spot_img
spot_imgspot_img

ඩෙල්ටා ප්‍රභේදය ගැන රටම ඉන්නේ ලොකු මුලාවක. රටම වසංගතයේ ගොදුරක් වෙයි ?

පුවත්

විදෙස්

ලෝකයම වෙලා ගනිමින් පවතින කොරෝනා ඩෙල්ටා විකෘති ප්‍රභේදය ගැන ලොව පුරා විද්‍යාඥයෝ මේ වනවිට දැඩි අවධානයක් යොමුකර පර්යේෂණ රැසක් සිදුකරමින් සිටිති. ඔවුන්ගේ මතය වන්නේ ඩෙල්ටා විසින් ලෝකයම ගිලගනු ඇති බවයි.

ශ්‍රී ලංකාව ද දැන් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ ගොදුරක් වී ඇති අතර ‍මෙරට බොහෝ දෙනකු ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ සැබෑ විද්‍යාත්මක තොරතුරු දන්නේ නැත.

කොරෝනා වයිරසයේ කවර ප්‍රභේදයක් ලෝකය පුරා ප්‍රමුඛ වනු ඇත්ද යන්න පර්යේෂකයන් පු‍රෝකථනය කළේ නම් ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ වනු ඇතැයි යන්න ඔවුන්ගේ පළමු අනුමානය නොවනු ඇත.

නමුත් 2020 දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවේ දී පළමු වරට සොයාගත් දින පටන් වේගයෙන් බෝවෙමින් යන ඩෙල්ටා ප්‍රභේදය දැන් ලෝකයේ ම ප්‍රධාන ප්‍රභේදය බවට පත්ව ඇත. ඇමෙරිකාවෙන් වාර්තාවන රෝගීන්ගෙන් පවා 90%ක් ඩෙල්ටා ආසාදිතයන් වීමෙන් ඒ බව සනාථ වෙයි.

ඩෙල්ටා ප්‍රභේදයේ මතුවීම හේතුවෙන් රටවල් ගණනාවකට එන්නත්කිරීමේ වියදම් වැඩිවීමත්, ලිහිල්කර තිබූ සංචාරක සීමා නැවත පැනවීමටත් සිදුව තිබේ.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව දැනට භාවිතාවන එන්නත් බොහෝ දුරට සාර්ථක ලෙස පෙනුන ද එන්නත් ලබාගත් පුද්ගලයන් ද ආසාදිතයන් බවට පත්වීමේ සම්භාවිතාව වැඩවෙමින් තිබෙන බව පැහැදිළි කරුණකි.

නමුත් මීට පෙර තිබූ ප්‍රභේදවලට වඩා එය එන්නත්කරණය වූ පුද්ගලයන්ටත් දරුණු වීමේ හැකියාවක් තිබේ ද යන්න තවමත් පැහැදිලි නැත.

පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ පරිනාමීය ජීව විද්‍යාඥ වෝන් කූපර් පවසන්නේ “මෙම වසංගතය පැතිරීමේ වේගය වෙනත් කවරදාටත් වඩා විශාලයි” යනුවෙනි. ඔවුන් මේ වනවිට සොයා බලමින් සිටින්නේ ඩෙල්ටා විකෘතිය අනෙකුත් ප්‍රභේදවලට වඩා පරිනාමිකව සාර්ථක වූයේ කෙසේ ද යන්නයි.

මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ ශරීරයේ වෙනත් ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන්ගේ ශරීරයේ තිබූ වයිරස ප්‍රමාණය මෙන් 1,000 ගුණයක් පමණ වයිරස ඇති බවයි.

මේ අනුව ඩෙල්ටා වයිරසය කෙනෙකුගෙන් කෙනෙකුට ඉක්මණින් ආසාදනය වීමට ඉඩ සළස්වයි.

ඩෙල්ටා වයිරසය සිය සම්ප්‍රේෂණ හැකියාව වැඩිකර ගැනීමට අමතරව මානව ප්‍රතිශක්තිකරණයෙන් ගැලවී සිටීමේ හැකියාව ද වර්ධනය කරගෙන තිබේ ද යන්න පිළිබඳ විද්‍යාඥයන් අවධානය යොමුකර ඇත.

