spot_img
spot_imgspot_img

කරාපිටියේ දොස්තර කියන්නේ බොරු. හොර බෙහෙත විකිණීමට ජනතාව නොමඟ යවයි

පුවත්

විදෙස්

ලේ විෂ වී වකුගඩු ද ආසාදනය වී මියගිය පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් හුස්ම ගැනීමට නොහැකිව මියගියේ යැයි වෛද්‍ය උදාර සම්පත් විසින් කරන ප්‍රකාශය හිතාමතාම සැළසුම් සහගතව ජනතාව නොමග යැවීමක් බව rata.lk වෙත තහවුරු වී තිබේ.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන්නේ කොරෝනා රෝගීන් මරණයෙන් ගලවාගැනීමට තමන් විසින් අලුතෙන් සොයාගත්තා යැයි පවසන ව්‍යාජ නිෂ්පාදනයක් අළෙවි කරගැනීමේ පටු අරමුණෙන් බව ද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙති.

ඔහුගේ ව්‍යාජ නිෂ්පාදනය පිළිබඳ ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාගේ සාක්ෂි සටහන් කරගෙන ඇතත් ඒ පිළිබඳ මෙතෙක් ඉදිරි ක්‍රියාමාර්ග දේශපාලන බලපෑමෙන් යටපත් වී තිබේ.

වතමන් රජයේ ප්‍රකට ආධාරකාරියක වූ රංගන ශිල්පී ඖෂධී මද්දුමහේවා ‍එම ව්‍යාජ ඖෂධය බෙදාහැරීමේ කාර්යයට සම්බන්ධ කොටස්කාරියකි. ඇය පොලිස් ප්‍රධානින්ට ද මැති ඇමතිවරුන්ට පමණක් නොව මාධ්‍ය ආයතනවලට ද කතා කරමින් මෙම පරීක්ෂණ යට ගැසීමටත් තවදුරටත් ප්‍රචාරය ලබාගැනීමටත් සාකච්ඡා කර තිබේ.

වෛද්‍ය ගුණවර්ධන මේ බව කියා සිටියේ පසුගිය 16 වැනි දා ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. ඔහු විසින් නිෂ්පාදනය කළා යැයි කියමින් අළෙවි කරන Megha Prima නමැති නිෂ්පාදනයකට ප්‍රචාරයක් ලබාගැනීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

ඔහු පවසන්නේ තමන් මාධ්‍ය හමුවට පැමිණෙමින් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් පුරා හුස්ම අදිමින් සිටි පුද්ගලයකු මියගිය බවයි.

‍මෙය සාවද්‍ය කතාවකි. එවැනි මරණයක් එම 16 වැනි දා දිනයේ හෝ වෙනත් දිනයක කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුව නැතැයි කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය තහවුරු කරයි.

නමුත් 16 වැනි දා පෙරවරුවේ පුටුවක් මත මියගිය රොගියකු කරාපිටිය රෝහලෙන් වාර්තා වෙයි. එම රෝගියා කොරෝනා ආසාදිතයකු නොවන අතර ඔහු වාට්ටුවෙන් පලාගොස් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පුටුවක් මත වාඩි වී සිටිය දී මියගොස් ඇත. ඔහුගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසන්නේ එම මරණය සිදුව ඇත්තේ ලේ විෂවීමකින් සහ වකුගඩු ආසාදනයකින් බව නිගමනය කළ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ හියාරේ, දික්උඩුමුල්ල පදිංචි වීරසිංහ ආරච්චිගේ ශාන්තප්‍රිය නමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.

2014 වර්ෂයේ සිට මුඛ පිළිකාවකට ප්‍රතිකාර ගෙන තිබූ ඔහු තුනටියේ වේදනාවක් බව පවසා ගමේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගෙන තිබේ. එය සුව නොවීම හේතුවෙන් වෛද්‍යවරයාගේ උපදෙස් මත 15 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙනි. ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු වූ බැවින් ප්‍රතිකාර සඳහා 19 වාට්ටුවට ඇතුළත් කර ඇත. පසු දා උදෑසන ද සිය බිරිිඳ රෝහලට පැමිණෙන විටත් වාට්ටුවේ සිටි මෙම පුද්ගලයා ඉන් පසු පලා ගොස් තිබේ.

