spot_img
spot_imgspot_img

වයිරසයට වෛර නොකරන්න. වයිරස් නැත්නම් මිනිසුන් නෑ

පුවත්

විදෙස්

වයිරස් ගැන මතක් කළ පමණින් සැමට ඇතිවන්නේ තැති ගැන්මකි. කොරෝනා වසංගතය හේතුවෙන් එය තවත් වැඩි වී ඇත. 

වයිරස් කිසිවකට ඔබ කැමති නැත. මිනිසාට වයිරස් ඒ තරමටම තර්ජනයක් වී ඇත. කොයි මොහොතේ වයිරසයක් තමන්ට මරණය කැඳවනු ඇත්දැයි බිය වන තරමට වයිරස් ගැන ඇත්තේ අමිහිරි අත්දැකීම්ය.

නමුත් වයිරස් නොතිබෙන්නට අපේ පැවැත්මක් නැති බවත්, ලෝකය මේ තරම් සුන්දර නොවනු ඇති බවත් පැවසූ විට ඔබ පුදුම වනු නොඅනුමානය.

වයිරස් මේ පෘථිවියේ ජීවයේ අඛණ්ඩ පැවැත්මට අත්‍යාවශ්‍ය වන අතරම වයිරස් නොතිබෙන්නට පෘථිවිය මේ ආකාරයට ජීවයෙන් සමන්විත වන්නේ ද නැත. වයිරස් කිහිපයක් අපට මාරාන්තික වුව ද වයිරස් පෘථිවියට කරන මෙහෙය අතිශය සංකීර්ණය.

පෘථිවිය වයිරස් නැති තැනක් නම්

ජලභීතිකා ඇතිකරන වයිරසය හදිසියේ ම නැතිවී යනු ඇත. පෝලියෝ ඇතිකරන වයිරස, ඉතාමත් භයානක මාරාන්තික ඉබෝලා වයිරසය, සරම්ප වයිරසය, මැම්පස් වයිරසය සහ විවිධ උණවර්ග සියල්ල එවිට නැතිව යනු ඇත. මරණ සංඛ්‍යාව වේගයෙන් පහළ යනු ඇත.

එච්අයිවී වයිරසය නැතිවී ඒඩ්ස් ව්‍යසනය යළි කිසි දිනක ඇති නොවනු ඇත. ඩෙංගු තුරන්ව යනු ඇත. සෑඹ වසරකම සිය දහස් ගණනක් මියයන සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ට ආරක්ෂාව තහවුරු වනු ඇත. සිකා වයිරසය නැති වී යයි. කහ උණ වයිරසයත්, ඇතැම් වඳුරන් විසින් මිනිසුන් අතරට ගෙන ආ හර්පීස් බී වැනි රෝග නැතිව යනු ඇත. පැපොල රෝගය, හෙපටයිටිස්, ෂින්ගල්ස් හෝ සෙම්ප්‍රතිශ්‍යාවත් නැතිව යනු ඇත.

වසූරිය ඇතිකරන වේරියෝලා වයිරසය 1977 වනවිර ලෝකයෙන් තුරන් කළ ද දැනට අධි ශීතකරණයක ගබඩා කර ඇති එහි සාම්පල ද අතුරුදන් වනු ඇත.

සාර්ස් රෝගය ඇතිකළ වයිරසයත් වර්තමානයේ ලෝකයම පීඩාවට පත්ව ඇති SAES_CoV-2 වයිරසය නිසා හටගන්නා කොවිඩ් 19 රෝගයත් තුරන්ව යනු ඇත.

එසේ නම් වයිරස ලෝකයෙන් තුරන් වූ විට ඔබට සිදුවන්නේ යහපතක් ද ?

නැත.

වයිරසවලින් පිරී ඉතිරී ගිය ලෝකය

සැබැවින්ම අප ජීවත්වන්නේ වයිරස්වලට අයත් ලෝකයක යැයි කිවහොත් එය වඩාත් නිවැරදිය.

අපේ සම මතුපිට පමණක් නොව, අවට ඇති සෑම දෙයක් මත ද , මහා වනාන්තරයේ ද , මහා සමුදුරේ ද , පාළු කාන්තාරයේ ද , වයිරස් ඇත.

විද්‍යාඥයන් පවසන්නේ ඒවා ගැනිය නොහැකි තරම් ප්‍රමාණක් ඇති බවයි. එය අප දැනට දන්නා විශ්වයේ පරිමාවේ ඇති සියලුම ග්‍රහ තාරකා ප්‍රමාණයට වඩා විශාල විය හැකිය.

ක්ෂීරපායීන්ට අවම වශයෙන් වයිරස් විශේෂ 320,000ක් වත් ගෙන යා හැකිය.

වයිරස මෙතරම් සුවිශාල ප්‍රමාණයකින් අපට හානි කරන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. අකේ වයිරස අපගේ මෙන්ම සමස්ත මිහිතලයේ ම පැවැත්මට සුවිශේෂී මෙහෙවරක් කරයි. කර තිබේ.

