spot_img
spot_imgspot_img

භූමිකම්පාවලින් ශ්‍රී ලංකාවත් හෙල්ලෙයි ද ? අනාගතය භියකරුයි

පුවත්

විදෙස්

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව තිබේ. මෙය අනතුරුදායක තත්වයක් නොවුණ ද ඇතැම් විට එය ඉදිරි අනතුරක සේයාවක් විය හැකිය.

නමුත්, විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ සිදුවන භූමිකම්පා කල්තියා හඳුනාගැනීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බවයි. එබැවින් ඉදිරි අනුතුරු පිළිබඳ දැනුම්වත් වී සිටීමට හැකියාව ඇතත්. එවැනි අනතුරක් කලින් හඳුනාගන්නට හැකියාවක් නැත.

මේ ඔබ ඒ පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සැකසූ ලිපියකි.

ශ්‍රී ලංකාව භූමිකම්පා අනතුරුවලින් තොර දේශයක් ලෙස සාමාන්‍ය පිළිගැනීමක් ඇතත් දැන් නිතර නිතර මෙරට පොළව ද සෙළවී යන අවස්ථා නැත්තේ නොවේ. නමුත් තවමත් ශ්‍රී ලංකාවට වැඩිම බලපෑමක් ඇත්තේ සුමාත්‍රා දූපත් හා ඒ අවට සිදුවන භූමිකම්පාවලිනි.

භුමිකම්පා ඇතිකරන භූ තැටි

භූ තැටි දැක්වෙන්නේ මේ ආකාරයෙනි

සුමාත්‍රා දූපත් අසළ භූ තල මායිම් එකක් යටට අනෙක් භූ තලය ගමන් කිරීමෙන් සිදුවන ගිලා බැසීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ දිගින් දිගටම දරුණු භූමිකම්පා සිදුවන බව ද ශ්‍රී ලංකාවට දකුණින් නව භූ තැටියක් නිර්මාණය වන බව ද භූ විද්‍යා පර්යේෂකයෝ පවසති.

භූමිකම්පාවලින් සිදුවන අනතුරු අති විශාල ජීවිත හා දේපල හානි දක්වා වර්ධනය වීමත්, එය ක්ෂණිකව සිදුවීමත් හේතුවෙන් ඇමෙරිකාව, ජපානය ඇතුලු රටවල් ගණනාවක් ඩොලර් බිලියන ගණන් වියදම් කරමින් භූමිකම්පා කල් තියා හඳුනාගැනිමේ ක්‍රමයක් ඇත්ද යන්න පිළිබඳ දශක ගණනාවක් පරීක්ෂණ පවත්වා තිබේ.

මෙතෙක් ඒ සම්බන්ධ පරීක්ෂණ කිසිවක් සාර්ථක වී නැත.

පෘථිවිය බිහි වූ දා සිට මේ දක්වා ගත වූ වසර බිලියන ගණනක් පුරා භූමිකම්පා සිදුව තිබේ. ආරම්භයේ දී පෘථිවිය එක් කබොල්ලක් ලෙස පැවති බවත් පසුව එය භූතල කිහිපයකට වෙන් වූ බවත් විද්‍යාඥයන්ගේ මතයයි. පෘථිවිය මතුපිට පෘෂ්ඨය භූ තල මායිම් 12ක් හෝ 13කට වෙන්ව ඇතැයි භූ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. 13 අසුබ අංකයක් යැයි පවසන යුරෝපීයයෝ එය 12ක් හෝ 13ක් ලෙස පවසති.

ගිනියම්ව ඇති පෘථිවිය අභ්‍යන්තරයේ ඇතිවන සංවහන ධාරා හේතුවෙන් මේ භූ තැටි නිරන්තරව ම ඒ මේ අත ගමන් කරමින් තිබේ. ඇතැම් අවස්ථාවල දී එකිනෙක මුහුණට මුහුණ ලා ගැටෙන මේවා තවත් අවස්ථාවක දී දෙපසට ඈත්වෙමින් තිබේ. මුහුණට මුහුණ ගැටෙන අවස්ථාවල දී එයින් කඳුගැටි ඇතිවීම හෝ ගිලා බැසීම සිදුවේ. හිමාල කඳු පන්තිය දිනෙන් දින උසින් වැඩිවන්නේ මේ හේතුවෙනි. සුමාත්‍රා දූපත් අසළ මුහුදේ සිදුවන්නේ ගිලා බැසීමකි.

