spot_img
spot_imgspot_img

උණවටුන රූගත කිරීම සෞඛ්‍ය ආරක්ෂිත බව එහි නිෂ්පාදන කණ්ඩායම කියයි

පුවත්

විදෙස්

උණවටුන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විදේශීය රූපවාහිනී වැඩසටහන් මාලාවක් රූගත කිරිම සෞඛ්‍ය අංශවල අවසරයෙන් සහ අධීක්ෂණය යටතේ සිදුවන බවත්, සිනමා හා ටෙලි නිර්මාණය ද රැකියා උත්පදනය කරන, මුදල් ලැබෙන සහ නිෂ්පාදනයක් සිදුවන කර්මාන්තයක් බැවින් නිරෝධායන නීති අනුව තමන් වරදක් කර නැතැයි ද එහි නිර්මාණ කරුවෝ rata.lk වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් කියා සිටියහ.

“නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු” යනුවෙන් අපි ඊයේ (18) ලිපියක් පළ කළෙමු. එහි දැක්වූයේ එම රූගත කිරීම්වල දී නිරෝධායන නීති උල්ලංඝනය වන බවයි.

මෙම ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි නිෂ්පාදක කණ්ඩායම වන The Film Team නිෂ්පාදක කණ්ඩායමේ ප්‍රධානී එයින්ස්ලි ද සිල්වා මෙසේ කීවේය.

“නිරෝධායන රෙගුලාසි පසුගිය දවස්වල වෙනස්වුණත් කර්මාන්තශාලා, නිෂ්පාදන ආයතන සහ රැකියා ස්ථාන පවත්වාගෙන යා හැකියි. ඒ අනුව අපි කරන්නේ කර්මාන්තයක්. සිනමා සහ ටෙලි කර්මාන්තය. මේ ස්ථානයේ විදේශිකයන් රැඳී සිටිනවා. අපි විදේශිකයන් ගෙන්වීම ඇතුළු මේ කාර්යය සිදුකිරීමට අවශ්‍ය සියලු අවසර අදාල අංශවලින් ලබාගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපට සෞඛ්‍ය නීති අනුව කටයුතු කරගෙන යාමට අවසර දී තිබෙනවා. ඒ අනුව අපි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ සම්බන්ධ වෙලා දිගටම කටයුතු කරනවා. විදේශිකයන් ද ඇතුළු අපේ නිෂ්පාදන කණ්ඩයාම ඉන්නේ ජෛව බුබුලක් ඇතුළේ. ඒ අය දින තුනකට වතාවක් ඇන්ටිජන් පරික්ෂණළුලට ලක්කරනවා. අවශ්‍යයැයි හැඟෙනවානම් පීසීආර් පරීක්ෂණත් කරනවා.”

ඔහු පවසන්නේ මෙම රූපවාහිනී කතා මාලාවේ පසුතල දර්ශන සඳහා ගැමියන් සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව සහභාගී කරවාගන්නා බවයි. ඔවුන් දිනපතා නොගෙන්වන බවත් වරින් වර රූගත කරන ස්ථානයට ගෙන්වන බවත් හෙතෙම කීවේය. ඒ ගෙන්වන සෑම අවස්ථාවක දී ම ඔවුන් සියලු දෙනා ම ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කරන බව ද හෙතෙම පවසයි.

“ගමේ අය ගෙන්වනවා. ඒක ඇත්ත. ඒ අය ගෙන්වන දිනවල දී අපි පුද්ගලික රෝහලකින් කණ්ඩායමක් ගෙන්වා සෑම කෙනෙකුටම ඇන්ටිජන් පරික්ෂණ සිදුකරනවා. සාමාන්‍යයෙන් දිනකට උපරිම පැමිණෙන්නේ 100ක් වැනි පිරිසක් පමණයි. ඒ හැමෝටම අපි දිනපතාම ඇන්ටිජන් කරනවා. රූගතකිරීම් පටන්ගන්න පැය ගණනකට ඉස්සෙල්ලා ඇන්ටිජන් පටන් ගන්නේ. ඇතැම් දවස්වල උදේ 5.00 විතරත් පටන් ගන්නවා. ඒ වගේම පසුගිය දිනවල සැණකෙළි දර්ශනයක් රූගත කළා. ඒ වෙලොවේ පවුල් වශයෙන් පැමණීමට කිව්වා. ඒ පැමිණෙන පවුල් එකිනෙක හමු නොවීමට පවා අපි වගබලාගත්තා.”

අපේ රූගත කරන ස්ථානයක දී කරන ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයන් හමුවුණොත් ඒ ගැන සෞඛ්‍ය අංශවලට දැනුම් දෙනවා. අපි කිසිම අවස්ථාවක දී අපේ ජෛව බුබුල බිඳ වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ ඕනෑම කෙනෙකුට ඇවිත් මේ ස්ථානය පරීක්ෂා කළ හැකියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ The Film Team ශ්‍රී ලංකා ස්ථාන කළමනාකරු සුජීව තලංගම මෙසේ කීවේය.

“අපේ කණ්ඩායමට පොලිස් නිලධාරීන් දෙදෙනකුත් ඇතුළත් කර තිබෙනවා. නිතරම අපි සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධව සිටිනවා. අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා සෞඛ්‍ය ආරක්ෂිතව මෙය පවත්වාගෙන යාම. ඒ නිසා අපි හැමෝගෙම සෞඛ්‍ය ආරක්ෂාව ගැන බලනවා. සාමාජිකයන් 07 දෙනෙකුගෙන් යුතු කොරෝනා ආරක්ෂිත කළමනාකරණ ඒකකයක් ද අපි පවත්වාගෙන යනවා. ඔවුන් අපි සිටින සෑම ස්ථානයක් ම විෂබීජහරණය කරනවා. ඒ තරම් ආරක්ෂිතවයි අපි කටයුතු කරන්නේ.”