රෝහල් පොලිසිය පවසන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පුද්ගලයකු මියගොස් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව සොයා බැලීමේ දී ඔහු 19 වාට්ටුවෙන් පලාගිය පුද්ගලයා බවට හඳුනාගෙන හදිසි මරණ පරීක්ෂණයක් සඳහා යොමුකළ බවයි.

ඔහුගේ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පලවලින් නැවත පීසීආර් පරීක්ෂණයක් ද සිදුකර තිබෙන අතර එහි ප්‍රතිඵලය අනුව ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව යළිත් වතාවක් තහවුරු වී ඇතැයි හදිසි මරණ පරීක්ෂක ලොකුගේ කීවේය. ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.බී.ඩයස් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහි නිගමනය වී ඇත්තේ මෙම පුදග්ලයා රුධිරයට විෂබීජයක් යාම හේතුවෙන් වූ ලේ විෂවීමකින් මියගොස් ඇති බවයි. වකුගඩු ආසාදනය වී තිබූ බව ද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත. මේ අනුව මරණය 16 වැනි දා සවස ඥාතීන් වෙත භාර දී ඇත.

එය වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පවසන පරිදි කොරෝනා මරණයක් නොවේ.

ඔහු පවසන මෙම කරුණ සම්බන්ධයෙන් ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මෙසේ කීවේය.

“කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත්තා යැයි කියන කරාපිටියේ වෛද්‍යවරයා රූපවාහිනී නාලිකාවල කාරාපිටියේ ගේට්ටුව ගාව මරණයක් සිදුවුණා කියලා කියපු කතාව මම දැක්කා. ඒක බොරුවක්. ඇත්තටම ඉතාමත් කණගාටුයි මේ වෛද්‍යවරයා එවැනි අසත්‍ය තොරතුරු පවසමින් ජනතාව නොමඟ යැවීම ගැන. මරණයක් සිදුවනවා කියන්නේ එය අධිකරණමය කටයුත්තක්. මරණ පරීක්ෂකවරු හැටියට ඒ පිළිබඳ අපිට විශාල වගකීමක් තියෙනවා. ගේට්ටුව ගාව දී පුද්ගලයකු මියගියානම් ඒ බව අපි දන්නවා. තේරුම් ගත නොහැකි දේ වෛද්‍යවරයා ඇයි මේ වගේ දේවල් ප්‍රකාශ කරන්නේ කියලා.”

මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය අංශයෙන් විමසූ විට අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර, විශ්ෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර සහ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ ‍අධිකරණ වෛද්‍ය යූ,සී.පී. පෙරේරා යන වෛද්‍යවරු තිදෙනාම කියා සිටියේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කියූ සියලු කරුණු අසත්‍ය බවයි.

ඔහු පවසන ආකාරයේ මරණයක් කාරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුව නැති බව ද ඔවුහු පවසති.

කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් ඇතුළත් කරන ක්‍රමවේදයක් තිබේ. කිසියම් පුද්ගලයකු පැය භාගයක් පුරා රෝහලේ ගේට්ටුවක් අසළ රෝද පුටුවක වාඩිවී හුස්ම ගැනීමට අපහසු වී පන අදිමින් සිටීම ඇදහිය නොහැකි දෙයකි. ඉතාමත් කාර්ය බහුල කරාපිටිය රෝහලේ ගේට්ටු අසළ ආරක්ෂක නිලධාරීන් සිටින අතර සෑම මෙහොතකම එම ස්ථානවලින් සෞඛ්‍ය සේවකයන් මෙන්ම වෙනත් පුද්ගලයෝ ද ඔබ මොබ යති. එබැවින් එවැනි රෝගියකු සිටීනම් කරාපිටියේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කිරීම ඉතා ක්ෂණිකව සිදුවිය හැකි දෙයකි. එය  කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු වූ උදාර සම්පත් ගුණවර්ධන හොඳින්ම දන්නා කරුණකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මෙසේ කීවේය.

