාවන් සතුවීම එම ජන කොට්ඨාසයේ කාන්තාවන් පමණක් මේ ආකාරයනේ මුහුදු පත්ලේ කිමිදීමේ යෙදීමට හේතුවක් වන්නට ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.

ජලයේ චලනය පහසු කිරීම සඳහා ඉඟටිය දක්වා වූ කෙටි රෙදි කඩක් සහ හිසකෙස් ආවරණයක් පමණක් පැළඳ ඔවුන් කිමිදීමේ යෙදෙනවා. ඉන වටා කඹයක් බැඳ බෝට්ටුවකට සම්බන්ධ වී දියට පනිනවා. දිය යට කිමිදී තමන්ට අවශ්‍ය දෑ ඉක්මණින් එකතුකරගන්නා මේ කාන්තාවන් තම කාලය අවසන් වූ වහාම උඩට පැමිණීමට අවශ්‍ය බව බෝට්ටුවේ සිටින තම සහායිකාවට කඹය ඇද සංඥා කරනවා. මුහුදු පත්ලේ කිමිදී සිටින කාන්තාව ඉහළට ඇද ගන්නේ බෝට්ටුවේ සිටින සහායිකාව විසින්.

මේ සම්ප්‍රදායික කිමිදීම ජපානයේ වෙරළබඩ ඇතැම් ප්‍රදේශවල දක්නට හැකි වුණත් අද වනවිට ඔවුන් බෙහෝ දෙනකු වෙනස් වෙලා. අමා කාන්තාවන් දැන් ඔවුන්ගේ නිරුවත්ව තිබූ උඩුකය සිනිදු සුදු රෙදි කඩකින් ආවරණය කරන්න පුරුදු වෙලා. තවත් සමහරු දිය යට කිමිදීමට සුදුසු කළු පැහැති නවීන ඇඳුම් අඳිනවා.

අමා කාන්තාවන් දිනයේ අවස්ථා කිහිපයක් ම දියට බසිනවා. දිනකට පැය දෙකක් පමණ දිය යට කිමිදීමට ගත කරන ඔවුන් එකිනෙකා හා මාරු වෙමින් මේ කාර්යයේ යෙදෙනවා.

මේ සම්ප්‍රදායකි ජන ජීවිතය ගත කරන ඔවුන්ට ජපානය වර්තමානය වනවිට ධීවර රෙගුලාසි පනවා තිබෙනවා. ඒ රෙගුලාසිවලට අනුව ඔවුන්ට දිනකට පැය 4කට වඩා වැඩි කාලයක් මේ කාර්යයේ නිරතවීමට අවසරයක් නැහැ.

නමුත් අතීතයේ අමා කිමිදුම්කාරියන් දිනකට පැය 6-8ත් පමණ මේ කාර්යයේ නිරතවී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ බොහෝ කිමිදුම් කාරියන් මහලු විය දක්වාම තම ජීවනෝපායේ යෙදෙනවා. වයස අවුරුදු 70-80 අතර සිටියත් තම වෘත්තිය අත් නොහැර දිගටම කරගෙන යන අමා කිමිදුම්කරුවන් සොයා ගැනීම අදටත් ජපානයේ අසීරු දෙයක් නොවෙයි.

අමා පවුල්වල උපත ලබන ගැහැනු ළමයින් සිය මිත්තනිය, මව, සහෝදරියන් සමග කිමිදුම් පුහුණුවීම් ආරම්භ කරන්නේ  

ඉපදී වසර කිහිපයකින්. ඔවුන් වයස අවුරුදු 14 දී පමණ ඉතා දක්ෂ කිමිදුම් කාරියන් බවට පත්වෙනවා.

ජපානය පුරා අමා කාන්තාවන් දහස් ගණනක් සිටිය ද වත්මන් පරපුර සිය මව්වරුන්ගේ මේ වෙහෛසකර වෘත්තියෙන් ක්‍රමයෙන් ඈත්වෙමින් සිටින නිසා ඔවුන්ගේ සංඛ්‍යාව දැන් දැන් සීඝ්‍රයෙන් අඩුවෙමින් තිබෙනවා. 2010 වර්ෂයේ ජපානයේ කරන ලද සමීක්ෂණයකට අනුව ඒ වනවිට ජපානයේ ඉතිරිව සිටියේ අමා කිමිදුම් කාරියන් ‍2,000ක පමණ පිරිසක්. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ජීවත් වන්නේ ටෝබෝ සහ ෂිමා අවට මයි ප්‍රාන්තයේය.

https://en.wikipedia.org/wiki/Ama_(diving)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!