ජාතික චිත්‍රපට සංස්ථාව පවසන පරිදි “Good Karma Hospital” යනුවෙන් සිදුකරන මෙම රුපවාහිනී වැඩසටහන් මාලාවේ කථාංග මාලා 03ක් මේ වනවිට 2016, 2017 සහ 2018 වර්ෂවල දී ශ්‍රී ලංකාවේ රූගත කර තිබේ. මේ රූගත කරමින් සිටින්නේ එහි හතරවැන්නයි. මේ සඳහා ආයෝජනය රුපියල් බිලියන 2.6 හෙවත් රුපියල් මිිලන 2,600ක මුදලකි.

“රටේ සියලු දේ නැවතිලා. ආර්ථිකය කඩා වැටිලා. විශේෂයෙන් ම සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂ‍ේත්‍රයත් විනාශ වෙලා. මේ ක්ෂේත්‍රයෙන් ජීවත් වූ දහස් ගණනකට රැකියා ආදායම් මාර්ග නැති වෙලා. මේ රූගත කිරීම් 2019 පාස්කු ප්‍රහාරය නිසා සිදුවුණේ නැහැ. කොරෝනා නිසා 2020 සිදු වුණේ නැහැ. 2021 දී මෙය නැවත පටන්ගත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකරන්න.” යැයි සුජීව තලංගම වැඩිදුරටත් කීවේය.

මෙම රූගත කිරීම් සඳහා වසංගත රෝග ප්‍රධානී වෛද්‍ය සුදත් 2021 මාර්තු මස 21 වැනි දින අවසර ලබා දී තිබේ. එමෙන් ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ද මේ සඳහා අනුමැතිය දී තිබෙන බව ඔවුන් සතු ලිපියක දැක්වෙයි. එම දෙදෙනා විසින් ම නිකුත් කළ ලිපිවල දැක්වෙන්නේ නිරෝධායන නීති හා සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම සඳහා අනුමැතිය ලබාදෙන බවයි.

මේ වනවිට නිරෝධායන රෙගුලාසි අනුව කිසිම ස්ථානයකට පිරිස් රැස්කිරීමට අවසර නැත. මෙය කර්මාන්තයක් බව සත්‍යයකි. නමුත් කර්මාන්තශාලාවක ඇති පරිසර සාධක සහ සිනමා හෝ ටලි නිර්මාණයක් රූගත කිරීමේ දී ඇති පාරිසරික සාධක එකිනෙක වෙනස්ය.

මේ පිළිබඳ අපි දකුණු පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ දැනට පවතින සෞඛ්‍ය නීති අනුව කිසිදු ආකාරයකින් සෙනඟ රැස්වන කාර්යයක් කළ නොහැකි බවයි.

පැමිණෙන සෑම පුද්ගලයකුම ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කළ ද ඇන්ටිජන් පරීක්ෂණයක් යනු රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයක් විනා ‍වළක්වාගැනීමේ පරීක්ෂණයක් නොවන බැවින් එම තර්කය පිළිගත නොහැකි බව ද හෙතෙම කීවේය.

සෞඛ්‍ය නිලධාරීන් මෙසේ පවසයි.

“ජීවිතයේ වැදගත්ම අවස්ථාව වන විවාහ උත්සව සැළසුම් කරපුවා පවා සම්පූර්ණයෙන් ම තහනම් කළා. ඒ කොරෝනා පැතිරීම වළක්වන්න. විවාහ ලියාපදිංචිය සඳහාත් සහභාගී විය හැකිවෙන්නේ මනාල යුවළ, දෙපාර්ශවයේ දෙමාපියන්, රෙජිස්ට්‍රාර් හා සාක්ෂි කරුවන් දෙදෙනකු පමණයි. ඇන්ටිජන් කරලා ඒවා නෙගටිව් කියලා මේ විදියට සෙනඟ රැස්කරන්න පුළුවන්නම් විවාහ උත්සවවලටත් ඒ අවසරය දෙන්න තිබුණා. මේ වැඩේ වැරදියි. ඒ අය ඉහළින් අවසර ගත්තත් වැරදි වැඩේ වැරදියි. අපි දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දී තිබෙනවා.”

නිෂ්පාදක කණ්ඩායමේ පැහැදිලි කිරීමෙන් පසු අපි යළි ප්‍රදේශයේ සෞඛය අංශවලින් විමසූ විට ඔවුන් පවසන්නේ ඇන්ටිජන් පරීක්ෂණ පුද්ගලික රෝහල් මගින් සිදුකර ගන්නවා යැයි පැවසුව ද එම ක්‍රමවේදය පිළිබඳ තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බවයි. මේ ස්ථානයෙන් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන ලද කිහිප දෙනකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අමතා තමන් ආසාදිත බව පවසා ඇති බවත් ඔවුන් නිරෝධායනයට යොමුකළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

“එය කිව යුත්තේ ආසාදිතයා නෙවෙයි පුද්ගලික රෝහල. මෙතනට ඇවිත් ඇන්ටිජන් කරනවා යැයි කියන ‍පුද්ගලික රෝහල් තම වගකීම පැහැර හරින බව තමයි එයින් පෙනෙන්නේ” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරියකු අපි සමග කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!