අපට පිරිසිදු ජලය ලැබෙන්නේ ද වයිරස නිසා බව විද්‍යාඥයන් තහවුරු කර තිබේ. ජලයේ ජීවත්වන බැක්ටීරියා භක්ෂක වයිරස බැක්ටීරියා විනාශ කළ ද අන් කිසිම තැනකට හානි කරන්නේ නැත. බැක්ටීරියා සමග ජලය බීමට නොහැකි අපට ජලය ස්වභාවිකව පිරිසිදු කර දෙන්නේ එවැනි වයිරස මගිනි. ඒ අනුව වයිරස නොතිබෙන්නට අපට පිරිසිදු ජලය ලැබෙන්නේ නැත. එවිට අපේ පැවැත්ම අභියෝගයට ලක්වේ.

මුහුදු පත්ලේ කොරල්පර ඇතුළු ජෛව විවිධත්වයෙන් පිරිපුන් පරිසර පද්ධතීන් සියල්ල ආරක්ෂා කරන්නේ වයිරස විසිනි. බැක්ටීරියා භක්ෂක වයිරස නොතිබෙන්නට මහ සමුදුරු මළ ස්ථානයක් වනු ඇත.

වයිරස් නොමැතිව අපට පැවැත්මක් නොමැති බව දැන් තහවුරු වී තිබේ. මිනිසුන්ගේ සහ අනෙකුත් සතුන්ගේ ජානවල ඇති ඩීඑන්ඒ ව්රධනයටත් දරුගැබක් ඇතිවීමට පමණක් නොව ජානවල මතක පරම්පරාවන් ගෙන යාමටත් වයිරසවලින් ඉටුවන සේවය අති විශාලය.

කළලයේ වර්ධනයට, ප්‍රතිශක්තීකරණ පද්ධතියේ නියාමනයට, පිළිකාවලට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීමට, කෙටියෙන්ම කියන්නේ නම් ලොක්යේ සියලු ජීවී පරිනාමයට  වයිරස් තීරණාත්මක මෙහෙවරයක් කර තිබේ.

වයිරසයක් යනු කුමක්ද ?

වයිරසයක් ජීවියකු නොවේ. එමෙන් ම ජීව ලෝකයේ කුඩාම ඒකකය වූ සෛලයක් ද නොවේ. සෛලයකට නම් ප්‍රෝටීන නිපදවීමට, ශක්තිය ඇතිකිරීමට, හැකියාව ඇත. බැක්ටීරියාව ද එවැනි සරල ආකාරයේ ජීවී සෛලයක් ලෙස විද්‍යාඥයෝ පිළිගනිති. නමුත් එවැනි ලක්ෂණ නොමැති බැවින් වයිරසයක් ‍ජීවී සෛලයක් ලෙස පිළිගන්නේ නැත.

ලෝකයේ සොයාගත් පළමු වයිරසය – https://pubmed.ncbi.nlm.nih.gov/11570281/#:~:text=Two%20scientists%20contributed%20to%20the,world%20was%20discovered%3A%20filterable%20pathogens.

මිනිසා විසින් වයිරසයක් ලොව මුල්වරට සොයාගත්තේ 1892 වර්ෂයේ දීය. දුම්කොළවලට වැළඳෙන රෝගයක් පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මොසෙයික් නමැති වයිරසය සොයාගෙන තිබේ. නමුත් එය අර්ථ දැක්වීමට නොහැකකි විය. 1898 දී එය හඳුන්වන ලද්දේ රෝග ඇතිකරන ශ්‍රාවයක් නැතිනම් දියරයක් ලෙසිනි. එය බෝවන රෝග කාරක බැක්ටීරියා විශේෂයක් බව ද විශ්වාසයක් විය.

“මම පරස්පර විරෝධී දෘෂ්ඨිකෝණයන් ආරක්ෂා කරමි” යනුවෙන් ප්‍රංශ ක්ෂද්‍රජීව විද්‍යාඥ ඇන්ඩ්‍රේ ලෝෆ් ලීවේය. “වයිරසය පිළිබඳ සංකල්පය” නමින් 1957 දී ප්‍රකාශයට පත්කරන ලද එම ලේඛනයේ වයිරස් නිර්වචනය කරනවාට වඩා එය විස්තර කිරීම පහසු බව කීවේය.

සෑම වයිරසයක්ම DNA හෝ RNA අණු ප්‍රෝටීනමය එක් අණුවකින් සමන්විත බව විද්‍යාඥයෝ විස්තර කළහ. සෑම අනුවක්ම ප්‍රෝටීන ආවරණයකින් යුක්ත බව ද ඇතැම් වට ඒ වටා තවත් පටලයක් ඇති බවත් වයිරසයකට ජීවී සෛලයක් තුලට ඇතුළු වී එහි ඇති ප්‍රෝටීන යාන්ත්‍රණය ඔස්සේ ගුණනය වීමට හැකිබවත් විස්තර කෙරිණි.