“මේ කතාව බොරුවක්. මේ වගේ ප්‍රකාශ නිසා ජනතාව රෝහල් ගැන සෞඛ්‍ය පද්ධතිය ගැන තියෙන විශ්වාසය පළුදු කරගන්නවා. මේ වෛද්‍යවරයා එවැනි කතාවක් කීවේ ඇයි ද යන කාරණය අපිට අදාල නැහැ. කොහොම වුණත් කතාව ඇත්තක් නෙවෙයි. ඔහු තවත් තැනක පවසනවා හැමදාම මෝචරිය ඉස්සරහින් යන විට මිනිස්සු මැරි මැරී වළලනවා දකිනවා කියලා. වෛද්‍යවරයෙක් හැටියට ඔහු කළ ඒ ප්‍රකාශය ගැන අපි කණගාටු වෙනවා. කොරෝනා වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙකුට අධිකරණ වෛද්‍ය අංශය, මරණ පරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ තම හිතුමතයට ප්‍රකාශ නිකුත් කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. මෝචරියේ හෝ අපේ ‍අධිකරණ වෛද්‍ය අංශයේ දී කිසිවෙකු මැරෙන්නේ නැහැ. මේ අංශයට මළ සිරුරු ලැබෙනවා. රෝහලේ දී මියයන පුද්ගලයන්ගේ මරණ, රෝහලට ගෙන එන අතරතුරු මඟ දී මියයන පුද්ගලයන්ගේ මරණ සහ නිවෙස්වල මියයන අයගේ මරණන. මේ සියලු මරණ අපි අවශ්‍යතාව අනුව පීසීආර් පරීක්ෂණවලට යොමු කරලා කොරෝනා ආසාදිත ද නැතිද යන්න සොයා බලනවා. දැනට පසුගිය දින කිහිපයේ දී අපිට ලැබුණු මරණ සියල්ල සළකා බැලූ විට රෝහ‍ල තුළ සිදුවන කොරෝනා මරණවලට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ නිවෙස්වල හෝ රෝහලට රැගෙන එන අතරතුර.”

එමෙන් ම අධිකරණ වෛද්‍යවරු පවසන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබෙන මළ සිරුරු කිසිදු ප්‍රමාදයකින් තොරව ඉවත් කරන බවයි. කොරෝන මළ සිරුරු පැය 24ක් ගතවීමට පෙර ආදාහනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසා ඇති බවත් ඔවුහු කියති. මළ සිරුරු 12ක් ලැබී තිබුණු දිනක පමණක් සිරුරු 03ක් පමණක් පසුදින ආදාහනය සඳහා තබාගැනීමට සිදුවූ බව ද ඔවුහු කියති.

“කොරෝනා නොවන මළ සිරුරු අපි ඥාතීන්ට රැගෙන යාමට දෙනවා. ඔවුන්ටත් උපදෙස් දෙනවා පැය 24 අවසන් කටයුතු කළ යුතුයැයි කියා. කොරෝනා ආසාදිත සිරුරු ඉතා ඉක්මණින් ආදාහනය සඳහා යොමුකරනවා. මුස්ලිම් මෘතදේහත් හැකි ඉක්මණින් භූමදානය සඳහා යවනවා. මේවා කාර්යක්ෂමව සිදුවෙනවා. වෛද්‍ය ගුණවර්ධන කියන්නේ අසත්‍යයක්.”

කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝහල් ප්‍රකාශකයකු සංඛ්‍යාලේඛන තොරතුරු පවා ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් සතුව දත්ත ඇතැයි පවසමින් උදාර සම්පත් ගුණවර්ධන කියූ අසත්‍ය තොරතුරු පිළිබඳ තමන් බලවත් සේ කණගාටුවට පත්වන බවයි.

