spot_img
spot_imgspot_img

දේවතා එළි ඔබට ඡායාරූපයට ගත හැකි ද ?

පුවත්

විදෙස්

කැමරාවල සටහන්වන දේවතා එලි පිළිබඳ විටින් විට අසන්නට ලැබේ.

පොහොය දිනවල දී ගමේ පන්සලේත්, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාව සේරුවාවිල වැනි ස්ථානවල දී ත්, ඇතැම් විට ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානවල දීත් ගන්නා ඡායාරූපවල තැන තැන සුදු හෝ කහ පැහැති පැල්ලම් ලෙස දක්නට ලැබෙන්නේ දේවියන්ගේ ආලෝකය බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ

වර්තමානයේ කැමරාව අතීතයේ මෙන් නොව ඉතාමත් සරල උපකරණයක් වී ඇත. ඕනෑම ළමයකුට වුව ද පහසුවෙන් හැසිරවිය හැකි අතරම ජංගම දුරකථනවල ඇති කැමරාව ද වැඩි දියුණු වී තාක්ෂණයෙන් පිරිපුන් උපකරණයක් බවට පත්ව ඇත. ඒවායෙන් ඕනෑම අයකුට ඡායාරූපයක් ගැනීම අතිශය පහසු කාර්යයකි.

ඡායාරූප ශිල්පිය ඉතා සරලවීමත්, සංයුක්ත කැමරාව පැමිණීමත් සමඟ දේවතා එළි සහ ඡායාරූපයන්හි සටහන්වන හොල්මන් හා අවතාර ප්‍රමාණය ද විශාල වශයෙන් වැඩි වී තිබේ. සමාජයේ බොහෝ දෙනකු තම කැමරාවන්හි දේවතා එළි සටහන් වන බවත් විටින් විට අවතර හා හොල්මන් ඡායාරූපයට නැනෙ බවත් මෙය කැමරාවේ දියුණුවත් සමඟ සිදුවූවක් බවත් විශ්වාස කරති.

නමුත් සිදුව ඇත්තේ නවීන ඩිජිටල් කැමරාව වඩාත් සරල සංයුක්ත උපකරණයක් බවට පත්කිරීමේ දී ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙවැනි දේවතා එළි සහ හොල්මන් ඡායාරූපවල සටහන් වීමයි.

මේ පිළිිබඳ අදහස් දක්වන වෘත්තීය ඡායාරූප ශිල්පියකු, කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථිකාචාර්යවරයකු වන ඉන්ද්‍රනාථ තේනුවර පවසන්නේ වර්තමානයේ ‍බොහෝ දෙනකු ගන්නා ඡායාරූඵවල සටහන් වන දේවතා එළි සහ අවතාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සියල්ල සංයුක්ත කැමරා හේතුවෙන් හටගන්නා තාක්ෂණික දෝෂ සමූහයක් බවයි.

නූතන ඩිජිටල් කැමරා මූලික වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. සරල සංයුක්ත කැමරා සහ වෘත්තීය මට්ටමේ කැමරා යනුවෙනි.

වෘත්තීය මට්ටමේ කැමරාවක කාචය විශාලය. එය ගලවා මාරු කළ හැකිය. එමෙන් ම එහි කෘතිම ආලෝක ප්‍රභවය හෙවත් ෆ්ලෑෂ් උපකරණය ද බාහිරින් සවිකළ හැකි සංකීර්ණ උපාංගයකි. නමුත් සරල සංයුක්ත කැමරාවක කාචය ඉතා කුඩාය. කෘතිම ආලෝක ප්‍රභවයත් කැමරාවේ ම ස්ථාපිත කර තිබේ.