අතීතයේ පැවැති මතය වූයේ ලොව පුරා භූමිකම්පා හටගන්නේ භූ තල මායිම් ආසන්නයේ පමණක් බවයි. නමුත් භූතලයේ මධ්‍ය කොටස්වල ද භූමිකම්පා හටගන්නා බව 1996 දී 16,000කට මරු කැඳවමින් ඉන්දියාවේ ගුජරාටි ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවෙන් මනාව තහවුරු විය.

එවැනි අන්තර් ආස්තරණ භූමිකම්පා සිදුවන්නේ කලාතුරකිනි.

ශ්‍රී ලංකාව ද පිහිටා ඇත්තේ භූ තැටි මායිම්වලට බොහෝ දුරින් භූ තැටි මධ්‍යයේ හෙවත් අන්තර් ආස්තරණ කලාපයේය. එබැවින් අප රටට භූමිකම්පා නිතර සිදුවීමේ අවදානමක් නැතත් කවදා හෝ විශාල භූමිකම්පාවක් ශ්‍රී ලංකා භූමියේ හෝ ඒ ආසන්නම මුහුදේ සිදු නොවේ යැයි කිව නොහැක.

පෘථිවිය අභ්‍යන්තරයේ ඇති විශාල ගල් පර්වත එකිනෙකට සාපේක්ෂව ගමන් කිරීමේ දී සිදුවන ගැටුම් හේතුවෙන් මෙවැනි අන්තර් ආස්තරණ භූමිකම්පා හටගන්නා බව පර්යේෂකයන්ගේ මතයයි.

භූමිකම්පාවක් හඳුනාගැනීමට ගතවන කාලය

භූමිකම්පා සිදුවන ප්‍රදේශ දැක්වෙන සිතියමකි

කාලගුණ වාර්තා අනුව වැසි, සුළි සුළං හා අකුණු ගසන බවත් කල්තියා හඳුනාගැනීමට හැකියාව තිබේ. වැස්සකින් පසු හෝ වැස්සට පෙර දී ද ගංවතුර ගැනත්, නායයාම් ගැනත් අනතුරු අඟවන්නට නූතන විද්‍යාඥයන්ට හැකිය. දැන් එවැනි අනාවැකියක් වරදින්නේ කලාතුරකිනි. සුළි කුණාටුවක් ගමන්කරන ප්‍රදේශය පවා කල්තියා කීමට තරම් විද්‍යාව දියුණු වී තිබේ.

නමුත් කොතරම් විද්‍යාත්මක උපකරණ නිපදවා ඇතත් භූමිකම්පාවක් සිදුවී තත්පර 20ක් ගතවනතුරු ඒ පිළිබඳ ජනතාවට වාර්තා කිරීමට නූතන විද්‍යාවටත් හැකියාවක් නැත.

එසේ තත්පර 20කට පසු භූමිකම්පාවක් පිළිබඳ ක්ෂණයකින් මුළු ලෝකයම දැනුම්වත් කළ ද ඉන් සුනාමියක් ඇතිවේද නොවේ ද යන්න පැවසීමට තවත් වේලාවක් ගත වේ. මේ හේතුවෙන් දැනට සිදුව ඇත්තේ මුහුදු පත්ලේ භූමිකම්පාවක් අතිවුවහොත් ඒ අවට රටවලට අනිවාර්යයෙන් ම සුනාමි අනතුරු ඇඟවීමක් ලබාදීමයි.