නමුත් පරිපෝෂිතයෙකි. ඇතැම්වට මෙය සහජීවනයකි. අන්‍යොන්‍ය වශයෙන් කිනෙකා මත යැපෙයි. එමගින් ධාරකයාට ද වාසියක් අත්වෙයි. මෙය සෑම අවස්ථාවකදී වාසි සහගත නොවන අතර සෑම අවස්ථාවක දී ම අවාසි සහගත ද නැත.

වයිරස සතුරකු ද ? මිතුරකු ද ?

එමෙන්ම එලෙස ඇතුළුවන වයිරස සෛලයට හානිකළ හැකි බව ද සෛලය තුළ නව වයිරස් අංශු නිපදවා ඒවා පිටතට ගෙන යන විට දාරක සෛලය සුන්බුන් ගොඩක් බවට පත්වන බවත් ඉන් රෝග හටගැනීම සිදුවන බවත් විද්‍යාඥයෝ තේරුම්ගත්හ.

මෙය ලෝකයේ කළ අපූරු සොයාගැනීමකි.

‍එලෙස රෝග ඇතිකරන වයිරසවලට අමතරව ඇතැම් වයිරස ආගන්තු සෛලයට හානියක් නොකර අක්‍රියව ඒ තුළ තිබෙන බවත් නැතිනම් වයිරසයේ අඩංගු DNA හෝ RNA එම සෛලයට ඇතුළ කරන බවත් එමගින් ජාන මිශ්‍රණ සැකසෙන බවත් තහවුරු කරගැනීමට විද්‍යාඥයෝ සමත්වූහ.

වයිරසවල උපත සිදුවූයේ කෙසේ ද ?

වයිරස ආරම්භය සිදුවන්නට ඇත්තේ වසර බිලියන 04ක් දක්වා අතීතයේ බව පිළිගැනීම වී ඇත. පෘථිවිය ආරම්භයේ දී තිබූ ආදි සූපයේ සිට ප්‍රාථමික අණු ද සරල කාබනික සංයේග ද මුලින් ම ඇති වූ අතර පසුව RNA වැනි දීර්ඝ අණු ඇති වී තිබේ.

මේ අණු හෙවත් පළමු ගෙනෝම නැවත පිටපත් සාදමින්, විකෘත් ඇතිකරමින්, වෙනස් වෙමින් පරිණාමය වීම පටන්ගත් පසු ඩාවින් විස්තර කර ඇති ස්වභාවික වරණය ක්‍රියාත්මක වීම ඇරඹෙන්නට ඇත.

තරඟකාරීත්වයට මුහුණ දීමට මේවායේ පටල සහ බිත්ති තුළ ආරක්ෂාවක් අතිවන ආකාරයට නිර්මාණය වන්නට ඇත. මෙය මුල් සෛලවල ආරම්භයයි

මේවා කණ්ඩනය වී අලුත් පරම්පරා සෑදීම සිදුවන්නට ඇත. මෙලෙස හටගත් සෛලමය ජීවය බැක්ටීරියා හා ආකියා ලෙස හැඳින්වෙන ප්‍රධාන රාජධානි දෙකක් ලෙස වර්ධනය වී තිබේ.

යුකාරියා ලෙසින් හැඳින්වෙන වඩා සංකීර්ණ සෛල ව්‍යුහයන් සහිත කණ්ඩායම ඉන් පසුකාලීනව වර්ධනය වූ අතර අප ඇතුළු සියලු ම සතුන් ද, ශාක ද, දිලීර වර්ග ද, සමහර ක්ෂුද්‍රජීවී වර්ග ද මේ කොටසට අයත් වෙයි.

වයිරස අයත් වන්නේ මින් කුමන කොටසකට ද ? ඔවුන් හතරවැනි විශාල කණ්ඩායමක් ද ? නැතිනම් ඔවුන් වෙනත් තැනක සිට පැමිණි ආගන්තුක පරපෝෂීතයෙක් ද ? මේ ජීවී ගසේ කොතැනක හෝ තැබිය නොහැකි. එබැවින් වයිරස පැමිණියේ කොතනින්ද යන්න පිළිබඳ තවමත් ඇත්තේ ගැටලුවකි.

වයිරසවල ආරම්භය පිළිබඳ ප්‍රධාන කල්පිතයන් තුනක් විද්‍යාඥයන් සතු ව ඇත.

ඉන් පළමුවැන්න වයිරස ආදි කල්පිත සූපයෙන් සෘජුව පැන නැගුණා ව දෙයක් බවයි. එය සෛල ඇතිවීමට පෙර ඇති වූ වක් බවට ඇති මතයයි.

දෙවැන්න සෛල බිහි වූ පසු ඒවායෙන් පිටතට කාන්දු වූ ජාන හෝ ගෙනෝම ප්‍රෝටීන කවච සකසාගනිමින් වෛරස බිහිවී ඇති බවයි.

තුන්වැන්න ඇතැම් සෛල තරඟකාරීත්වය හා පීඩනය යටතේ පැවැත්මට අත්‍යාවශය දේ හැර අනෙක් කොටස් ඉවත්කරීම මගින් ප්‍රමාණයෙන් කුඩා තවත් සරල යාන්ත්‍රණයක් ලැබී ඇති බවයි.  

