spot_img
spot_imgspot_img

“කොළඹ අවදානම්. අත්‍යාවශ්‍ය දෙයක් හැර අන් සියලු දේ නවත්වමු” – රෝසි සේනානායක

පුවත්

විදෙස්

කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් සහයෝගය තමන් මහත් සේ අගයකරන බව ‍කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

අත්‍යාවශ්‍ය ම කරුණකට සහ රැකියා අවශ්‍යතාවලට හැර නිවසින් පිටතට නොයන ලෙසත් ආරක්ෂිතව නිවසේ රැඳී සිටින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා තිබෙන අවස්ථාවක දී කොරෝනා මර්ධනය සඳහා සෞඛ්‍ය අංශවෙත එම වෙළෙඳ ප්‍රජාව ලබාදුන් සහයෝගය ලාභය ගැන නොව ජනතාවගේ ජීවිත ගැන සිතා ගත් තීරණයක් බව ද නගරාධිපතිනිය පවසයි.

කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවන ප්‍රමාණය හා ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයන් ද ඇතුළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කරුණු ඉදිරිපත් කරමින් රෝසි සේනානායක මහත්මිය පවසන්නේ කොළඹ නගරයේ ද අත්‍යාවශ්‍යම සේවාවන් හැර අනෙක් සේවාවන් සහ ව්‍යාපාරික කටයුතු සති කිහිපයකට නැවත්වීම වඩාත් ඵලදායී වනු ඇති බවයි.

දැනට මෙරට සියලුම රෝහල් උපරිම ධාරිතාවට පත්ව ඇති අතර කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් ද ඉතිරිව ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණි. දිනකට හමුවන ආසාදිතයන් සංඛ්‍යාව 3,500 ඉක්මවා ඇති අතර සිදුවන මරණ සංඛ්‍යාව ද 170ක සීමාවට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය මෙසේ කීවාය.

“අපි ඉතාමත්ම භයානක තැනකට ඇවිත් ඉන්‍‍නේ. පැහැදිලිව ම මේ වනවිට කොළඹින් වාර්තාවන රෝගීන්ගෙන් 98%ක් ම ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් වාර්තාවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තහවුරු කළා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ දී ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් හමුවූ බවත් එම විශ්වවිද්‍යාලය කියනවා. ඒ විකෘති තුන හමුවී ඇත්තේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින්. මේ නිසා අපි ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා කරුණාකර මේ තත්වය තේරුම් ගන්න. අපේ රෝහල් පිරිලා, දැඩි සත්කාර ඒකක ඉඩ නැති වෙමින් තියෙන්නේ. වෛද්‍යවරු හෙද හෙදියන් පවා රෝගී වෙලා ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න. කොළඹට දිනකට ලක්ෂ ගණනක් එනවා. මෙය අපි අඩු කළ යුතුයි. ඒ නිසා ඔබ කොළඹ නගරයට එනවානම් ‍වරක්, දෙවරක් නොවෙයි කිහිප වතාවක්ම හිතන්න මට මේ ගමන නොගිහින් ඉන්නම බැරි ද කියලා. අත්‍යාවශ්‍යම දෙයකට හැර කොළඹට එන්න එපා. ඒ වගේ ම මම අපේ කොළඹ නගරයේ සිටින ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා, ඖෂධහල්, ආහාර අළෙවි සැල් හැර අනෙක් සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළෙඳ සහ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව ටික දිනකට වහන්න කියා. මේවා විවෘතව තබනවිට ඔබට, ඔබේ සේවකයන්ට, ඒ වගේම ඔබේ ගනුදෙනු කරුවන්ට කොළඹට පැමිණීමට සිදුවනවා. එය කොරෝන කොළඹට ඇවිත් කොළඹ සිට පැතීරමට හේතුවෙක් වෙනවා. මේ වෙලාවේ ටික දිනකට ඔබ ඔබේම ජීවිත ආරක්ෂාව, ඔබේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව ගැන සිතලා අපේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න කියා මම නැවත සිහිපත් කරනවා.”

ඇය පවසන්නේ කොරෝනා පැතිරීමත් සමඟ නගර කිහිපයකම වෙළෙඳ ව්‍යාපාරිකයන් එක්වී සියලුම ව්‍යාපාරික හා සේවා ස්ථාන වසා දැමීමට ගත් තීරණය තමන් අගය කරන බවයි.

සෞඛ්‍ය අංශ කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටිය දී එයට සහායදීමක් ලෙස නගරවලට ජනතාව පැමිණීම වැළැක්වීම සඳහා ඔවුන් එලෙස තීරණය කර තිබීම මෙවැනි අවස්ථාවක අගය කළ යුතු ක්‍රියාවක් බව ද ඇය පෙන්වා දුන්නාය.

“ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වෙලාවේ රටේ ආර්ථිකය සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යමින් කොරෝනා පාලනය සඳහා දැඩි උත්සායක නිරතව සිටිනවා. නගරාධිපතිනිය හැටියට මම සියලුම ජනතාවගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සංචරණය සීමා කිරීම සඳහා ඔබේ සහයෝගය උපරිම ආකාරයෙන් ලබාදෙන්න කියා. කොරෝනා පාලනය කිරීමට ඔබේ සහය අත්‍යාවශ්‍යයි. ඔබ ලබාදෙන සහයෝගය ඔබේ දරුවන්ගේ මව් පියන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට ඉතාත් වැදගත් වේවි.”

ඇය පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාවක් පවතින බවයි. නමුත් මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එයට දරාගත නොහැකිවීමෙන් ගැටලු මතුවෙමින් පවතින බව ද නගරාධිපතිනිය කීවාය.

පසුගිය දා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය (SEAR) සහ ශ්‍රී ලංකාවේ WHO කාර්යාලය සමඟ එක්ව සකස් කරන ලද වාර්තාව පිළිබඳව ද ඇය මෙහි දී සිහිපත් කළාය.

“මේ වාර්තාව මම කියවා බැලුවා. එය සකසා තිබෙන්නේ රජයේ නිල දත්ත උපයෝගී කරගෙන වාර්තාවන රෝගීන් සහ මරණ සංඛ්‍යාව අරගෙන මේ අගෝස්තු මාසය අවසන්වන විට රටේ ජනතාවගෙන් 50%ක් එන්නත් කර අවසන් වනු ඇතැයි අනුමාන කරමින් වාර්තාව හදා තිබෙනවා. නමුත් එය ඉතාමත් භයංකාර වාර්තාවක්. එහි දැක්වෙනව මේ විදියට ඔබ සංචරණය කළොත් සැප්තැම්බර් මාසය මද වනවිට දිනකට හමුවන රෝගීන් ගණන 6,000 දක්වා වැඩි වී ඔක්තෝබර් මුල් සතිය වනවිට දිනකට මරණ 220 දක්වා ඉහළ යා හැකි බව. ඒ වගේම ඔවුන් කියනවා දිනකට දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් ගණන 275ක් වේවි කියලා.

පහත දක්වා ඇති අනාවැකි ඔවුන් විසින් ගොනුකර තිබූ අතර ඒ සඳහා පදනම් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකක දත්ත උපයෝගී කරගනිමින්, වාර්තා වූ රෝගීන් සහ මරණ මෙන් ම අගෝස්තු අවසානය වන විට ජනතාවගෙන් 50% ක් සම්පූර්ණයෙන්ම එන්නත් කරනු ඇතැයි යන උපකල්පනය මත ය. මේ විදියටම ගියොත් 2022 ජනවාරි වනවිට අපේ ‍රටේ 30,000ක් පමණ කොරෝනා නිසා මියයාවි කියලත් ඔවුන් පවසනවා.”

“නමුත් අපි සති හතරක කාලයක් දැඩිව පාලනය වුණොත් අපි ගමන් බිමන් සීමා කරගත්තොත් දිනකට වාර්තාවන රෝගීන් ගණන 1,000ක් දක්වාත් දිනකට සිදුවන මරණ 25ක් දක්වාත අඩුකරගන්න පුළුවන් බව මේ විශේෂඥයන් පවසනවා. ඒ වගේ ම දැඩි සත්කාර ඒකක අවශ්‍යවන පිරිසත් දිනකට 25ක් දක්වා අඩුකරගත හැකිවන බවත් 2022 ජනවාරි වනවිට සිදුවන මරණ ගණන 18,000ක් වළක්වාගත හැකි බවත් ඒ වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඉතින් අපි තෝරාගන්නේ තෝරාගත යුත්තේ මොන මාර්ගය ද ? අපි ගෙදර වී ඉඳිමු අත්‍යාවශ්‍ය නොවන සෑම සේවා ස්ථානයක් ම සෑම ව්‍යාපාරික ස්ථානයක් ම ටික දිනකට වසා දමා කොරෝනා මර්ධනයට අපි හැමෝම දායක වෙමු කියලා මම සියලු දෙනාගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.”

නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කරන්නේ රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් කොරෝනා මර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසිය.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අංශ ප්‍රමුඛ රජයටත් කොළඹ මහ නගර සභාවටත් මේ දුෂ්කර අවස්ථාවේ අවශ්‍ය සහය ලබාදෙන ලෙස  ද ඇය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!