spot_img
spot_imgspot_img

විදේශ සේවයට පණ පොවන හැටි කදිරගාමර්ගෙන් ඉගෙන ගනිමු

පුවත්

විදෙස්

සටහන – සීවලී

විවිධ ක්ෂේත්‍රයන්හි සුදුසුකම්ලත් වෘත්තියවේදීන් විදේශ සේවයට සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර තිබේ. ප්‍රධාන වශයෙන්, ආයතන කිහිපයකින් මෙම පිරිස තෝරාගැනීමට අවධානය යොමුව ඇත.

මෙය, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ, 90 දශකයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමති වූ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාමර්ගේ කාලය තුළ සිදු කරන ලද අවසන් ව්‍යාපෘතියයි.

මෙහි සැළැස්ම වූයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල කිහිපයක ම සිදු කෙරෙන දේශපාලන පත්වීම් අවම කිරීමයි. විදේශ සේවය ආරම්භ වූ දා සිටම, දේශපාලකයින් සිය පවුල්වල අය හා දන්නා හඳුනන විවිධ පුද්ගලයින්ට මෙවැනි විශේෂ පත්වීම් ලබා දී ඇත. වත්මන් රජය යටතේ ද මෙය නොවෙනස්ව පවතී.

වසර ගණනාවක් තිස්සේ, නිසි ක්‍රම වේදයකින් තොරව සිදුකරන ලද බඳවා ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ සේවාව විශාල පසුබෑමකට ලක් විය. රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ පළපුරුද්දක් නොමැති පුද්ගයන් හේතුවෙන් මෙම රික්තය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණ ඇත.

මෙම හිඟය යම් තරමකට විසඳී ඇත්තේ අලුතින් විදේශ සේවයට බඳවා ගත් කණ්ඩායම් රාශියක් සමඟ ය. රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැනි විශේෂිත කාර්යයන් බාහිර වෘත්තීය සහාය ඇතිව ශක්තිමත් කළ හැකිය.

කදිරගාමර් යටතේ සිදුකරන ලද ක්‍රියාවලියේ එක් ප්‍රධාන අරමුණක් වූයේ ශ්‍රී ලංකාවේ ධනාත්මක ප්‍රතිරූපය ඉහළ නැංවීම සහ අයහපත් ප්‍රචාරයන්ට එරෙහිව කටයුතු කිරීම යි. එකල එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් සිය පණිවිඩය ප්‍රචාරය කිරීම සඳහා පැය 24 පුරාම වෙහෙසෙමින් සිටි අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්දව ආයෝජකයින් තුළ විශ්වාසය බිඳ වැටී තිබූ අතර සංචාරක කර්මාන්තය අඩපණ වීම වැනි බොහෝ විනාශකාරී දේ සිදුවිය.

එකල විදේශ අමාත්‍යාංශය තුළ සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවලදී, ඵලදායී අලෙවිකරණ හා සන්නිවේදන සැලැස්මක අවශ්‍යතාවය අවධාරණය විය. කෙසේ වෙතත්, සාධක කිහිපයක් හේතුවෙන් බාහිර ආධාර ඉල්ලා සිටීමට කදිරගාමර් ඉක්මන් නොවීය.

අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා නොදෙන දේශපාලන බලපෑම් ඇති පුද්ගලයින් ලුහුබැඳ නොයාමට පළමුවෙන්ම ඔහු ප්‍රවේශම් විය. මෙම ව්‍යාපෘතියට කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොකළ යුතු බව ඔහු කියාසිටි අතර එයට කිසිදු බාධාවක් ඇති නොවීය.

දිවංඝත ලක්ෂ්මන් කදිරගාමර් මහතා

දෙවනුව, ඔහුට අවශ්‍ය වූයේ විවිධ කාර්යයන් සඳහා තෝරා ගත් වෘත්තිකයන් ඒවා ඉටු කිරීමට සුදුසුකම් ලත් අය බවට සහතික කර ගැනීමයි. එබැවින් ඔහු බඳවා ගැනීමේ සැළැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යාංශයේ ප්‍රචාරක අංශය සමඟ වැඩ කළේය. මෙහි සැලසුම වූයේ, ප්‍රවේශමෙන් තෝරා ගැනීමේ ක්‍රියාවලියකි. පුහුණු සැසි කිහිපයකින් අනතුරුව අපේක්ෂකයන් බඳවාගැනීමට ක්‍රියාවලියක් සකස් කරන ලදී.