යෝධ වයිරස සොයාගැනීමත් සමඟ සිදුවූ පෙරැළිය

2003 වසරේ දී සිදු වූ අලුත් ම සොයාගැනීක් සමඟ විද්‍යාඥයන්ගේ මතය තුන්වැනි කල්පිතය දෙසට වැඩි වශයෙන් යොමු වන්නට විය.

එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් Bradford හි සිසිලන කුළුණකින් ලබාගත් ජලයේ තිබී අද්භූත සෛල වර්ගයක් දක්නට ලැබිණි. සාමාන්‍ය අන්වීක්ෂයකින් දැකගත හැකි තරම් විශාල මේවා වයිරස වර්ගයක් බව දැන විද්‍යාඥයේා මවිත වූහ. ඒවා බැක්ටීරියා වැනිය. නමුත් එතෙක් විද්‍යාඥයන් දැන සිටියේ ඉ‍ලෙක්ට්‍රොනික අන්වීක්ෂ මගින් දැකිය හැකි වයිරස පමණි. මේවා බැක්ටීරියා විශේෂයක් යැයි සිතාා බැක්ටීරියා ජාන හඳුනාගැනීමට උත්සාහ ගත්ත ද නොහැකි විය. අවසානයේ ස්ථිරි වූයේ හමුවී ඇත්තේ විශාල වයිරස බවයි.

ප්‍රංශයේ මාර්සෙයිල් හි පර්යේෂකයන් කණ්ඩායමක් මෙම වයිරසය ඒක සෛලීය ඇමීබා විශේෂයකට ඇතුළුවීමට සළස්වා එහි ගෙනෝමය අනුපිළිවෙළට සකස් කර ඒවා හඳුනාගෙන මිමිවයිරස් ලෙස නම් කළේය. එලෙස නම්කරන ලද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් බැක්ටීරියාා අනුකරණය කර තිබූ බැවිනි.

එය කුඩාම බැක්ටීරියාවටත් වඩා විශ්කම්භයෙන් විශාල එකකි . සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවන්සා වයිරසයක ජාන කේතය අක්ෂර (භෂ්ම) 13000කින් පමණ සමන්විත වන අතර වසූරිය වයිරසයක ජාන කේතය අක්ෂර 194,000කින් පමණ සමන්විත වෙයි. එහෙත් මේ නව වයිරසය අක්ෂර මිලියන 1.2කින් යුත් ජාන කේතයකින් සමන්විත ය.

මාර්සෙයිල් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයකු වූ ක්ලැවේරි කියා සිටියේ “මේ සොයාගැනීම අපට කරදර ගොඩක් ඇතිකළා” යනුවෙනි.

ඔහු පවසන්නේ ගෙනෝමය අනුක්‍රමණය කිරීමෙන් ඉතා අනපේක්ෂිත ජාන හතරක් හෙළිදරව් වූ අතර එවැනි දේ වයිරස් තුළ කිසි දිනක දක්නට නොලැබුණු බවයි.

මේ වයිරසවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය නොවන එහෙත් සෛලයක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන ජාන කේත ඇති බව ද ඔවුන්ගේ සොයාගැනීම් අතර විය.

“මෙය ගැටලුවක් වුණා. අවසානයේ දී අපි මිමිවයිරස් (යෝධ වයිරස්) තවත් සොයාගන්න හැකිවුණා. ඒ නිසා මෙය වෙනත් වයිරස් ඝනයක් ලෙස නම් කළා. ඇත්තෙන්ම මේ වයිරස්වලට සෛලවල තිබෙන එන්සයිම අවශ්‍යතාව කුමකට ද ? ඒවා එසේ තිබෙන්නේ කෙසේ ද ? අපේ පරීක්ෂණවලින් සනාථ වූයේ මිමිවයිරස්වල මේ එන්සයිම තිබෙන්නේ රදවනයක් ලෙස බවයි. එයින් පැහැදිලියි වයිරස් ආරම්භ වූයේ සෛලවලින් බව. මේ අනුව ලෝකයේ වයිරස් ආරම්භ වී ඇත්තේ සෛල බිහිවීමෙන් පසුව බව පැහැදිළි කළ හැකි වුණා.”

ඔහු පවසන පරිදි ‍වයිරසවල ආරම්භය පිළිබඳ වූ තුන්වැනි කල්පිතය දැන් සනාථ වී තිබේ. 

පර්යේෂණ කණ්ඩායම ඉතා ඉක්මණින් යෝධ වයිරස රැැසක් සොයාගත් අතර අමීබාවන්ගේ පරපෝෂිතයන් දෙදෙනේ ද සොයාගෙන තිබිණි. එකක් චීලී වෙරළට ආසන්න නොගැඹුරු මුහු‍දේ අපද්‍රව්‍ය වලින් සොයගෙන තිබූ අතර අනෙක ඕස්ට්‍රේලියාවේ පොකුණකින් සොයා ගැණිනි.

