spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අධික විකිණීම් වර්ධනයට බාධාවකි ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ඒකක 198.3කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,017ක් ලෙස වාර්තා විය.

දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 5.1කි. දිනයේ වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,300යි, LOLC සමාගම රුපියල් මිලියන 453යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 412ක් විය කැපී පෙණිනි.

වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම, ඩිප් ප්‍රඩක්ට් සමාගම සහ රෝයල් සෙරමික් සමාඟම හැඳින්විය හැකිය.

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 18ක කොටස් විකුණා මුදල් ඉවත්කරගෙන ඇති අතර විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ත්‍රීඒකර් ෆාර්ම් රුපියල් මිලියන 07යි, ඩිප් ප්‍රඩක්ට් රුපියල් මිලියන 06යි, කාගීල්ස් සමාගම රුපියල් මිලියන 04ක් ලෙසත් ප්‍රධාන විය.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 06යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 04යි, ඩයලොග් සමාගම රුපියල් මිලයන 04ක් වශයෙන් කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ විශාල වශයෙන් පහත වැටීම කෙරෙහි ප්‍රධාන සමාගම් හතරක කොටස් මිල අඩුවීම බලපා තිබේ.

සමස්ත කොටස් මිල දර්ශකය මෙලෙස පහත වැටීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බල පෑ සමාගම් සහ ප්‍රතිශතයන් පිළිවෙලින් LOLC සමාගම 31.63%යි, එක්ස්පෝ ලංකා සමාගම 21.17%යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම 12.97%, වැලිබල් වන් සමාගම 11.05% ලෙසත් දක්නට ලැබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජකයන් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ලාභ ලැබූ සමාගම්වල කොටස් විකිණීමට උත්සාහ දැරීම සමස්ත කොටස් මිල දර්ශකය පහළ වැටීමට ප්‍රධාන හේතුව ලෙස බොහෝ ආයෝජකයන් විශ්වාසය තබා සිටියි.

කෙසේ වුව ද කොරෝනා වසංගතය හමුවේ සම්පූර්ණ සංචරණ සීමා පනවා තිබිය දී වුව ද දිගින් දිගටම කොටස් මිල ඉහළ ගිය කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්තමාන තත්ත්වය හමුවේ මෙලෙස කොටස් මිල පහළ බැසීමට වර්තමානයේ කොරෝනා පැතිරීම හා සම්බන්ධතාවක් නැති බව තවත් ආයෝජකයන්ගේ මතය වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අධික ලාභ ලබන සමාගම්වල මූල්‍ය වාර්තාවල විශාල වර්ධනයක් දැකිය හැකිවීම අධික වශයෙන් ලාභාංශ ගෙවීම සහ ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොළී මුදල අඩුවීම යන කරුණු මත කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මෙලෙස කොටස් මිල පහත වැටීම ඉක්මණින් යථා තත්වයට පත්වනු ඇතැයි බොහෝ ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

විශාල වශයෙන් කොටස් විකිණීම් දැකිය හැකි වුවත්, විදේශීය ආයෝජකයන්ගේ අරමුදල්වලින් තොරව දේශීය ආයෝජකයන් එම විකිණීම් සියල්ල අවශෝෂණය කරන අයුරු දක්නට ලැබිණි. දිගින් දිගටම කොටස් මිල ඉහළ ගිය අවස්ථාවල දී බොහෝ ආයෝජකයන් තමන් ලබාගත් අධික ලාභයන් මුදල් බවට පත්කරගැනීමට උත්සාහ දැරීමත් විකුණන ලද සමාගම්වල කොටස්ම නැවත නැවතත් පහළ මිල ගණන්වලින් මිල දී ගැනීමට උත්සාහ දැරීමත් මෙම තත්ත්වයට හේතුවී ඇති බව පෙනෙන්නට තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!