spot_img
spot_imgspot_img

මිනිසුන්ට අනුමත නොකළ බලු බෙහෙතක් ගෙන්වීමට නියමිත ක්‍රමවේදයෙන් තොරව රජය අවසර දෙයි

පුවත්

විදෙස්

ඔබ, හර‍කෙක් හෝ බල්ලෙකු නම් පමණක් පානය කරන ලෙසත් මිනිසකුනම් භාවිතයට නොගන්නා ලෙසත් ඇමෙරිකාවේ Food and Drug Administration (FDA)  ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති සත්තව පණු බෙහෙතක් කොරෝනා ආසාදිතයන් සදහා ලබාදීම සදහා ගෙන්වීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා අදාල අවසරය සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව (Approval for waiver of Pharmaceuticals registration) පුද්ගලික සමාගමක් වෙත පසුගිය අගෝස්තු 17 වැනි දා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දී ඇත.

හරක්, අශ්වන්, බල්ලන් වැනි විශාල ක්ෂීරපායී සතුන්ගේ පණු රෝග සදහා දශක ගණනාවක් ලෝකය පුරා භාවිතා කළ මෙම ඖෂධය මිනිසුන් සඳහා ලබාදීමට අනුමත කර නැත. එසේ වුව ද ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල පසුගිය මාස කිහිපයේ ඇතිවූ කොරෝනා දැඩි වසංගත තත්වයත් සමඟ ඇතැම් පුද්ගලයන් කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව මේ ඖෂධ්‍ය පානය කළ අතර එමගින් කොරෝනා සුවවන බවට මතයක් ද සමාජය පුරා ප්‍රචලිතව පැවතිණි.

නමුත් කොරෝනා ආසදනය වන පුද්ගලයන්ගෙන් මියයන්නේ 2%ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් බවත් අනෙකුත් 98%ක් කිසිදු බාහිර ඖෂධයක් නොමැතිව සිරුරේ ඇතිවන ප්‍රතිශක්තියෙන් සුවවන බවත් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. එය පර්යේෂණ මගින් ද තහවුරු කරගෙන තිබේ. මියයන 2%කට ආසන්න සුළු පිරිස අතරින් ද අතිශය බහුතරයක් වෙනත් නිදන්ගත රෝග සහ අතුරු ආබාධ ඇති අය බවත් කොරෝනා ආසාදනය සමඟ එවැනි රෝග සහ ආබාධ උත්සන්නවීමෙන් මරණ සිදුවන බවත් තහවුරු කරගෙන ඇත.

දැනට හදිසි අවශ්‍යතාවක් ලෙස සළකා ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති මෙම සත්ව ඖෂධය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් මතු වූ විශ්වාසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ කළමනාකරණ ආයතන එම ඖෂධය කොරෝනා වැළැක්වීමට සමත්වන්නේ ද යන්න සොයා ගැනීමට අදාල සායනික පරීක්ෂණ පැවැත්වීම පමණක් අවසර දී තිබේ.

නමුත් ඔවුන් පවසන්නේ ඔබ හරකෙක් ‍හෝ බල්ලෙක් හෝ නොවන්නේ නම් සායනික පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු සහ එම ඖෂධය මානවයා සඳහා භාවිතා කිරීමෙන් කොරෝනා පාලනය කළ හැකි බවට විද්‍යාත්මකව තහවුරු කරනතුරු එම ඖෂධ්‍ය කිසිසේත්ම භාවිතා නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය සිදුකර ඇත්තේ තවමත් සායනික පරීක්ෂණවලින් තහවුරු කර නැති ඖෂධයක් මෙරටට ගෙන්වීම සඳහා පුද්ගලික සමාගමකට අවසර ලබාදීමයි.

පසුගිය කාලයේ මෙම ඖෂධය සමබන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ල උපුටා දක්වමින් ජාතික පුවත්පතක ද එ් පිළිබද පුවතක් පළ වී තිබිණි.

ඖෂධ නියාමන අධිකාරිය මෙම අනුමැතිය දී ඇත්තේ අගෝස්තු මස 17 වැනින දින දීය. නමුත් ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ ආයතනය මේ ඖෂධය ගැන අගෝස්තු 21 දින twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ “ඔබ අශ්වයෙක්, එළදෙනක් නෙවෙයි. සීරියස්ලි නවත්තපල්ලා ඕක” යනුවෙනි.

එම twitter පණිවිඩය

මේ ප්‍රචාරයන් සමඟ එම ඖෂධ පෙති සඳහා විශාල ඉල්ලුමක් රට තුළ නිර්මාණය වී තිබේ.

බල්ලන් සහ හරක් සඳහා රුපිියල් 100.00කට අළෙවි වූ පෙත්තක් මේ වනවිට මිනිසුන් සදහා අළෙවි කරන්නේ රුපියල් 5000.00 වැනි අධික මුදලකටය. සතුන් සඳහා ගෙන්වූ එම පෙති 1000ක් පමණ රටට මාසයකට අව්‍ය වුව ද දැන් එහි ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇත.

එවැනි තත්වයක් තුළ ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධයේ පැකට් 10,000ක් ගෙන්වීමට අවසර ලබා දී තිබේ. එක් පැකට්ටුවක් පෙති 100ක් ඇති බැවින් ගෙන්වන පෙති ප්‍රමාණය ලක්ෂ 10කි.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ලගෙන් ඇසූ විට ඔහු කියා සිටින්නේ සායනික පරීක්ෂණ සිදුකර මේ ඖෂධය අනුමත කරන තුරු සිටිය නොහැකි බවයි. ඉන්දියාව වැනි රටවල මේ පෙති පානය කර කොරෝනා සුවපත් වූ බව ද ඔහු පවසයි. කිසිවක් පානය නොකරන 98% ක් කොරෝනා සෑදී සුවය ලබන බව පශු වෛද්‍ය මහාචාර්යවරයා අමතක වූවා විය හැකිය.

මේ ඖෂධය තවමත් මිනිසුන් සඳහා ලබාදීමට අනුමත කර ඇත්තේ සායනික පරීක්ෂණවල දී පමණක් යැයි මහාචාර්ය දංගොල්ල හා අප පැවසූ විට ඔහු මෙසේ කීවේය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකාව වැනි රටවල් කවදාවත් හොඳටම සායනික පරීක්ෂණවලින් සනාථ වෙනකම් කිසිම දෙයක් මිනිසුන්ට ලබාදෙන්න කියලා නිර්දේශ කරන්නේ නැහැ. මේකට සායනික පරීක්ෂණ කරලා නැහැ. නමුත් මේක හරි.”

මෙම ඖෂධය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට කියා සිටියේ එය මෙතෙක් ශ්‍රී ලාංකීය ජනතාව සඳහා ලබාදීමට ගෙන්වා නැති බවයි. නමුත් අද (31) වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ එය ගෙන්වීමට පුද්ගලික ආයතනයකට අවසර දුන් ලිපියක් දක්වා තිබේ.

ඇමරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ ආයතනය විසින් පළකර ඇති ලිපිය

https://www.fda.gov/consumers/consumer-updates/why-you-should-not-use-ivermectin-treat-or-prevent-covid-19

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළකර ඇති ලිපිය

https://www.who.int/news-room/feature-stories/detail/who-advises-that-ivermectin-only-be-used-to-treat-covid-19-within-clinical-trials

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!