ක්ලවේරිගේ පර්යේෂණ කණ්ඩායමේ වයිරස් විද්‍යාඥයකු සහ ව්‍යුහාත්මක ජීව විද්‍යාඥයකු වන් චැන්ටල් ඇබර්ගල් ඔහු ක්ලවේරිගේ බිරිඳයි. ඇය පවසන්නේ මෙවැනි කතාවකි.

“කිසි දිනක නොදුටු සමාන ජාන රාශියක් ගෙන යන සෛලවලට වඩා වෙනස්, අපි හඳුනාගෙන තිබූ වයිරස්වලට වඩා වෙනස් මේවා විස්තර කිරීම පවා දුෂ්කරයි. නමුත් සිත් ඇදගන්නා සුළු වගේම හරිම අද්භූතයි.”

මේ අනුව වයිරස පිළිබඳව තිබූ පැරණි අර්ථ දැක්වීම් අද වනවිට ප්‍රමාණවත් නොවේ. සෛල තුළ දී  ජනනය කිරීම ද වයිරසයේ සමස්ත ක්‍රියාකාරීත්වයේ කොටසක් බැවින් සෛලය තුළ පවතින විට එය සජීවී දෙයක් ලෙසත් සෛලයකි්න් පිටත පවතින පවතින විට එය අජීවී දෙයක් ලෙසත් පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි.

මෙලෙස සජීවී සෙලයක් තුළ වයිරසය  විකෘතීන්ට ලක්වන අතර එවැනි විකෘතීන් සහිත නව වයිරසවලට මුහුණ දීම සඳහා සෛල ද ප්‍රතිචාර දක්වමින් ‍වෙනස්වීම් සිදුකරගනී.

මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන්නේ වයිරසය සේම සෛලයත් සංවර්ධනය වීමයි. එහි දී ඩාවින්ගේ ස්වභාවික වරණය ඉස්මතු වේ

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ වයිරස පරිනාමීය වශයෙන් තම පැවැත්ම රැකගැනීමට මෙතරම් සමත්කමක් දක්වන්නේ සෛලවල ඇති ජාන කොටස් සොරකම් කරමින් තමාගේ වයිරස ගෙනෝමය වෙතට ගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමෙන් බවයි.

ඇතැම්විට වයිරසය තමන්ගේ ජාන කොටස් සෛලයේ ගෙනෝමය තුළට ඇතුළු කිරීම ද සිදුවන බව විද්‍යාඥයන්ගේ අදහසයි.

වයිරසය ආරම්භ වූයේ පැරණි සෛලවලින් යම් කොටසක් වෙන්වීමෙන් විය හැකි නමුත් එදා ආරම්භ වූ වයිරස දැන් පෘථිවියේ නැත. ඒවා තම “මුතුන් මිත්තන්ගේ සැකැස්ම” සම්පූර්ණයෙන් ම වෙනස් වී පරිනාමය වී ඇත.  

ඔවුන් වෙනත් සෛල තුළ පරපෝෂිතයන් ලෙස ජීවත් වෙමින් තම ස්වරූපය මුළුමිනින්ම වෙනස් කරගෙන ඇති අතරම අනෙකුත් සෛලවල ස්වභාවය ද වෙනස් කර තිබේ..

ජාන රැගෙන යන හැටි

යෝද වයිරස් සොයාගැනීම හරහා වයිරසයේ හා ජීවීන්ගේ පරිනාමය යන කාර්යයේ දී වයිරස මගින් ඉටු වී ඇති නිර්මාණාත්මක කාර්යභාරය පිළිබඳ තොරතුරු රැස්කිරඹීට ප්‍රංශයේ පාස්චර් ආයතනයේ පැට්රික් ෆෝටෙරේ තවත් විද්‍යාඥයන් රැසක් සමඟ එක්ව පරීක්ෂණ මෙහයවීය.

වයිරසය යනු ජාන විසුරුවාහැරීමේ යාන්ත්‍රණයක් යැයි ඔහු තර්ක කළේය. වයිරසයක නියම සත්‍ය ස්වභාවය ක්‍රියාත්මක වන්නේ ජීවී සෛලතුළ සිටිය දී බව තහවුරු කරන ඔහු සෛලය නම් යන්ත්‍රය අල්ලගත් පසු තම බීජ වර්ධනය කර සෛලයේ ජීවන ඉතිහාසයේ වැදගත් කොටසක් වයිරසය විසින් ඉටුකරන බව ඔවුන්ගේ නිගමනය විය.

වසර බිලියන ගණනක පරිනාමීය ක්‍රියාවලිය පුරා මෙලෙස සෛලමය ජීවීන් තුළට වයිරසවලින් ජාන කොටස් සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය අපගේ ජානමය විවිධත්වය වර්ධනය කරන්නට උපකාරී වී ඇත.

නව ජාන උත්පාදනය වන්නේ වයිරස ක්‍රියාවලියකින් බව ද ඔවුන් සඳහන් කරයි.