සාමාන්‍යයෙන් සෙනඟ ගැවසෙන ස්ථානයක වායුගෝලයේ දූවිලි ප්‍රමාණය අධික වෙයි. එමෙන් ම පිරිත් ගෙවල්, පිරිත් පැවැත්වෙන විහාරස්ථාන, පෙරහැර පවත්වන අවස්ථාවන්වල දී  පොහොය දින විහාරස්ථාන යනු මිනිසුන් අධිකව ගැවසෙන ස්ථාන වෙයි. එවැනි අවස්ථාවක වායුගෝලයේ අධික දුහුවිලි ප්‍රමාණයක් දක්නට ඇත. එමෙන් ම රාත්‍රී කාලයේ වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ද අධිකය.

බෝධි වෘක්ෂයක් හෝ ගස් සහිත වෙනත් පරිසරයක දී ද මෙලෙස වැඩි ජල වාෂ්ප ප්‍රමාණ්‍යක් රාත්‍රී කාලයේ දී තිබීම සාමාන්‍ය විද්‍යාත්මක සත්‍යයකි.

මෙවැනි ස්ථානයක සංයුක්ත හෙවත් Compact ඩිජිටල් කැමරාවක් බාවිතයේ දී බොහෝ විට දේවතා එළි යනුවෙන් වර්තමානයේ විශාල පිරිසක් විසින් විශ්වාස කරන විවිධ වර්ණයෙන් යුතු ආලෝක ලප ඡායාරූපවල දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වේ.

එය ඉන්ද්‍රනාථ තේනුවර විස්තර කරන්නේ මේ ආකාරයෙනි.

“රාත්‍රී කාලවල එලිමහේන දූවිලි විශාල ප්‍රමාණයක් අපිට නොපෙනී තියෙනවා. ඒ වගේ ම ජල වාෂ්ප ප්‍රමාණයත් වැඩියි. මේ වගේ තැනක දී අපි සරල සංයුක්ත කැමරාවක් භාවිතා කරලා ඡායාරූපයක් ගන්නා විට එය කරන්නේ කැමරාවේ ඇති සරලතම ක්‍රමවේදය වූ ඔටෝ හෙවත් ස්වයංක්‍රීය සැකැස්ම භාවිතා කරමින්. මෙවැනි කැමරාවක කාචය ඉතාමත් ම කුඩායි. ඒ වගේම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන කෘතිම ආලෝක ප්‍රභවය නිසා බාහිිර පරිසරයේ තිබෙන දූවිලි අංශුවලට හා ජල වාෂ්පවලට අර ආලෝකය වැදී එය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයකට ලක්වෙනවා. එය කැමරාවේ සටහන් වන්නේ ‍ආලෝක ලප හැටියට.”

“මේවා විවිධ වර්ණයන් ගන්නවා. කහ, රතු, නිල්, දම්, සුදු ආදී වර්ණවලින් දැකිය හැකියි. තවත් විශේෂත්වයක් තමයි මේ ලප විශාල කළ විට පෙනෙන්නේ මලක් වැනි හැඩයක්. ඇතැම් විට මේවා දකින සමහරු හිතනවා අර හ‍ෙඳේ හාවා මවාගෙන ඉන්නවා වගේ මිනිස් මුහුණු ආකාරයෙන්. මේවා දේවතා එළි නොවෙයි. දුහුවිලි සහ ජල වාෂ්පවලට ක්ෂණික අලෝක ප්‍රභවය පතිත වීමෙන් ඇතිවන දෝෂයක් මිසක් දේවතා එළි නොවෙයි.”

වෘත්තීය ඡායාරූප ශිල්පීන් පවසන්නේ වර්තමානයේ ඩිජිටල් සංයුක්ත කැමරාවලට වඩා බොහෝ දියුණු වෘත්තීය මට්ටමේ කැමරාවල මෙවැනි දෝෂ ඇති නොවන බවයි. මේ පිළිබඳ පර්යේෂණයක් සිදුකළ ඉන්ද්‍රනාථ තේනුවර මහතා වරක් තම නිවස පිටුපස ඇති වැසිකිළියක රාත්‍රී කාලයේ සිය වෘත්තීය මට්ටමේ කැමරාව සහ තම දියණිය සතුව ඇති සරල සංයුක්ත කැමරාව භාවිතා කරමින් එකම මොහොතක ඡායාරූප දෙකක් ගත්තේය.

