spot_img
spot_imgspot_img

“කොරෝනා තොරතුරුවලින් ඈත්විය යුතු මානසික දුර්වල අයයි” – මනෝ වෛද්‍යවරු

පුවත්

විදෙස්

කොරෝනා වයිරසය සම්බන්ධ ප්‍රවෘත්තිවලින් ඈත්වීමේ අවශ්‍යතාවක් නැතැයිද සත්‍ය මත පදනම් වූ තොරතුරු හැර අසථ්‍ය ප්‍රචාරයන් බැහැර කළ යුතුයැයි ද කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ‍මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා වයිසරය සම්බන්ධ ප්‍රවෘත්තිවලින් ඈත්වන්න යැයි මනෝ වෛද්‍ය විශේෂඥයන් පැවසූ බව සඳහන් කරමින් කිසියම් පිරිසක් විසින් බෙදාහරිනු ලබන පණිවිඩයක සඳහන් කරුණු සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එම පණිවිඩය නිර්මාණය කළ පුද්ගලයන් එහි සඳහන් කර ඇත්තේ මරණ සංඛ්‍යාව ගැන සොයා බලන්න එපා එය ලකුණු දැනගැනිමට ක්‍රිකට් තරඟයක් නොවේ. මාරක පණිවිඩ යැවීමෙන් වළකින්න වැනි කරුණු කිහිපයකි. එය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන අතර නිරන්තරව කොරෝනා සම්බන්ධ නිවැරදි තොරතුරු සමාජගතකිරීමේ නියැළී සිටින අපට ද බොහෝ පිරිස් එම පණිවිඩය එවා තිබිණි.

එබැවින් මේ පිළිබඳ අපි ‍විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසා සිටියෙමු.

ඔහු පවසන්නේ කෙ‍රෝනා හෝ වෙනයම් හෝ රෝගයක් නැතිනම් සිද්ධියක්, සිද්ධි මාලාවක් පිළිබඳ තොරතුරු දැනගැනීම, තොරතුරු සෙවීම හෝ තොරතුරු ප්‍රකාශ කිරීම සත්‍ය තොරතුරු මත පදනම්ව කළ යුතු බවයි. එය මානසික අවපීඩන තත්වයකට හෝ ව්‍යාධියකට හේතු නොවන බව ද එලෙස නිවැරදි තොරතුරු දැනැගනීමෙන්, සෙවීමෙන් සහ ප්‍රකාශයට පත්කිරීමෙන්, දැනගැනීමෙන් වයරසයකට අනව්‍ය ලෙස ගොදුරුවීමක් හෝ බියවිමක් හෝ සිදු නොවන බව ද වෛද්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“තොරුතුර දැනගැනීම වැදගත්. අපි කියන්නේ නිවැරදි සහ සත්‍ය තොරතුරු පිළිබඳ ඔබ දැනුම්වත් වී සිටිය යුතුයි. වසංගතයක දී ආසාදිතයන් හමුවීම සහ පුද්ගලයන් මියයාම සිදුවනවා. ඒ ගැන තොරතුරු සෙවීම සහ දැනගැනීම තමන්ට ඉන් ආරක්ෂාවීමටත් වැදගත් වෙනවා. නමුත් මෙතැන දී සාමන්‍යයෙන් ඊට පෙරත් පුංචි දේකට වුණත් බියට පත්වන දුර්වල මානසිකත්වයක් ඇති අය නම් මරණ පිළිබඳ වැනි කරුණු සම්බන්ධව වැඩිය තොරතුරු සොයන්නේ නැතිව සිටීම සුදුසුයි. දුර්වල මනසක් ඇති අයට පමණයි තොරතුරු දැනගත්තා කියා ගැටලුවක් වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් එකම දෙයක නියැලී සිටින විට විශේෂයෙන්ම රැකියාවේ දී පවා මානසි ආතතියක් එනවා. කොරෝනා සම්බන්ධයෙන් ම වැඩකරන සෞඛ්‍ය සේවකයන්ට නම් මේ වගේ ආතතියක් ඇතිවෙන්න පුළුවන්. අනිත් අයට ගැටලුවක් නැහැ.”

කෛසේ වෙතත් නිවැරදි තොරුතුරු දැනගැනීම ගැටලුවක් නොවූව ද ඒ වෙනුවෙන් ම කාලය ගත කිරීමෙන් තම දෛනික කටයුතු බාධා වීමට ඉඩ ඇති බව ද වෛද්‍යවරයා කීවේය.

