spot_img
spot_imgspot_img

කොරෝනා ගැන කියන්නේ බොරු ද ? රටම නොමඟ යනවාදැයි සැකයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගතය අධි වසංගතයක් බවට පත්ව පැතිරයමින් තිබුණ ද සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත්කරනු ලබන සංඛ්‍යාලේඛනවල දැඩි පරස්පරයක් දක්නට ලැබෙයි.

එය වසංගතයේ සැබෑ භයානකත්වය ජනතාවගෙන් වසං කිරීම සඳහා සිදුකරනු ලබන කූඨ උපායමාර්ගයක් දැයි බරපතල සැකයක් හටගනී. මීට මාස ගණනාවකට ඉහත දී අප rata.lk වෙබ් අඩවිය මගින් ගාල්ල දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් රෝගීන් වාර්තාවීම හා මරණ වාර්තාවීම පිළිබඳ සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කරමින් රජයේ දත්ත සාවද්‍ය බව ප්‍රකාශ කළෙමු.

මරණ සංඛ්‍යාව දැනට ප්‍රකාශිත මරණ සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව ද සනාථ කළ විට රජය කළේ මරණ පිළිබඳ තොරතුරු ලබාදීමේ දී ඒ ඒ පුද්ගලයන්ගේ පදිංචි ප්‍රදේශය පිළිබඳ දත්ත ලබා නොදී තොරතුරු වසං කිරීමයි.

ඒ හේතුවෙන් මේ වනවිට අපට මරණ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන සකසා ගත නොහැකිව ඇතැයි ව්‍යාජ සංඛ්‍යාලේඛන නිල සංඛ්‍යාලේඛන ලෙස ඉදිරිපත් කරන පුද්ගලයන් සිතනවා විය යුතුය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිල සංඛ්‍යාලේඛන බව පවසමින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු සාවද්‍ය බව ගාල්ල දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කය මත පදනම්ව පමණක් අපට සනාථ කිරීමට හැකියාව ලැබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත්කරන සංඛ්‍යාලේඛනවල කිසිම දිනක ආසාදිතයන් සංඛ්‍යාව 3,000 ඉක්මවන්නේ නැත. එය 3,000ට වඩා අඩු අගයක තබා ගනී.

නමුත් අද (08) උදෑසන ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් මාධ්‍යවේදීන්ට ලාබදුන් තොරතුරුවලින් ප්‍රකාශ වූයේ අද (08) උදෑසනින් අවසන් වූ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 1,839 දෙනකු වාර්තා වී ඇති බවයි.

දකුණු පළාත් කොරෝනා තොරතරු මධ්‍යස්ථානය අද (08) නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ අද උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් පමණක් ආසාදිතයන් 717ක් වාර්තා වි ඇති බවයි.

එම සංඛ්‍යාලේඛන අනුව අද (08) උදෑසන අවසන් වූ පැය 24 දී ගම්පය, ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක හතරෙන් පමණක් ආසාදිතයන් 2,556ක් වාර්තා වී තිබේ. නමුත් අද (08) මෙතෙක් (රාත්‍රී 9.00) වනතුරු නිකුත් කර ඇති ලේඛනවල දැක්වෙන්නේ 2,956කි. ඒ අනුව අද දිනයේ ද ආසාදිතයන් සංඛ්‍යාව 3,000ට වඩා පහළ අගයක් පෙන්වා තිබේ.

නමුත් ගැටලුව වන්නේ වෙනත් නිරවුල්, පැහැදිලි හා සත්‍ය මූලාශ්‍රවලින් අද උදෑසන ලබාගත් තොරතුරු අනුව ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 04හි පමණක් ආසාදිතයන් 2,556 ක් වාර්තා වෙද්දී කොළඹ, කළුතර, රත්නපුර, කුරුණෑගල ඇතුළු අනිකුත් දිස්ත්‍රික්ක 21කින් ම ආසාදිතයන් 400ක් පමණක් වාර්තා වී තිබීමයි.

මෙයින් සනාථ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සත්‍ය තොරතුරු සඟවන බව නොවේ ද ? නැතිනම් තොරතුරු විකෘති කරන බව නොවේ ද ?

මීට ඉහත දිනක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මේ චෝදනාව සෞඛ්‍ය අංශ වෙත එල්ල කළේ ප්‍රසිද්ධියේය. ජනාධිපතිවරයා කියා සිටියේ එක් දිනක දී මරණ 100කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තොරතුරු ඉදිරිපත් කර තිබුණ ද එය අසත්‍යයක් බවයි. බුද්ධි අංශ මගින් ඒ ගැන සොයා බැලූ විට සෞඛ්‍ය අංශ වැරදි තොරතුරු නිකුත්කර ඇති බව තහවුරු වූයේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

අදටත් එය එසේම බව අපට පැහැදිලි කරුණකි. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!