“වයිරස නව ජාන රැගෙන එයි. නමුත් සෛල තමන්ගේ ආරක්ෂක නවෝත්පාදන මගින් සෛල බිත්තිය හෝ න්‍යෂ්ටිය මගින් හෝ ප්‍රතිචාර දක්වන අතර එය වඩාත් සංකීර්ණ ආයුධ සන්නද්ධ තරඟයක් වැනිය. ‍මේ මගින් වයිරස ආසාදිත ජීවියාගේ ඩීඑන්ඒ උදුරාගෙන එයින් සොරාගන්නා කොටස් වයිරස් ගෙනොමය තුළ භාවිතා කරයි.”

මෙය තිරස් ජාන සම්ප්‍රේෂණය (Horizontal gene transfer) නමින් විද්‍යාඥ‍යෝ හදුන්වති. සාමාන්‍යයෙන් ජීවීන්ට ජානමය ලක්ෂණ ලැබෙන්නේ මවුපියන් ‍ගෙන් දරුවන්ට ලෙස සිරස් අතටය. එහෙත් වෙනස් ජීව විශේෂ අතර ජාන හුවමාරු වීම තිරස් ජාන සම්ප්‍රේෂණය ලෙස හැඳින්වෙයි.

මේ වයිරස් ජානමය විවිධත්වය සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් සිදුකර තිබේ. ඒවා වසර බිලියන ගණනක කාලයක් තුළ නව ජාන එක් තැනකින් තවත් තැනකට ගෙන යමින්, නව ජාන නිපදවමින්, වෙනත් තැන්වල ජාන තැන්පත්කර පොහොසත් කරමින් මිහිතලය මත සියලු ජීවීන්ගේ පරිනාමයට සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටුකර තිබේ.

මෙලෙස වයිරස මඟින් මිනිසා වෙත ජාන සංසරණය වීම ජීව පිණාමයේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් ඇතිවීමට හේතු වී ඇතැයි පැරිසියේ පැස්චර් ආයතනයේ Patric forterre  සහ Claverri ඇතුළු පර්යේෂකයෝ පරිසක් පිරිසක් පෙන්වා දෙති.

එයින් තහවරු වන්නේ නූතන Homo sapience sapience  මානවයා ලෙස අපේ වත්මන් ස්වභාය තීරණය කරීමට දැඩි බලපෑමක් කර ඇති බවයි.

මිනිසා තුළට මෙවැනි ජාන කොටස් හඳුන්වා දීමට ප්‍රධාන වන්නේ රෙට්රොවයිරස (Retrovirus) සෙ හැඳින්වෙන වයිරස වර්ගයයි

එම වයිරස් RNA අණු DNA අණු නිපදවීමට සළස්වා එය ආසාදිත සෛලයේ ගෙනෝමයට ඇතුළු කරයි. ඉන්පසු එමඟින් නිපදවන RNA වයිරස ගුණනය වේ. නැතිනම් පිටපත් නිපදවයි. මේ ආකාරයට සෛලියේ ගෙනෝමයට වයිරස් සෑදීමේ උපදෙස් දීමේ හැකියාව වයිරසය විසින් අන්තර්ග්‍රහණය කරගන්නා බැවින් සෛලවල දී සෑදෙන අලුත් පිටපත් ද පෙර හැකියාව දරයි.

ජාන විවිධත්වය ඇතිකළ වයිරස

මෙවැනි වයිරස ආසාදනය වන ඇතැයි ජීවීන් මියයයි. එලෙස ධාරකයා මියයාමත් සමඟ ක්‍රියාවලිය අවසන් වෙයි. නමුත් ඇතැම් වයිරස ජීවීන්ගේ ශුක්‍රාණු හෝ ඩිම්බවලට ඇතළත් වී ඒවායේ ඇති සෛල ගෙනෝමයට තම ජාන ඇතුළු කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ එම ජීවීන්ගේ නව පරම්පරාවට ද වයිරසයෙන් උරුම වූ එම ජාන ගති ලක්ෂණම හිමිවීමයි.

HIV එවැනි මෑත කාලීන උදාහරණයකට ගත හැකි වයිරසයකි.

මේ ආකාරයට ආසාදනය වූ ජීවියාගේ පරම්පරාවෙන් පරම්පරාවට යා හැකි පරිදි ගෙනෝමයට තම ගති ලක්ෂණ ඇතුළු කරනු ලබන රෙට්රොවයිරස හඳුන්වන්නේ අන්තර්ජන්‍ය රෙට්රොවයිරස් (HERVs) නමිනි.

වර්තමාන නූතන මානවයාගේ ගෙනෝම විශ්ලේෂණය කළ විද්‍යාඥයන් ලෝකයම පුදුමයට පත්කරමින් කියා සිටියේ මිනිසාගේ ගොනෝමවිලන් 8% ප්‍රමාණයක් ම එවැනි අන්තර්ජන්‍ය රෙට්රොවයිරස් (HERVs) හේතුවෙන් උරුම වී තිබෙන බවයි.