මනෝ වෛද්‍ය විශේෂඥයන් විසින් කියූ කරුණුයැයි සඳහන් කරමින් නිර්මාණය කර ඇති එම ප්‍රකාශයේ සටහන්ව ඇත්තේ අප කොරෝනා වයිරසය ගැන දන්නා කරුණු දැනටමත් දන්නා බැවින් තවදුරටත් සොයා බැලිය යුතු නැති බවයි. නමුත් සත්‍යය එය නොවේ. තවමත් කොරෝනා ගැන වෛද්‍ය විශේෂඥයෝ පවා නිවැරදි කරුණු දන්නේ නැත. තොතරු නිතරම අලුත්වෙමින් පවතී. වයිරසය ද වේගයෙන් වෙනස් ‍වෙමින් පවතී.

අසත්‍ය තොරතුරු විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. එබැවින් සත්‍ය තොරතුරු විශ්වාසදායක හා නිවැරදි මූලාශ්‍ර ඔස්සේ ලබාගැනීම ඉතාමත් වැදගත් දෙයකි.

එමෙන් ම විශේෂඥ වෛද්‍ය රූමි රූබන් වසන්නේ අන්තර්ජාලයේ තොරතුරු සෙවූ පමණින් කෙනෙකු මානසිකව දුර්වල වේයැයි එම පණිවිඩයේ සඳහන් කරුණ සත්‍යයෙන් තොර බවයි.

“එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා මාරක පණිවිඩ යවන්න එපා කියා. දුර්වල මනසක් ඇති කෙනෙකුට මාරක පණිවිඩ ඇත්තටම ගැටලුවක් වනවා. නමුත් ශක්තිමත් මනසක් ඇති අයට එවැනි පණිවිඩ වුණත් ගැටලුවක් නැහැ. අපි දන්නවා නූතන සමාජයේ රැකියා අව්‍යතා සඳහා පවා වැඩි කාලයක් අන්තර්ජාලයේ සහ පරිගණකවල කාලය ගතකරන අය ඉන්නවා. ඒ අය දින‍යේ වැඩි කාලයක් එකම දෙයක නියැලී සිටින විට මානසික ආතතියක් ඇතිවෙන්න පුළුවන්. එය කොරෝනාවලට පමණක් අදාල දෙයක් නෙවෙයි. ඒ නිසා වැඩක් කරන විට පොඩි විවේකයක් ගැනීම ඒ අතරතුර වෙනත් දේට සිත යොමුකිරීම වැනි කටයුතුවලින් එම ආතතිය අඩුකර ගත හැකියි.”

එම පණිවිඩයේ තවත් පොදු කරුණු කිහියක් සඳහන් කර ඇත. ළමයින්ට විනෝදයෙන් සිටීමට අවස්ථාව දිම, සංගීතයට සවන් දීම, සතුටින් සිටිම, චිත්‍ර පට නැරඹීම වැනි චර්යා ද, දරුවන් සමඟ අනාගතය සැළසුම් කිරීම සුදුසුය යන කරුණු ද සියලු දෙනාම යහපත් යැයි පිළිගන්නා කරුණු වෙයි.

එමෙන්ම ධනාත්මක සිතුවිළි සහ සෘණාත්මක සිදුවිලි පිළිබඳ සඳහන් කර ඇති කරුණු මෙන්ම සෞඛ්‍ය පුරුදු පිළිබඳ සඳහන් කරුණු ද පොදුවේ පිළිගත් දේ වන බව අමුතුවෙන් කිව යුතු නැත.

විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මේ පණිවිඩය සම්බන්ධයෙන් විමසූ විට පවසන කරුණු අනුව, මාධ්‍ය මගින් නිරන්තරව සත්‍ය කරුණු පිළිබඳ ජනතාව දැනුම්වත් කිරිමට ගන්නා උත්සාහයත් ජනතාව ද නිවැරදි තොරතුරු සෙවීමට ගන්නා උත්සාහයත් වැළැක්වීම සඳහා සැළසුම් සහගතව මෙම පණිවිඩය නිර්මාණය කර ඇත්ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් සැකකරයි.

1 COMMENT

  1. This statement is true at the situation where the correct information is shared. But starting from government everywhere we see wrong statistics and wrong information. So such situations it’s better to avoide looking in to such news.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!