සුනාමියක් ඇතිවන භූමිකම්පාවක්

Diagram showing Earthquake Tsunami illustration

සුනාමි අනතුරක් ඇතිවීමට නම් භූමිකම්පාවක් වැඩි ප්‍රභලතාවකින් යුතුව මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් සිරස් අතට කම්පනය සිදුවිය යුතුය. තවත් ආකාරයකින් කිවහොත් මුහුදු පත්ල සෙළවී යා යුතු වන්නේ උඩ පහතට යන අයුරිනි.

ලොව තාක්ෂණය කොතෙක් දියුණු වී ඇතත් මුහුදු පත්ලේ භූමිකම්පාවක් සිදුවූ විට මෙම කරුණු සොයා ගැනීමට යම් කාලයක් ගත වේ. එමෙන් ම භූමිකම්පාවේ විශාලත්වය ද නිවැරදිව ම තීරණය කිරීමට ඇතැම් විට දිනක් හෝ දෙකක් ගතවීමට ද ඉඩ තිබේ.

භූමිකම්පා සිදුවීමේ රටාවක් තිබේ ද ?

භූමිකම්පාවක දී පොළොව අභ්‍යන්තරයේ හටගන්නා ක්‍රියාවලියක් හේතුවෙන් ඇතිවන අතිවිශාල ශක්තියක් ගබඩා වී එය ක්ෂණයකින් මුදා හැරීම සිදුවෙයි.

ලෝකයේ ඇති පිළිගැනීම වන්නේ මහා භූමිකම්පාවක් හෙවත් රිච්ටර් මාපකයේ ඒකක 08 ඉක්මවූ භූමිකම්පාවක් සිදුවන්නේ එවැන්නක් සිදු වී තවත් වසර 05-10ත් අතර කාලයක් ගත වූ පසුව බවයි.

නමුත් මේ මතය දැන් අභියෝගයට ලක්ව තිබේ.  කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයකු වන තෝර්න් ලේ “නිව් සයන්ටිස්ට්” සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පෙන්වාදුන්නේ 2004 දී සුනාමි ඇතිකළ විශාල භූමිකම්පාවෙන් පසු පෙර තිබූ එම මතය බිඳ වැටෙන බවයි.

වසර 110ක් පුරා ලෝකයේ සිදුවූ භූමිකම්පා විශ්ලේෂණය කළ ඔහු පෙන්වා දී ඇත්තේ 2004 වර්ෂයට පෙර සිදු වූ භූමිකම්පා සැළකිල්ලට ගෙත්විට මහා පරිමාන භූමි කම්පාවක් සිදුවන්නේ වසර 6.2ක කාලයකට පසුව බවයි. නමුත් 2004 ඇති වූ භූමිකම්පාවෙන් පසු 2006 නොාවැම්බර් මාසයේ දී ජපානයේ කුරිල් දිවයින් කැලඹී ගියේය. ඒ 8.3ක භූමිකම්පාවකිනි.

ඉන් මාස දෙකකට පසු එම දිවයින් සමූහයේ ම 8.1ක භූමිකම්පාවක් සිදුවිය. 2008 වර්ෂයේ දී ද චීනයේ එවැනිම විශාල භූමිකම්පාවක් සිදුවූයේ එම මතවාද අභියෝගයට ලක්කරමිනි.

2010 වර්ෂයේ චිලී දේශයේ තවත් විශාල භූමිකම්පාවක් හටගෙන තිබිණි. ඒ අනුව භූමිකම්පා රටාව දැන් අභියෝගයට ලක්ව ඇත.

පර්යේෂකයන්ගේ මතය වන්නේ එක් විශාල භූමිකම්පාවකින් තවත් භූමිකම්පාවකට තල්ලුවක් නැතිනම් උත්තේජනයක් ලැබෙන බවයි. රිච්ටර් මාපකයේ ඒකක 6 හෝ 7 ඉක්මවන භූමිකම්පාවක් ලොව කොතනක හෝ සිදුවුවහොත් එයින් අනෙක් ස්ථාන උත්තේජනය වී භූමිකම්පා වැලක් හටගන්නා බව ද ලේ පවසයි. නමුත් මෙය පැවති මතය අභියෝගයට ලක්කිරීමක් විනා වෙනත් මතයක් තහවුරු කිරීමක් නොවේ.