ක්ෂීරපායී සත්ත්වයකු වූ මිනිසාගේ පළමු පූර්වජයකු ලෙස සැළකෙන කුඩා හික්මීයාගේ සිට වසර බිලියන ගණනක් තිස්සේ සිදු වූ පරිනාමීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අද උපත ලබා ඇති අප සෑම කෙකෙුගෙන්ම ඇති ජානමය ලක්ෂණවලින් දොළහෙන් එකක හිමිකම ඇත්තේ වයිරස්වලටය.  

බිත්තරයේ සිට ගර්භාෂය දක්වා

මිනිස් ගැබ් ගැනීම සඳහා අත්‍යවශ්‍ය කර්යයක් ඉටුකරනු ලබන Syncytin-1 සහ Syncytin-2 යන වයිරස් ජනාන මානව ගෙනෝමයේ කොටසක් බවට පත්වූයේ කෙසේ ද යන්න සහ ඒවා කුමන අරමුණකින් අනුවර්ථනය වීතිබේ ද යන්න මානව පරිනාමයේ ඉතාමත් වැදගත් සොයා බැලීමකි.

සෛල වෙතට බැඳීමේ ක්‍රියාවලිය පහසු කරනසුළු ගුණාංගවලින් යුතු වූ මේ ජානය වයිරසයක් මගින් ඈත අතීතයේ දී සත්ත්ව ගෙනෝමය තුළට ඇතුළු වී ඇත. සතුන් තුළ දී එම ජානය සක්‍රිය වීමෙන් නිපදවනු ලැබූ ප්‍රෝටීන පසුකාලීනව පරිනාමිකව විශල වෙනසක් කර ඇති බව දැන් විද්‍යාඥයන් විසින් තහවර කරගෙන තිබේ.

එය නිර්මාණය කර ඇත්තේ අභ්‍යන්තර ගැබ් ගැනීමේ ක්‍රියාවලියයි. එය සතුන් තුළ ඇති වූ නව හැකියාවකි. මෙය නව පරිනාමයේ විශ්මිත පිටුවක් පෙරැළීමට සමත්වූ අතර ගැහැනු සතෙකුට තම වර්ධනය වන පැටවුන් ආගන්තුක කූඩුවක නොතබා තම කුස තුළ තබාගෙන තැනින් තැනට ගෙන යාමට හැකිවිය.

රෙට්රොවයිරසයකින් මේ නව හැකියාව ඇතිකර තිබෙන අතර එම භූඹිකාවට වඩාත් ගැලපෙන ආකාරයේන ප්‍රජනන ක්‍රමය ද සැළසුම් සහගතව වැඩි දියුණු වී තිබේ.

මව සහ කලලය එකට බැඳ තබන වැදෑමහ හෙවත් කලල බන්ධය පරිනාමය වී ඇත්තේ Syncytin-2 මගින් ලැබුණු ජානවලිනි. මව සහ කලලය අතර පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් සැපයීමට ඉඩ සළසන හා අපද්‍රව්‍ය සහ කාබන් ඩයොක්සයිඩ් පිටතට ගෙන යන එමෙන් ම මවගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් උපත ලබමින් සිටින නව ජීවීයාට ආරක්ෂාව ලබාදෙන ඒ අද්විතීය ව්‍යුහය නිර්මාණය කර ඇත්තේ වයිරසයකිනි.

විද්‍යාඥයන් පවසන්නේ වයිරස් සංඝටකයක් මිනිස් සංඝටකයක් බවට පත්වූ කාර්යක්ෂම සැළැස්මක ප්‍රාතිහාර්යයක් වැනි අවස්ථාවක් බවයි.

ඒ එක් උදාහරණයක් පමණි.

මිනිසාට බුද්ධිය දුන්නේ වයිරසයක් ?

ARC නමින් හැඳින්වෙන ජානය ද මිනිසාගේ වර්තමාන තත්වය පිළිබඳ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර ඇති බව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත. එක්සත් ජනපදයේ Utah විශ්වවිද්‍යාලයේ ජේසන් ෂෙපර්ගේ නායකත්වයෙන් යුතු පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයක දී එය අපේ නියුරෝන ජාලය තුළ තොරතුරු ගබාඩා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහාය දක්වන බව පෙනී ගොස් ඇත.

එම පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ අත්දැකීමෙන් ලබාගත් තොරතුරු එක් නියුරෝනයක සිට තවත් නියුරෝනයකට ගෙන යන්නේ කුඩා ප්‍රෝටීන බෑග්වලට ඇසුරුම් කිරීම වැනි ක්‍රමයකින් බවයි. මෙය සිදුව ඇත්තේ HERV-K නමින් හඳුන්වන මානවයාට ආවේණික ප්‍රතිවයිරසයක් මගින් නිපදවන වයිරස් කොටස් මගිනි.