“අපි කැමරා දෙකෙන් ම එකම මොහොතක ඡායාරූප ගත්තා. එතැන ජල වාෂ්ප සහ දූවිලි අධික පරිසරයක් තියෙන්නේ. දුවගේ සරල සංයුක්ත කැමරාවේ නම් වැසිකිළියේ පවා අර දේවතා එළි කියන ලප දක්නට ලැබුණා. ම‍ේග කැමරාවේ නම් තිබුණේ නැහැ. සරල සංයුක්ත කැමරවකින් වැසිකිළියක වුණත් දේවතාවන් ඉන්නවා පෙන්වන්න පුළුවන්” ඔහු කියයි.

වෘත්තීය ඡායාරූප ශිල්පියකු වන විමුක්ති වීරතුංග පවසන්නේ ද සරල සංයුක්ත කැමරාවේ කුඩා කාචය හා එහි ඇති සරල කෘතිම ආලෝක ප්‍රභවය හේතුවෙවන් රාත්‍රී කාලයේ දී පරිසරයේ ඇති ජල වාෂ්ප හා දූවිලි අංශු ආලේාක ලප ලෙස කැමරාවේ සටහන් වන බවයි. හෙතෙම මෙසේ ද කීවේය.

“එය සරල උපකරණයක්. නමුත් මේවාට මේවා වතුරට ප්‍රතරෝධී නෑ. මේ කැමරාව රාත්‍රීයේ ඡායාරූප ගන්නා ඕනෑම අවස්ථාවක කාචයේ හා ෆ්ලෑෂරයේ ජල වාෂ්ප තියෙනවා. එවැනි අව්ස්ථාවක අර ගන්නා ඡායාරූපවල ලප දක්නට ලැබෙනවා. මේක හොඳින් පෙනෙන්නේ අඳුරු තැන ඡායාරූප ගන්නා විට. නමුත් කෘතිම ආලෝකයේ ප්‍රභලත්වය නිසා අර ජලවාෂ්ප ක්ෂණයකින් වියළී යනවා. ඒ නිසා බොහෝ විට දෙවැනි හෝ තුන්වැනි ඡායාරූප වල මේ ලප දක්නට ලැබෙන්නේ නෑ. දේවතාවුන් ඉන්නවා ද නැද්ද කියා මම දන්නේ නෑ. නමුත් මේ විදියට කැමරාවලින් සටහන් වන්නේ නම් දේවතා එළි නොවන බවනම් සියයට සියයක් ම විශ්වාසයි.”

රාත්‍රියේ ආලෝකවත්ව ඇති දාගැබක ඡායාරූප ගන්නා විට දාගැබ හා කැමරාව අතර ඇති විදුලි පහනක් ඇතැම් විට අහසේ ඇති ආලෝක ප්‍රභවයක් ලෙස දිස්වේ. ඡායාරූපයේ මෙය පෙනෙන්නේ අඳුරු අහසේ ඇති හඳුනාගත නොහැකි ආලෝක ලපයක් ලෙසිනි. ඇතැම් විට කැමරාව ‍සෙළවීමෙන් එයට අමුතුම හැඩයක් ලැබී තිබීමට ද ඉඩ ඇත.

(සජීව විජේවීර)

බොහෝ දෙනකු මේවා ද දේවතා එළි ලෙස සළකයි.

වෘත්තීය ඡායාරූප ශිල්පීන් මෙන් ම කැමරා පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයගේ මතය වන්නේ කැමරාවන්හි සටහන් වන මෙවැනි ආලෝක ලප හා ආගන්තුක වස්තු මෙරට ඇති සංස්කෘතික මතවාද හා සම්බන්ධ කර විවිධ සංකල්ප ඉදිරිිපත් කිරීමෙන් හා ප්‍රචාරයක් ලබාදීමෙන් සමස්ත සමාජයම මිත්‍යාව වෙත තල්ලුකර දැමීම ඛේදවාචකක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!