තුන්වනුව, සේවා කොන්දේසි පිළිබඳ නිර්ණායකයන් ස්ථාපිත කර කොන්දේසි කෙටුම්පත් කිරීම සිදුවිය. ඉන් ඔබ්බට බඳවා ගැනීමේ ක්‍රියාවලිය හැසිරවීමට විදේශ කාර්යාලයට ඉඩ නොතැබීමට අමාත්‍යවරයා ප්‍රවේශම් විය. පුවත් පත් වල පුරප්පාඩු ගැන දැන්වීම් පළ කළ සමස්ත තේරීම් ක්‍රියාවලියම ඔහු රාජ්ය සේවා කොමිෂන් සභාව වෙත ලබා දුන්නේය. උපදේශක තනතුරට පිළිවෙලින් අවුරුදු 10 ක් සහ අවුරුදු 7 ක පළපුරුද්දක් ඇති උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් අවශ්‍ය විය.

තෝරා ගැනීමේ ක්‍රියාවලියට ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණ දෙකක් ඇතුළත් විය. අයදුම්කරුවන් 250 කට අධික සංඛ්‍යාවක් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටියහ. එයින් තෝරා ගත්තේ 50 ක් පමණි. සම්මුඛ පරීක්ෂණ දැඩි වූ අතර තෝරා ගත හැක්කේ වෘත්තිකයින් පස් දෙනෙකු පමණි. තොරතුරු හා සන්නිවේදන උපදේශකවරුන් වශයෙන් තෝරා ගත් මොවුන්ගේ රැකියාව සම්බන්ද වගකීම් සහ ස්වභාවය රටින් රටට වෙනස් විය.

ජාත්‍යන්තර මාධ්‍යවේදියෙකු වූ අරුණ කුලතුංග ලන්ඩනයේ සේවය කිරීමට, රොයිටර් ආයතනයේ සේවය කළ මොහාන් සමරසිංහ ඔටවා හි සේවයට, බැංකොක්හි සේවය කිරීමට ජාත්‍යන්තර මාධ්‍යවේදියෙකු වන රාජිකා ජයතිකාක, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක විපුල වනිගසේකර මැලේසියාවට සහ මාධ්‍යවේදී සුගීෂ්වර සේනාධීර නවදිල්ලියට තෝරා ගැණින.

මෙම තේරීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ස්වාධීනව සිදු කළ බැවින් මහජනතාවගෙන් ප්‍රශ්න ඇති වූයේ නැත.

මෙම මුල් පියවරෙන් ලැබුණු අවබෝධය විවිධාකාර වේ. බඳවා ගැනීමේ ක්‍රියාවලිය මාස 8 ක් පුරා පැවති නමුත් ඉහළ වෘත්තීය පළපුරුද්දක් සහ අධ්‍යයන සුදුසුකම් ඇති පුද්ගලයින් එහි දී ආකර්ෂණය කර ගන්නා ලදී. සේනාධීර පසුව පැරීසියේ සේවය කළ අතර වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරයි. මැලේසියාවේ සිට ඔස්ලෝ වෙත වනිගසේකර හරවා එවුවේ නෝර්වේහි ප්‍රථම ශ්‍රී ලාංකික මෙහෙවර ආරම්භ කිරීම සඳහා ය.

රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ අරමුණු අතිශයින්ම පැහැදිලි ය. අයහපත් දෑ ප්‍රසිද්ධ කිරීමට එරෙහිව කටයුතු කිරීම සහ වෙළඳාම, ආයෝජනය හා සංචාරක ව්‍යාපාරය ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ඉහළ නැංවීමට රාජ්‍ය තාන්ත්‍රික සැලසුම් සකස් කිරීම වැනි දේ ඒ අතර ප්‍රධාන විය. ඒ සඳහා ඉටු කිරීමට තිබූ ක්‍රියාකාරකම් රටකින් රටකට වෙනස් වූ අතර අමාත්‍යාංශයේ ප්‍රචාරක අංශය සමඟ සාකච්ඡා කර සකස් කිරීමට සිදු විය. තවත් බොහෝ දේ අතර ‘සතුරු මාධ්‍ය හැසිරවිය යුතු ආකාරය’ පිළිබඳ පුහුණුවක් ද ලබා දෙන ලදී.

ඒ ආකාරයේ ම තොරාගැනීමකින් දකුණු අප්‍රිකාවට යැවූ පණ්ඩුක සේනානායක සහ මැලේසියාවේ දී රංග කලන්සූරිය වැනි වෘත්තිකයින්ගේ විදෙස් සේවා විශේෂඥතාව තහවුරු වූ අතර රංග, පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.

මේ ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ගැටලු වලට මුහුණ දුන්හ. කෙසේ වෙතත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා විනිවිදභාවයෙන් පත්කිරීම් සිදුකළ හෙයින් අවම මැදිහත් වීමකින් ඔවුන්ගේ තනතුරු ආරක්‍ෂා කෙරිණි. මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් සිදු කරන ලද කාර්යයන් ප්‍රගති වාර්තා තුළින් නිරන්තරව අධීක්ෂණය කරන ලදී. දිවංගත ඇමතිවරයාට ඕනෑම තනි තීරණයක් ගැනීමේ අවස්ථාව හිමිව තිබිණ.

අනුමාන වශයෙන්, වෘත්තිකයින් විදේශ සේවයට ඇතුළත් කිරීමේ අපේක්‍ෂිත වැඩසටහන සඳහා වර්තමානයේ අමාත්‍යාංශය ද එවැනිම ක්‍රියාවලියක් අනුගමනය කරනු ඇත. දේශපාලන පත්වීම් මත විදේශ සේවයේ සිටින අය රැඳී සිටින්නේ දේශපාලන රැකවරණය නිසා ය. වර්තමාන යෝජනාව එවැනි බලපෑම්වලට භාජනය වුවහොත් එයින් සිදුවන්නේ මුදල් නාස්ති වීමක් පමණක් වන අතර තම සේවා කාලය අවසන් වී ඊළඟ පරම්පරාව භාර ගැනීමට ඉඩ සලසමින් පසුපස අසුනක වාඩි වී සිටින විදේශ සේවා නිලධාරින්ගේ බලාපොරොත්තු සුන් කරවයි.

මෙම ක්‍රියාවලීන්ගේ එකම පරමාර්ථය නම්, ලෝකයේ අගනගර වල ශ්‍රී ලංකාව නිවැරදිව ස්ථානගත කිරීම සඳහා අපගේ විදේශීය දූත මණ්ඩල කාර්යාල, හැකියාවන් සහ කුසලතාවන්ගෙන් යුත් එක නැවතුම් පොළක් බවට පත් කිරීමයි. විදේශ සබඳතා යනු එදිනෙදා ද්විපාර්ශ්වික/බහුපාර්ශ්වික හා ප්‍රොටෝකෝල කටයුතුවලට පමණක් සීමා නොවන සෑම ක්ෂේත්‍රයක ම මිනිසුන් අතර සම්බන්ධතාවයයි.

මේ සම්බන්ධයෙන් කදිරගාමර් ඇමතිවරයාට පැහැදිලි දැක්මක් තිබුණි. ඒ නිසාම අපි ඔහුව විදේශ කටයුතු පිළිබඳ දූරදර්ශී ඇමතිවරයෙකු ලෙස හඳුන්වමු.

මෙම ලේඛකයා බහුපාර්ශ්වික ක්‍ෂේත්‍රයන්හි පුළුල් පළපුරුද්දක් ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි. එම ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි සිංහල බසින් rata.lk වෙබ් අඩවියේ පළ කිරීම සඳහා factum.lk සහ rata.lk සහයෝගීතාවකට එළැඹ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!