ශ්‍රී ලංකාවේ භූමිකම්පා ඉතිහාසය

ශ්‍රී ලංකාවේ අතීතය සැළකූ විට අවස්ථා කිහිපයක භූමිකම්පා සහ සුනාමි තත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

ජනකතාවන්හි දැක්වෙන විහාර මහා දේවිය මුහුදට බිලිදීමේ සිද්ධිය ද සුනාමි තත්වයක් බව දැන් පවතින මතයයි. එම කාල වකවානුවේ සුනාමියක් ඇති වූ බව පුරාවිද්‍යාත්මක සාධක පවා හමුවී තිබේ.

නමුත් පැරණිම ලිඛිත සාක්ෂිය ලැබෙන්නේ 1615 අප්‍රේල් මස 15 වැනි දා කොළඹ අති වූ භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 2000කට අධික පිරිසක් මියයාමේ සිද්ධියයි. විශාල මහල් ගොඩනැගිලි නොතිබූ එවැනි යුගයක පුද්ගලයන් එතරම් විශාල පිරිසක් මියයාමට නම් සිදුවූ භූමිකම්පාව අති ප්‍රභල එකක් විය යුතුය.

ඉන් අනතුරුව 1883 වර්ෂයේ ක්‍රැ‍කටෝවා දූපතේ ගිනි කන්දක් පුපුරායාමෙන් ඇති වූ සුනාමිය ත්‍රිකුණාමලය හා ගාල්ල වරායන්හි දක්නට ලැබුණු බව එකල පුවත්පත්වල වාර්තා කර තිබේ.

මෙරට භූ පැලුම්

මේ අතර වරින්වර කිරින්ද, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර, අනුරාධපුරය, කැකිරාව, මිනුවන්ගොඩ, මීරිගම, මහනුවර, දිගන, කොත්මලේ ආදී ප්‍රදේශවලින් සුළු භූ චලන වරින්වර වාර්තා වී ඇතත් ඒවා හානිකර නැත.

ඊයේ රාත්‍රියේ තිස්සමහාරාමය හා ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් ද වාර්තා වූයේ එවැනිම සුළු භූචලනයකි.

සුළු භූ චලන හැර ප්‍රභල භූ චලන ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා නොවීමට (අප දන්නා ඉතිහාසයේ එවැනි සිදුවීමක් නැත) හේතුවක් වී ඇත්තේ මෙරට ලොව ප්‍රධාන භූතල මායිම්වලින් සැළකිය යුතු තරම් ඈතින් පිහිටා තිබීමයි.

නමුත් අප රට අභ්‍යන්තරයේ ද මීට වසර මිලියන ගණනකට පෙර සක්‍රීයව තිබී දැනට නිද්‍රාශීලී ව ඇති භූතල මායිම් භූ විද්‍යාඥයන් විසින් හදුනාගෙන තිබේ.

ගාල්ලේ සුප්‍රසිිද්ධ රූමස්සල කන්ද සැකසී ඇත්තේ එවැනි භූතල මායිමක දුර්වල ස්ථානයකින් ඉහළට පැමිණි අභ්‍යන්තර පාෂාණ හේතුවෙන් ය යන්න භූ විද්‍යාඥයන්ගේ මතයයි. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන රතු පස් සහිත උස්සන්ගොඩ නමින් හඳුන්වන භූමි ප්‍රදේශය ද අමුතුම ආකාරයේ පස්වලින් සමන්විත වී ඇත්තේ භූ අභ්‍යන්තරයේ ඇති පාෂාණ භූ පැල්මකින් ඉහළට පැමිණීම හේතුවෙනි.

එම පැල්ම ත්‍රිකුණාමලය දක්වාම විහිදෙන බව භූ විද්‍යාඥයෝ කියිති. මදුනාගල උණුවතුර ළිං ඇති ස්ථානයේ සිට ත්‍රිකුණාමලයේ කින්නියා උණුවතුර ළිං දක්වා ඇති රේඛාවක් ඔස්සේ මේ භූ පැල්ම දක්නට ලැබෙයි. තැන තැන පොළොව අභ්‍යන්තරයේ ඇති රත්වූ ජලය ඉහළට එන්නේ එවැනි භූ පැලුම්වලිනි.

