spot_img
spot_imgspot_img

සෞඛ්‍ය අංශ කියන්නේ බොරු. ඇත්ත මෙන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

පුවත්

විදෙස්

‍කොරෝනා ආසාදිතයන් පිළිබඳ රජය විසින් නිකුත්කරනු ලබන නිල නිවේදනවල විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ තත්වය විකෘතිකර සංඛ්‍යාලේඛන ඉදිරිපත්කරන බවත් අප කියා සිටියේ කො‍රෝනා වසංගතය ආරම්භයේ දී ම ය.

දැන් තත්වය වඩාත් දරුණු වී තිබේ.

කොරෝනා වසංගතය රටම වෙලාගෙන සියලු රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් රෝගීන් පවා නිවෙස්වලම තැබීමට සිදුව ඇති අවස්ථාවක දී රජය සෑම දිනකම රාත්‍රියේ නිකුත් කරන නිල නිවේදනයේ දැක්වෙන්නේ දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව 3,000 සීමාව ආසන්නයෙන් වුව ද කිසිදු දිනයක මෙම සීමාව ඉක්මවන්නේ නැත.

අද (11) දිනයේ දී ද රාත්‍රියේ රජය විසින් නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ අද දිනයේ කොරෝනා ආසාදිතයන් 2,890ක් වාර්තා වී ඇති බවයි.

අප දන්නා තරමින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මීට පෙර අප වෙත පවසා ඇති පරිද අද දිනයේ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන වාර්තාවේ දැක්වෙන්නේ රටේ ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ඊට පෙර දිනයේ වාර්තා වූ දත්තයන්ය. එම දත්ත අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඒවා ලේඛන ගත කර සවස මාධ්‍යයට නිකුත් කරනු ලබයි.

ඒ අනුව අද (11) නිකුත් කරන ලද ආසාදිතයන් 2,890ක් දෙනා ඊයේ මෙරට විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයන් බව සරල පැහැදිලි කරුණකි.

රජයේ නිල සෞඛ්‍ය දත්ත නිකුත්කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අමතරව අපි විවිධ නිල පාර්ශවයන්ගෙන් අවස්ථානුකූලව තොරතුරු හා දත්ත ලබාගනී.

ඒ අනුව අද (11) උදෑසන ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ අද (11) උදෑසන අවසන් වූ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 2,000ක් වාර්තා වූ බවයි.

අපගේ තවත් මූලාශ්‍රයක් වූයේ නැනෙහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් ය. හෙතෙම කියා සිටියේ නැගෙනහිර පළාතෙන් අද (11) උදෑසනින් අවසන් වූ පැය24 දී පමණක් ආසාදිතයන් 837ක් වාර්තා වී ඇති බවයි.

කාලයක සිට ඉතාමත් පැහැදිලි සහ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (11) උදෑසන 9.00න් අවසන් වූ පැය 24 දී වාර්තා වූ රෝගීන් පිළිබඳ දත්ත අද දහවල් නිකුත්කර තිබිණි. එම ලේඛනයේ දැක්වෙන්නේ කොරෝනා ආසාදිතයන් 1,268ක් ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් පමණක් අද (11) උදෑසනින් අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 4,105ක් වාර්තා වී තිබේ.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය රාත්‍රියේ පවසන්නේ ආසාදිතයන් 2,890ක් සමස්ත ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වී ඇති බවයි. මෙය රටම නොමඟ යැවීමකි. සෞඛ්‍ය අමාත්‍යාංශය ර‍ට පුරාම වාර්තාවූ රෝගීන් ගණන යැයි පවසන්නේ දිස්ත්‍රික්ක 07කින් පමණක් හමුවූ රෝගීන් සංඛ්‍යාවටත් වඩා 1,215ක් අඩුවෙනි.

මේ වැරදි තොරතුරු ජනගත කිරීම සිදුවූයේ අද ඊයේ නොවේ. දිගටම මෙය සිදුවූ බවට සාක්ෂි තිබේ.

පසුගිය 08 වැනි දා උදෑසන ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් මාධ්‍යවේදීන්ට ලබාදුන් තොරතුරුවලින් ප්‍රකාශ වූයේ එදින (08) උදෑසනින් අවසන් වූ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 1,839 දෙනකු වාර්තා වී ඇති බවයි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය ද එදින (08) නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් පමණක් ආසාදිතයන් 717ක් වාර්තා වී ඇති බවයි.

එම සංඛ්‍යාලේඛන අනුව දිස්ත්‍රික්ක හතරකින් පමණක් ආසාදිතයන් 2,556ක් වාර්තා වී ත‍ිබේ. නමුත් එදින (08) රාත්‍රියේ නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ ආසාදිතයන් 2,956ක් පමණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය එදින නිකුත් කළ වාර්තාව අනුව අනෙකුත් දිස්ත්‍රික්ක21න්ම හමුවී ඇත්‍තේ ආසාදිතයන් 400ක් පමණි. මෙය කිසිසේත්ම විය නොහැකි දෙයකි.

මෙයින් සනාථ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සත්‍ය තොරතුරු සඟවන බව නොවේ ද ? නැතිනම් තොරතුරු විකෘති කරන බව නොවේ ද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සෞඛ්‍ය අමාත්‍යාංශයට වරක් වැරදි තොරතුරු ලබාදී ඇතැයි චෝදනා කළේය. ඔවුන් තවමත් කරන්නේ එවැනි දෙයකි.

ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!