spot_img
spot_imgspot_img

ජාතික පුවත්පතක් බොරු කියා ඇතැයි ගුරු විදුහල්පතිවරු ජනමාධ්‍ය ඇමතිට කියයි

පුවත්

විදෙස්

ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූ ගුරුවරුන් අතරින් 25 දෙනකු කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි ද තවත් ගුරුවරු 400ක් ආසාදිත වී ඇතැයි ද පවසමින් ජාතික පුවත්පතක පළවූ පුවත අසත්‍යයක් බවත් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙසත් ගුරු විදුහල්පති සංගම් ජනාමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

පසුගිය ඉරිදා (29) ජාතික පුවත්පතක මුල් පිටුවේ මෙම පුවත පළකර තිබිණි. එහි සිරස්තලය වූයේ “ගුරු උද්ඝෝෂණයට එක් වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා මරණ 25යි ආසාදිතයන් 400යි” යනුවෙනි.

ජාතික පුවත්පතක මේ ආකාරයෙන් අසත්‍ය පුවත් වාර්තාකිරීම මේ වනවිට ගුරුවරු සහ විදුහල්පතිවරු විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වෛරී හැඟීමක් ඇති කරවන අතර එම අසත්‍ය පුවත ගුරුවරුන්ට කරන බරපතල අපහාසයක් බව ද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එම පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියේ සඳහන් කර ඇත්තේ පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මේ බව හෙළිකළ බවයි නමුත් කොවිඩ් ආසාදිතව මියගියා යැයි කියන ගුරුවරුන්ගේ කිසිදු තොරතුරක් එහි සඳහන් නොවන බව ද මේ ලිපියේ පෙන්වා දී තිබේ.

එමෙන් ම සෞඛ්‍ය අංශ විසින් තහවුරු කළ යුතු කාරණයක් මෙලෙස සංගමයක සභාපතිනියක් පැවසූ බව සඳහන් කරන්නේ කවර වූ මාධ්‍ය සදාචාරයක් අනුව දැයි ගුරු විදුහල්පති සංගම් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විමසා ඇත. මේ සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය පළකරන බවත් එම පුවත සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

මෙම ලිපිය සදහා ලංකා ගුරු සංගමය වෙනුවෙන් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමය වෙනුවෙන් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය වෙනුවෙන් පූජ්‍ය යල්වෙළ පඤ්ඤාසේකර හිමි, විදුහල්පති සේවා සංගමය වෙනුවෙන් සුනිල් ප්‍රේමතිලක, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය වෙනුවෙන් මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය වෙනුවෙන් ජගත් ආනන්ද සිල්වා යන පිරිස අත්සන් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!