spot_img
spot_imgspot_img

Lockdown ශ්‍රී ලංකාවේ අසීමිතව ඉහළ යන කොටස් වෙළෙඳ පොළ

පුවත්

විදෙස්

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ මෑත ඉතිහාසයේ වැඩිම දෛනික පිරිවැටුම වාර්තා කරමින් අද (23) රුපියල් මිලියන 10,802ක් වාර්තා ක‍රන ලදී.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය, දිනයේ ගනුදෙනු අතරතුර 8,500 සීමාව ඉක්මවූ අතර ගනු දෙනු අවසානයේ එය 8,479ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 239.5කින් ඉහළ යන ලදී.

දිනයේ සුවිශේෂීම සිදුවීම වූයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙතෙක් වටිනාම සමාගම ලෙස අංක 01 ස්ථානයේ පැවැති LOLC සමාගමේ කොටස් වටිනාකම ඉක්මවමින් එක්ස්පෝ ලංකා සමාගම දිනයේ ගනුදෙනු අවසන් වනවිට තම කොටස් වටිනාකම රුපියල් බිලියන 239 ඉක්මවමින් ප්‍රථම ස්ථානයට පත්වීමයි.

දිනයේ ගනුදෙනු ‍අවසානයේ වටිනාම සමාගම ලෙස එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 239ක් ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 233ක් ද, ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 174ක් ද ලෙස සටහන් විය.

එක කොටසක් රුපියල් 14.00ක මූලික කොටස් නිකුතුවකින් අදින් වසර කිහිපයකට පෙර ගනු දෙනු ආරම්භ කළ එක්ස්පෝ ලංකා සමාගම ඉන් පසු මෙයට වසරකට පමණ පෙර එක් කොටසක මිල රුපියල් 2.50ක් දක්වා පහත වැටීමක් සිදුවිය. අද දිනයේ එහි කොටසක වටිනාකම රුපියල් 125.00 ඉක්මවමින් ගනු දෙනු විය.

දිනයේ වැඩිම වටිනාකම් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 4,030යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,143යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 750ක් ලෙස වාර්තා විය.

දිනයේ වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම, රෝයල් සෙරමික් සමාගම සහ හේකාබ් සමාගම කැපී පෙණිනි.

අද දිනයේ සමාගම් දෙකක කොටස් හුවමාරු වීමක් සිදුවූ අතර බීපීපීඑල් සමාගමේ කොටස් මිලියන 05ක් රුපියල් 20.90 බැගින් ද සණස සංවර්ධන බැංකුව කොටස් මිලියන 02ක් රුපියල් 50 බැගින් ද හුවමාරු කරගන්නා ලදී.

දිනයේ වැඩි වශයෙන් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර අම්බන් කැපිටල් සමාගම අද දිනය තුළ පමණක් 24% ද ක්‍රිස්වර්ල්ඩ් සමාගම 24% ද, එක්ස්පෝ ලංකා සමාගම 22% ද වශයෙන් කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 396ක කොටස් අද දිනයේ මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 771ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 375ක මුදලක් ඉවත් කරගෙන ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු අතරතුර කොටස් මිල ඉහළ යන බොහෝ අවස්ථාවන්හි දී විදේශීය ආයෝජකයන් කොටස් විකුණන අතර කොටස් මිල පහළ යන අවස්ථාවල දී කොටස් මිල දී ගෙන තම ආයෝජනයන් සඳහා වඩාත් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමට සමත්ව තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර කාර්ගීල්ස් සමාගම, රුපියල් මිලියන 68යි, ෆ්‍රීඒකඒ ෆාම් සමාගම රුපියල් මිලියන 17යි, සීඩීබී (X) රුපියල් මිලියන 08ක් ලෙස ද කොටස් විකුණූ සමාගම් අතර හේමාස් සමාගම රුපියල් මිලියන 429ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 22ක්, ටෝකියේ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 19ක් ලෙස කැපී පෙණිනි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොක්ඩවුන් කර ඇති සෑම වකවානුවක දී ම කොළඹ කොටස් වෙළෙඳ පොළ අසීමිත වර්ධනයක් පෙන්වන බව අප සිකුරාදා (20) දිනයේ දී සඛ්‍යාලේඛන දත්ත සහිතව වාර්තා ක‍රන ලදී (එම ලිපිය මෙතැනින්). එය නිවැරදි බව සනාථ කරමන් කොටස් වෙළෙඳ පොළ අද වාර්තාගත ඉහළ ගියේය.  මෙතෙක් ඉතිහාසයේ වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය ලෙස සටහන්ව ඇති 8,812ක ප්‍රමාණය 2021 ජනවාරි 27 වැනි දින වාර්තා කර තිබේ. එම සීමාව ඉක්මවමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කෙටස් මිල දර්ශකය ඉතා ඉක්මණින් ඒකක 9,000 ඉක්මවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!