spot_img
spot_imgspot_img

හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි

පුවත්

විදෙස්

නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මැද කීඹිය පදිංචි 58 හැවිරිදි තිදරු පියෙකි. ඔහු කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ද ලබාගෙන සිටි අයෙකි.

නිවසට කිලෝ මීටර දෙකක් පමණ දුරින් පිහිටි තේ වත්තේ දළු කැඩීම සඳහා කිහිප දෙනකු පැමිණ ඇති බැවින් නිවසෙන් උදෑසන ආහාරය ගෙන වත්තේ වැඩකිරීමට පැමිණි අයට තේ සඳහා අවශ්‍ය කළමනා ද රැගෙන ඔහු සිය යතුරුපැදියෙන් නිවසින් පිටත්ව ගොස් ඇත.

එසේ ගොස් මද වේලාවකින් තේ දළු නෙලීමට පැමිණ සිටි පුද්ගලයකු නිවසට ඇමතුමක් දී පවසා ඇත්තේ මහත්තයා ඇඳ වැටී සිහිය නැතිව සිටින බවයි. මේ ඇමතුම ලබාගත් බිරිඳ තම පුතු සහ දියණියන් දෙදෙනා ද සමඟ කඩිනමින් තේ වත්තට යන විටත් ඔහු එහි ඇඳවැටී සිහිනැතිව සිටිනු දක්නට ලැබිණි.

වැටී සිටි තැනැත්තාගේ පුතු තම පියාට කෘතිම ශ්වසනය දීමට උත්සාහ ගත් බවත් ඒ අවස්ථාවේ දී සැමියාගේ මුඛයෙන් සෙම පැමිණි බවත් ඒවා පුතුගේ මුඛයේ ද ගෑවී තිබුණු බවත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් බිරිඳ (56) පවසයි.

ඔවුන් වහාම ඔහු ඔසවාගෙන් පාරට පැමිණ ඇති අතර, දළු කැඩීමට පැමිණි අයගේ දැනුම් දීම අනුව 1990 ගිලන්රථයක් ඒ වනවිටත එහි පැමිණ තිබිණි. ගිලන්රථයේ හෙදිය පවසා ඇත්තේ එම තැනැත්තා ඒ වනවිටත් මියගොස් ඇති බැවින් තමන්ට සිරුර රැගෙන යා නොහැකි බවයි.

“අපි ඒ වෙලාවේ වෙන මොනවත් ගැන හිතුවේ නැහැ. ගෙදර වාහනේම මහත්තයාව දාගෙන පුළුවන් තරම් ඉක්මනට කරාපිටිය රෝහලට අරගෙන ආවා. කරාපිටිය රෝහලට ඇතුළත් කරන්න හදද්දී කිව්වා මහත්තයා මියගිහින් කියලා.”

එම මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (17) සවස්වන විට ලැබී තිබිණි. ඉන් තහවුරු වූයේ ඔහු මියනවිට කොරෝනා ආසාදනය වී සිටි අයකු බවයි.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ්‍ය ගාල්ල නාගරික අතිරේක මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකරන ලද අතර අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා නිගමනය කර තිබුණේ කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

හදිසි මරණ පරීක්ෂකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය.

“අපේ රටේ ජනතාව මේ අවදානම තේරුම්ගත යුතුයි. ඇතැම් අය හිතනවා කොරෝනා මර්ධන එන්නතේ එක් මාත්‍රාවක් ගත් විට තමන් ආරක්ෂිතයි කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම ඕනෑම නිරෝගී පුද්ගලකු මේ වසංගතය නිසා හදිසියේම මිය යන බව මේ මරණයෙන් තහවුරු වෙනවා. කළ යුතු දේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් උපරිම ලෙස පිළිපදිමින් තමන් හැකිතාක් ආරක්ෂාවීමයි. සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා එන්නත්කරණය සම්පූර්ණ වී ඇත්නම් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාමත් අඩු බව. ඒ නිසා වෙනත් දේවල් ගැන විශ්වාසය නොතියා තමන්ගේ එන්නත්කරණය සම්පූර්ණ කරගැනීමට හැම කෙනෙක්ම උනන්දු විය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!