එය මානව කලලය වැඩීම ආරම්භකරන මුල් ම අවස්ථාවල දී දැකිය හැකි බවත් එමගින් කලලය වෙනත් වයිරසවලින් ආරක්ෂාකර වර්ධනයට උදව්කිරීම හා බේරාගැනීම යන සියල්ල සිදුකරන බවත් තහවුරු වී ඇත.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ මානවයාගේ උපතේ සිට මතකය, බුද්ධිය ඇතිවීම කෙරෙහි ද වයිරස අතිවිශාල දායකත්වයක් සපයා ඇති බවයි.

වෛරයට ලක්වූ වයිරස

සමස්ත ලෝකයම අවධානය යොමුකර ඇත්තේ වයිරසවලින් සිදුවන හානිය පිළිබඳවය. සැබැවින්ම වයිරස අතිශය හානිකරය.

මුල් ධාරකයා තුළ ‍වයිරසය වසර දහස් ගණනක් නිහඬව අඩු පැතිරීමකින් සහ අඩු බලපෑමකින් තිබීමට හැකියාව ඇත. එය හානිකර නොවී ආරක්ෂිතව පරිනාමීයව ගමන් කරන්නට ඇත. නමුත් මිනිසකු වැනි නව ධාරකයකු හමුවූ විට වයිරසයේ පැරණි ගනුදෙනුව ඒ ආකාරයනේ පතින්නේ නැත.

එය පුපුරායාමට හැකියාව ඇත. එවිට දෙවැනි ධාරකයා අපහසුතාවකට හා අවාසනාවන්ත තත්වයකට පත්වෙයි. එවිට වසර දහස් ගණනක් නිහඬව තිබූ වයිරසය වේගයෙන් ගුණනය වී මිනිසුන් අතර පැතිර යයි. එය ප්‍රජාවක් හෝ රටක් හරහා හෝ පැතිර ගියහොත් වසංගතයකි. එවැනි වසංගතයක් ලෝකය වෙලාගත හැකිය.

දැන් අප මුහුණ දෙමින් සිටින කොරෝනා වසංගතය ද සතකු තුළ තිබී මිනිසුන් තුළට පැමිණ පුපුරා ගිය නැතිනම් පැතිරයන වයිරසයකි.

දැනට මිනිසාට හානිකරන බවට හඳුනාගෙන ඇති ‍වයිසර සියල්ලම පාහේ විවිධ සතුන්තුළ තිබී අප වෙත පැමිණි වයිරස බව විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත.

වත්මන් කොරෝනා වසංගතයට මුල් වූ වයිරසය වවුලන්ගෙන් හෝ කැබැල්ලෑවන්ගෙන් මිනිසාට එන්නට ඇතැයි විශ්වාසයක් පවතී. කොරෝනා කාණ්ඩයේ සියළු වයිරස එලෙස අපට හානිකරය.

තනි RNA දාමයකින් සමන්විත ගෙනෝම සහිත කොරෝනා වයිරස සේම, ජලභීතිකාව, සරම්ප ආදී තවත් වයිරස ගණනාවක් මෙලෙස අපට හානිකරයි.

එම වයිරස වේගයෙන් තව තවත් විකෘති ප්‍රභේද සෑදීම ද දක්නට ලැබෙයි.

අප වර්තමානයේ වයිරසය යනු භයානක දෙයක් ලෙස සැළකුව ද ‍ජීව ඉතිහාසයේ වයිරසවලින් සිදුවූ මෙහෙය අපමණය.

නමුත් පරිනාමීය වංශ කතාවේ දී වයිරස කිසිවක් ජීවී ගසේ කොතැනකවත් තැබිය නොහැකිය. චාර්ල්ස් ඩාවින් විසින් පරිනාමවාදය විස්තර කරද්දී ඔහු භාවිතා කළේ පරිනාමීය ගස යන සංකල්පයයි.

එකල ඩාවින් තිරස් ජාන හුවමාරුවක් ගැන කිසිවක් දැන සිටියේ නැතත් ඔහුගේ විස්තර කිරීම් අදටත් ගැලපේ. එමෙන්ම ඔහු වයිරස ගැන ද දැන සිටියේ නැත.

මෙය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. දැන් අප එය තේරුම් ගනිමින් ගැටලු විසඳමින් සිටියි. බැලූ බැල්මට ඉතා සරල ව්‍යුහයක් වුව ද වයිරස් මේ ලෝකය අතිශය සංකීරණ ලෙස නිර්මාණය කරයි.

මේ සංකීර්ණතාව තේරුම්ගැනීමෙන් මිනිසාට ස්වභාවික ලෝකයේ එකිනෙකට පැටලී ඇති අද්භූත සම්බන්ධතා සියල්ල තේරුම්ගත හැකි වනු ඇත.

වයිරස පිළිබඳ අප නිවැරදිව දන්නේ නම් ඒවා කෙරෙහි ඇති අප්‍රසන්න හැඟීම සහ අනියත බිය අප අතරින් ඈත්ව යනු ඇත.

වයිරසයට වෛර නොකරන්න.

(සජීව විජේවීර)

මෙම ලිපිය සකස්කරන ලද්දේ

David Quammen විසින් National Geographic සඟරා‍වේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියක් ඇසුරිනි.

එම මුල් ලිපියේ සබැඳිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!