කොරෝනා සමාජගතයි. මාධ්‍ය නිවැරදි දේ කිව යුතුයි

0
408

(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා විසිනි.)

වසංගතවේදයේ දී අහඹුවක් නොවන රෝගීන්ගේ එකතුවන් පොකුරක් (cluster) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Brandix ආයතනය තුල විශාල කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවීම පොකුරක් ලෙස හැදින්විය හැකියි.

මේ අතර එවැනිම තවත් ආයතන ගණනාවක් තුළද දැනට හමුවන රෝගීන්ගේ එකතුවීම් එවැනි පොකුරු ගණනාවක් ලෙස සැලකිය හැකි වුවත් ඒවා Brandix පොකුරේ කොටස් නොවේ.

එසේ නමුදු මේ සියල්ල ඔක්තෝබර් මාසයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇතිවූ කොරෝනා පොකුරු ලෙස හැදින්විය හැක. එනමුත් මේ සියල්ල එකතැනකට සීමාවූ බව හෝ එකම මුලාශ්‍රයකින් ආරම්භවූ බව ඉන් කියවෙන්නේ නැත. ඉන් තහවුරුවන්නේ මේ ආයතන තුළ බහුලව රෝගය සම්ප්‍රේෂණය වනබව පමණි.

මීට සමාන්තරව සමාජය තුල රෝග පැතිරීම සිදුවන බවට ඇති සම්භාවිතාව වසංගතවේදය අනුව ඉතා ඉහළයි. එනමුදු ආශ්‍රිතයන් ඇසුරු කිරීමේ කාලය සහ ආශ්‍රයේ තීව්‍රතාවය කර්මාන්තශාලාවක් තුල සිටින ආශ්‍රිතයන්ට වඩා බෙහෙවින් අඩු බැවින්, රෝගය පැතිරයාමද ඉතා සෙමෙන් සිදුවේ.

එබැවින් මෙය තවමත් මැනවින් විද්‍යාමාන නොවේ. එනමුදු එකිනෙකට සමාන්තර ආයතන කිහිපයක පොකුරු හමුවීම තුළ ආසාදිතයන්ගේ සමාජ සංචරණය පැහැදිළිවන අතර ආයතනවලින් ඔබ්බට සමාජයේ ආසාදිතයන් ඇතිබවට පැහැදිලි සාක්ෂි සපයයි.

සාරාංශයක් ලෙස දැනට Brandix පොකුරද ඒ අවට තවත් ඇගලුම් කම්හල් වල පොකුරු කිහිපයක්ද පැහැදිලි ලෙස ඇති අතර මේ කර්මාන්තශාලාවල පිහිටීම අනුව මේ දිනවල කොරෝනා පොකුරුගතවිම සිදුවන්නේ මිනුවන්ගොඩ සහ කටුනායක අසල බව පැහැදිලිය. “මිනුවන්ගොඩ පොකුර” යන යෙදුම ව්‍යංගාර්ථයෙන් මේ සියල්ල එකතැනකට ලඝු කෙරෙන සහ ජනතාව නොමග යවන සුළු බැවින් ජනමාධ්‍ය භාවිතයේදී පැහැදිලි සහ තාක්ෂණිකව නිවැරදි තොරතුරු භාවිත කිරීම අත්‍යවශ්‍යය.

මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here