මේ භූ පැල්ම බොහෝ කාලයිකින් සක්‍රීය නොවූ බැවින් අපරටට අවදානම් අවස්ථාවන්ට මුහුණ දීමට සිදුව නැත.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටි මායිමේය. මේ තැටිය වටා අප්‍රිකානු භූ තැටිය, ඉහලින් හිමාලයානු භූ තැටිය, දකුණින් ඇන්ටාක්ටිකා භූ තැටියත් ඇත. අප මේ සියල්ලට මැදින් සිටින බැවින් ඒවායේ සිදුවන භූ චලන අපට නොදැනෙන තරම්ය. නැතිනම් දැනෙන්නේ අතිශය කලාතුරකිනි.

2004 දෙසැම්බර් 26 වැනි දා අපට විඳින්නට සිදුවූයේ එවැනි කම්පනයක අමිහිරි අත්දැකීමයි.

ශ්‍රී ලංකාව ආසන්නයේ නිර්මාණය වන නව භූ තැටිය

නමුත් භූ විද්‍යාඥයන්ගේ මතය වන්නේ ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදු සීමාවේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය කොටස් දෙකකට කැඩෙමින් පවතින බවයි. එය අනාගතයේ යම් දිනක ඉන්දු ශ්‍රී ලංකා තැටිය සහ ඔස්ට්‍රේලියා තැටිය ලෙස නම් දෙකකින් හැඳින්විය හැකි බව ද ඔවුහු කියති.

මේ වෙන්වීම සිදුවෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවට දකුණින් කිලෝ මීටර 1,000ක් පමණ දුරකිනි. එම ස්ථානයේ සිට බැලූ විට මුළින්ම හමුවන ගොඩබිම් තීරය වන්නේ මෙර ට දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයයි. එම නව භූතල මායිම නිර්මාණය වන අවස්ථාවලදී ද එය නිර්මාණය වූ විට ද අපට දැනට ඇති සුරක්ෂිත හැඟීමනම් නැති වනු ඇත.

නමුත්, මේ භූ තැටිය දෙකඩ වන්නේ තවත් වසර දෙක තුනකින් හෝ දශක දෙක තුනකින් හෝ නොව තවත් වසර දස දහස් ගණනකිනි. එබැවින් තව වසර සිය ගණනක් යනතුරු මේ ප්‍රදේශයේ සිදුවන භූමිකම්පාවලින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් නැත.

මේ භූ තැටිය නිර්මාණය වන කාලය වනවිට මිනිස් සත්වයා මිහිතලය මත සිටියහොත් අදට වඩා බොහෝ සෙයින් දියුණු වී සිටිනු ඇත. එසේ වුවහොත් ඇතැම් විට භූමිකම්පා කල්තියා හඳුනාගැනීමටත්, ඒවාට වෙනත් පිළියම් සොයාගැනීමටත් සමත්වී තිබෙන්නට ඉඩ ඇත.

නැතිනම් මේ මිහිතලයේ මිනිසුන් වඳ වී ගොස් වෙනත් සත්ව වර්ගයක් අණසක පතුරුවනවා විය හැකිය. එසේත් නැතිනම් සමස්ත පෘථිවි තලයම ජීවීන්නේ තොර ග්‍රහයකු බවට පත්ව තිබෙනු ඇත. කවර තත්වයක් යටතේ වුව ද අප තවමත් සිටින්නේ භූමිකම්පාවලින් සුරක්ෂිිතව බව නම් පැවසිය යුතුය.

එසේ වුව ද අන්තර් ආස්තරණ කලාපයේ හදිසියේ ම ප්‍රභල භූමිකම්පා සිදු නොවන්නේ යැයි අප කියන්නේ නැත.

මෙම ලිපිය සැකසීමේ දී භූ විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය කපිල දහනායක මහතා ලබාදුන් කරුණු ඉවහල්විය

සටහන – සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!