spot_img
spot_imgspot_img

“මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ” – මෙරට වෛද්‍යවරයකුගේ අනුවේදනීය සටහන

පුවත්

විදෙස්

අවුරුදු හතළිස් ගණන්වල ඉන්න අම්මා කෙනෙක් තම කුඩා දියණිය ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳලා මැරෙද්දී, ශ්වසන ආධාරක යන්ත්‍රයකට සවිකරලා නිසා කතා කරගන්න බැරිව ඉන්න බිරිඳක් තමන්ගේ මහත්තයාගේ අතින් අල්ලගෙන ඇස්වලින් තමන්ගේ සමුගැනීම ප්‍රකාශ කරල මැරෙද්දී. නිවුන් දරු උපතකට සූදානම් වෙන තමන්ගේ ආදරණීය බිරිඳට කරන්න තියෙන හැමදේම කරලා බැරිම තැන අමාරුවෙන් සොයාගත්තු දැඩි සත්කාර ඒකකයට යවද්දී 27 හැවිරිදි තරුණ සැමියා බලාගෙන ඉන්නවා දකිද්දී “රැකියාව පිළිබඳ මානසික ආතතිය” කියන දැන් තමයි අත්විඳින්නේ යැයි ඉතාමත් අනුවේදනීය සටහනක් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ඒකකයේ වෛද්‍යවරයකු වන නජිත් ඉන්දික ‍facebook හි අනුවේදනීය සටහනක් තබා තිබිණි.

ඒ සටහනින් පැහැදිළි වන්නේ තවමත් මේ රටේ බහුතර ජනතාවක් සහ විශේෂයෙන් ම රට කරවන පාලකයන් විසින් තේරුම් ගෙන නොමැති කොරෝනා පිළිබඳ යථාර්ථයයි.

නජිත් ඉන්දික වෛද්‍යවරයා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුවල සේවය කරන්නේ තවත් වෛද්‍යවරු 11 දෙනකු සහ හෙද හෙදියන් 30 දෙනකු පමණ පිරිසක් සමගිනි.

ඔහු මෙස් පවසයි

“අපි කොරෝනා වාට්ටු දෙකක වැඩ කරනවා. මේ වෙද්දී වාට්ටු පිරී ඉතිරී ගිහින්. ඇඳන්වල විතරක් නෙමෙයි. පුටුවලත්, බිමත් කොරෝනා රෝගීන් 100ක් පමණ දිනපතා ප්‍රතිකාර ගන්නවා. මෙතෙක් අපෙන් ප්‍රතිකාර ගන්න ආපු කොරෝනා රෝගීන් ප්‍රමාණය, ඔවුන්ට අමාරු වෙන ආකාරය, ඔක්සිජන් දිය යුතු රෝගීන් ගණන, අමාරුවෙන රෝගීන්ගේ වයස් මට්ටම් මේ හැම දෙයක් ම එක සතියකින් වෙනස්වුණේ බලාගෙන සිටිය දී.”

වෛද්‍යවරයා පවසන්නේ එය විශාල වෙනසක් බවයි.

ඔහු පවසන ආකාරයට වාට්ටුවට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව තුන්ගුණයකටත් වඩා වැඩි වී තිබේ. එලෙස රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ රෝගීන් ඇතුළත් කිරීම රෝග ලක්ෂණ සහිත රෝගීන්, වෙනත් ආබාධ සහිත රෝගීන් පමණක් යැයි යනුවෙන් වර්ග කර තෝරාබේරාගෙන ඇතුළත් කරන තත්වයක් ද තිබිය දී ය. මීට පෙර අවුරුදු 70-80 වයස්වල පසුවන අය අසාධ්‍ය තත්වයට පත්වුව ද දැන් එය වෙනස් වී වයස අවුරුදු 30-40 කාණ්ඩයේ අය අසාධ්‍ය තත්වයට පත්වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද ඔහු පවසයි.

ඔක්සිජන් සැපයුම හා ඊට අවශ්‍යකරනු ලබන යන්ත්‍ර උපරිම සීමාව යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින තත්වයක දී මිනිසුන් මැරෙන්නේ බලා සිටිය දී බව ද වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.

ඔහු මෙසේ පවසයි.

“ඔක්කොටම වඩා අමාරු දේ තමන්ගෙ ඇස් ඉස්සරහ අනෙක් අය මැරෙද්දි, අමාරුවෙන් හුස්මගන්න රෝගීන් ‘මොනවා හරි කරලා තමන්ව බේරාගන්නවා නේද ?’ කියන බැල්මෙන් අපි දිහා දුකෙන් බලන හැටි දැකීම”

වෛද්‍යවරයා පවසන්නේ මීට පෙර දින දෙකකට එක්කෙනෙක් වගේ මියගියපු අවිස්සාවෙල්ල රෝහලේ දැන් දවසකට හතරක් පහක් මියයන තත්වයට පත්ව ඇති බවයි.

“තව සති දෙකක් මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වයට අපේ රට පත්වෙනවා.” යැයි වෛද්‍යවරයා සටහන් තබා ඇත.

ඔහු පවසන්නේ වෛද්‍යවරයකු වූ තමන් “රැකියාව සම්බන්ද මානසික ආතතිය” කියන දේ අහළ, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ නොසිටි බවයි. ඒක කොතරම් අසීරු දෙයක්ද කියල දැනෙන්නෙ දැන් යැයි වෛද්‍යවරයා පවසයි. මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන “සීමාවාසික අවුරුද්ද”(Internship) ඇතුළත නම්, මේ ඊයෙ පෙරේද ඉඳන් දැනෙන අමාරුකම දැනුනෙ නෑ කියන එක ස්ථිර බව ද ඔහුගේ මතය වී තිබේ.

“මේ ඔක්කොම එකම දවසක වෙද්දි ඔලුවට දැනෙන බර, අමාරුව, ඇත්තටම අමාරුයි. කලින්ට වඩා වැඩකිරීම, වැඩ වැඩිවීම නිදිමැරීම නෙමෙයි ගැටලුව. ඔළුවට දැනෙන මේ බර වැඩිවීම. මේ සියල්ල අපි දරාගනිද්දී රජයේ ඇමතිවරයකු වෙච්ච කෙහෙළිය රඹුක්වැල්ල කියල තිබ්බ කතාව ‘මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න’ කියලා. මට මීට වඩා ශිෂ්ඨ භාෂාවෙන් ලියන්න බෑ. ඒ නිසා ඉල්ලන්නෙ එක දෙයයි. හැකිතරම් ප්‍රවේශම් වෙන්න පුළුවන්කමක් තියේනම් සියලුවැඩ තාවකාලිකව නවත්තලා ගුහාගත වෙන්න. මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ”

මෙම සටහන තැබූ වෛද්‍යවරයා සමඟ කොරෝනා වාට්ටු දෙකේ වැඩ කරන වෛද්‍යවරු 12 න් එක්අයෙකුටත්, හෙදියන් 30 කට ආසන්න ප්‍රමාණයෙන් 10 ක් වගේ ප්‍රමාණයකටත් පහුගිය මාසයක කාලය ඇතුළත කොරොනා වැළඳුණු බව ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!