“මේ වනවිටත් අපේ රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් 180ක් පමණ ප්‍රතිකාර ගන්නවා. ඇතැම් දිනවල දී එම සංඛ්‍යාව 200ක් පමණ වනවා. නමුත් රෝහලේ දිනකට කොරෝනා ආසාදිතයන් මැරෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. අපි කියන්නේ නැහැ මැරෙන්නේ නැහැ කියා. එලෙස මියයන බොහෝ දෙනෙක් වෙනත් රෝග සහිතව කොරෝනා ආසාදනය වූ අය. පසුගිය 14 වැනි දා කොරෝනා මරණ 09ක් තිබුණා. ඒ අතරින් රෝ්හලේ දි මියගිය අය සිටියේ එක් අයෙක් පමණයි. 15 වැනි දා රෝහලේ දී මියගියේ දෙදෙනෙක් විතරයි. එදා නිවෙස්වල මැරුණු 03 දෙනෙක් හිටියා. 16 වැනි දා රෝහලේ දී මියගියේ කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් පමණයි. ඊයේ 17 රෝහලේ මරණ කිසිවක් නැහැ.”

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පවසන්නේ තම සහෝදරයා සමඟ එක්ව නව සොයාගැනීමකින් නිෂ්පාදනය කළ කරල කොරෝනා මරණ වැළැක්වීම ප්‍රත්‍යක්ෂ බවයි. නමුත් ඔහුගේ ව්‍යාපාරික කෙටස් කරුවකුවන ප්‍රසිද්ධ ගුරුවරයකු වන චන්දන ජයලත්ගේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ මෙම නිෂ්පාදනයේ ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කරන පුද්ගලයාගේ ද මව කොරෝනා ආසාදිතව මියගියාය. වෛද්‍ය ගුණවර්ධනගේ කරල බොරුවක් බවට එය එක් සාධකයකි.

එමෙන්ම ඔහු මෙම නිෂ්පාදනය එළිදැක්වීමේ උත්සවයේ දී ඔහු සමඟම සිටින ‍ නිෂ්පාදනයේ ප්‍රධාන අළෙවිකරුවකු මෙන්ම ගාල්ලේ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ මාමණ්ඩිය ද කො‍රෝනා ආසාදනය හේතුවෙන් මියගියේය. එයින් ද සනාථ වන්නේ උදාර සම්පත්ගේ නිෂ්පාදනය ඵල රහිත ව්‍යාජ එකක් බවයි.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වරක් කියා සිටියේ තම නිෂ්පාදනය හේතුවෙන් කොරෝනා මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන එක්තරා යූටියුබ් නාලිකාවක කියා සිටියේය. මෙම ඖෂධය කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ලබාදෙනවා ද යන්න පිළිබඳ රෝහලෙන් විමසූ විට එම කො‍රෝනා වාට්ටුවේ වෛද්‍යවරු පවසන්නේ මෙවැනි කතාවකි.

“එයා කරන්නේ බොරුවක්. ඔහොම ඖෂධයක් හදල නෑ. අපිත් එක්කනම් කතා කරන්නේවත් නැහැ එහෙම දෙයක් ගැන. යූ ටියුබ් නාලිකාවලට ගිහින්නම් අමුතු අමතු කතා කියනවා. මේ රෝහලේ කාටවත් එයා එහෙම නිෂ්පාදනයක් දෙන්නේ නැහැ. රෝගීන්ට දෙන්නෙත් නැහැ. හැබැයි අපි දන්නවා පොලිසියට, මාධ්‍යවේදීන්ට වගේ අයටනම් නොමිළයේ ම දෙනවා. ඊට පස්සේ නොමිළේ දෙනවා කියමින් ප්‍රචාරය කරලා මේක විශාල පිරිසකට මුදලට විකුණනවා. මේක බිස්නස් එකක්. එයාගේ බිස්නස් එක හදාගන්න කරන වැඩ මේවා.”

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ එම වෛද්‍යවරයා විසින් සෑදූ බව කියන කොරෝනා මරණ අඩුකිරීමට සමත් නිෂ්පාදනය රෝගීන්ට ලබා දීම සඳහා ඔහු විසින් කිසිදු ඉල්ලීමක් හෝ කර නැති බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මාධ්‍ය හමුවට පැමිණ කරන ලද අසත්‍ය ප්‍රකාශ පිළිබඳ මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති බව ද රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.

ඔහු කියන අසත්‍ය ප්‍රකාශය දෙරණ විකාශය කළ අයුරු මෙහි අවසානයට දැක්වෙයි

අප විසින් මීට පෙර කරන ලද හෙළිදරව් කිරීම්

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!