යේල් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ නාදන් ගූබෝග් විසින්, එන්නත්කරණය සම්පූර්ණ කළ සෞඛ්‍ය සේවකයන් 40ක් ඇතුළු පිරිසකගේ රුධිර ප්ලාස්මාව ලබාගෙන කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ ඇල්‍ෆා ප්‍රභේදය හොඳින් උදාසීන කිරීමේ හැකියාව තිබුණු බවයි. නමුත් ඩෙල්ටා ප්‍රභේදය උදාසීන වීම සිදුකිරීමේ හැකියා ඊට වඩා තරමක් අඩු මට්ටමක තිබිණි.

ඩෙල්ටා ප්‍රභේදය, බීට, ගැමා හෝ ඇල්ෆා ප්‍රභේදවලට වඩා ව්‍යාප්තවීමේ දී කාර්යකෂම වී ඇති හෙයින් මේ සොයාගැනීම පුදුමයක් විය. ඩෙල්ටා විකෘතිය මගින් ප්‍රතිශක්තීකරණය මඟහැරීම වැඩි දියුණු වී තිබුණ ද ඩෙල්ටා වයිරසයේ විකෘති සංයෝජනය එම වයිරසයට සුවිශේෂී කාර්යක්ෂමතාවක් එක්කර තිබේ.

මෙම පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ ඩෙල්ටා විකෘත්තිය සම්ප්‍රේෂණය වීමේ ප්‍රබලතාව හොඳින් අත්පත්කරගෙන පරිනාමය වී ඇතත් ප්‍රතිශක්තීකරණය මඟ හැරීමට වාසියක් අත්පත් කරගෙන නැති බවයි.

නමුත් පරයේෂකයන් පවසන්නේ සෑම රටක දී ම එය සත්‍ය නොවිය හැකි බවයි. උදාහරණයක් ලෙස ගැමා ප්‍රභේදය බ්‍රසීලයේ වේගයෙන් ව්‍යාප්ත වුව ද ලෝකය පුරා ඇත්තේ ස්වල්ප පැතිරීමක් පමණි. නමුත් ඇතැම් පර්යේෂකයන් පවසන්නේ කොරෝනා ආසාදන අනුපාතය බොහෝ රටවලට වඩා බ්‍රසීලයේ ඉහළ අගයක් ගත හැකි බවයි.

ඇට්ලන්ටා එමරි විශ්වවිද්‍යාලයේ වයිරස විද්‍යාඥයකු වන මෙහුල් සුතාර් පවසන්නේ වයිරසයක අඩංගු ප්‍රෝටීන අනුව එයට කොතරම් විකෘති ලබාගත හැකි ද යන්න පිළිබඳ සීමාවක් තිබිය යුතු බවයි.

කෙසේ වෙතත් පර්යේෂකයන්ගේ මතය වන්නේ “අප කල්පනා කළ යුත්තේ කුමන විකාතිතා ඇතිවන්නේ ද හෝ ඒවා මොනවා ද යන්න පිළිබඳ අනාවැකි කීම නොව විකෘතිතා හොඳින් හසුරුවා ගැනීම කෙරෙහිය. විකෘති අතිවුවහොත් ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනගැනීම ද වැදගත් වෙයි.” යන්නයි.

කෙසේ වෙතත් එන්නත්කරණය මගින් නව ප්‍රභේද ඇතිවීම වැළැක්වීමට හැකියාව ලැබෙනු ඇත. එසේ වුව ද ඉතා සුළු පිරිසකට එන්නත් ලබාදී වයිරසය පාලනයකින් තොරව පැවතියහොත් සිදුවන්නේ භයානක තත්වයකි. එවිට විකෘති ඇතිවීම, සම්ප්‍රේෂණය සහ ප්‍රතිශක්තීකරණයට ප්‍රතිරෝධී වීම යන වෙනස්කම් ඇතිව නොනවතින චක්‍රයක් ඇතිකරනු වැළැක්විය නොහැකි වෙයි.    

මෙම ලිපියේ මුල් පිටපත් මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!