spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමිකම්පා මාලාවක්. සුනාමියක පෙරනිමිති ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියා සහ යූරෝ ආසියා භූ තැටි මායිමේ ස්ථාන දෙකක අද (03) උදෑසන සිට භූමිකම්පා මාලාවක් ආරම්භ වී ඇත. මෙය තවදුරටත් වර්ධනය වන්නේ නම් සුනාමි අවදානමක් ඇති බව භූ විද්‍යාඥයෝ කියති.

ඒ අතරින් ප්‍රබලතම භූමිකම්පාව සිදුව ඇත්තේ අන්දමන් හා නිකබාර් දූපත් අසළ මුහුදේ ය. එය රිච්ටර් මාපක 6.1ක් ලෙස සටහන්ව ඇති අතර අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇත.

අද (03) උදෑසන පළමු භූමිකම්පාව හටගෙන ඇත්තේ සුමාත්‍රා දූපත් ආසන්න මුහුදේය. එම ස්ථානයේ එක දිගට භූමිකම්පා 04ක් සිදුව ඇත. පළමු භූමිකම්පාව අළුයම 2.05ට රිච්ටර් මාපක 4.5ක් ලෙස සිදුව තිබේ. දෙවැන්න සිදුව ඇත්තේ ඒ ආසන්නයේ ම රිච්ටර් මාපක 5.8ක් ලෙසිනි. එය අලුයම 4.18 සිදුව ඇති අතර තුන්වැන්න 4.30ට සහ සිව්වැන්න 4.31ට වශයෙන් සිදුව තිබේ. ඒවායේ ප්‍රබලත්වය පිළිවෙලින් රිච්ටර් මාපක 4.6ක් සහ 5.8ක් ලෙස වාර්තා වෙයි.

භූ තැටි මායිමේ කම්පන මාලාවක් ඒ ආකාරයෙන් ආරම්භ වූ පසු එම මායිමේ ම වඩාත් උතුරු දිශාවෙන් තවත් භූමිකම්පා 05ක් සිදුව ඇත. ඒ අන්දමන් හා නිකබාර් දූපත් ආසන්නයෙනි.

එම ස්ථානයේ පළමු භූමිකම්පාව උදෑසන 6.27ට වාර්තා වී ඇති අතර එය රිච්ටර් මාපක 4.6ක භූමිකම්පාවකි. ඉන් පසු උදෑසන 7.21ට ඒ ආසන්නයේ ම රිච්ටර් මාපක 5.3ක භූමිකම්පාවක් සිදුවී ඇති අතර උදෑසන 9.12ට එම ප්‍රදේශයේ ම රිච්ටර් මාපක 6.1ක සහ 5.3ක භූමිකම්පා දෙකක් සිදුව තිබේ. ඉන් විනාඩියකට පසු එනම් උදෑසන 9.13ට රිච්ටර් මාපකයේ 5.8ක් ලෙස සඳහන් වූ තවත් භූමිකම්පාවක් සිදුවී ඇත.

ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවියට අනුව මෙම සියලු භූමිකම්පා සිදුව ඇත්තේ මුහුදු පත්ලේ කිලෝ මීටර 10ක් පමණ ගැඹුරිනි. මෙම භූමිකම්පා කිසිවකින් සුනාමි අවදානමක් නැත.

භූ විද්‍යාඥයන් පවසන්නේ අද (03) හදිසියේම මෙලෙස භූමිකම්පා මාලාවක් සිදුවීම තරමක් විමසිල්ලෙන් සිටිය යුතු භයානක තත්වයක් බවයි.

පෘථිවියේ භූ තැටි අතරින් ඕස්ට්‍රේලියානු භූ තැටිය, ඉන්දියන් භූ තැටිය හා යුරෝ – ආසියා භූ තැටිය එකිනෙක මායිම්වන ස්ථානය ආසන්නයේ මෙම භූමිකම්පා මාලාව සිදුව ඇත. එම කම්පනයෙන් ඇතිවන භූ රැලි යළි සාමාන්‍ය තත්වයට පත්වීමට නම් මෙම තැටි මායිම් ඔස්සේ එක දිගට භූමිකම්පා මාලාවක් සිදුවිය යුතුය.

සුමාත්‍රා දූපත් අසළ භූමිකම්පා සිදුවී හටගත් භූ කම්පන රැල්ල අන්දමන් දූපත් ආසන්නයේ සිදුවූ භූමිකම්පාව හා ගැටීමෙන් කම්පනය බල රහිත වී ඇත්නම් තවදුරටත් ආසන්න දිනව ලදී මේ භූ තැටි මායිමේ භූමිකම්පා සිදුවන්නේ නැත. නමුත් එම කම්පනය අවසන් වී නැතිනම් එක දිගට තවත් භූමිකම්පා හටගැනීමේ අවදානමක් තිබේ.

ගැටලුව ඇත්තේ ආරම්භක භූමිකම්පා රිච්ටර් මාපක 5.0 කට ආසන්න විශාල අගයක් ගෙන තිබීමයි. මේ අනුව ඉදිරි දින කිහිපයේ දී ද භූමිකම්පා සිදුවුවහොත් ඒවා අද සිදුවූ රිච්ටර් මාපක 6.1ක අගයට වඩා ප්‍රබල වීමේ අවදානමක් තිබේ.

අවදානයෙන් සිටිය යුතු තවත් කරුණක් වන්නේ සුමාත්‍රා දූපත් අසළ සිදුවූ භූමිකම්පා 04 සහ අන්දමන් දූපත් අසළ සිදුවූ භූමිකම්පා 05 මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් තරම් ගැඹුරකින් පිහිටා තිබීමයි. මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් යනු භූවිද්‍යාවේ දී සළකනු ලබන්නේ අඩු ගැඹුරක් ලෙසිනි.

මෙවැනි අඩු ගැඹුරකින් රිච්ටර් මාපක 7.2ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිරස් අතට සිදුවුවහොත් සුනාමියක් හටගැනීම අනිවාර්ය කරුණකි. 2004 මහා විනාශයක් සිදුකළ සුනාමියට හේතු වූ භූමිකම්පාව රිච්ටර් මාපක 9.2ක සිරස් අතට සිදුවූ භූමිකම්පාවකි.

මෙම ස්ථානයේ භූමිකම්පා ආරම්භ වී භූ තැටි මායිම් සෙළවීම ආරම්භවී තිබීම ශ්‍රී ලංකාවට ද යම් අවදානම් සහගත තත්වයකි. මහ මුුහුදේ භූමිකම්පා සිදුවන මෙම ස්ථාන දෙකෙන් ම බටහිර දිශාවට ඇති ගොඩබිම ශ්‍රී ලංකාවයි. සුනාමියක් ඇතිවුවහොත් එම රළ සෘජුව ශ්‍රී ලකා වෙරළ දක්වා පැමිණෙනු ඇත.

එසේ වුව ද ලෝකයේ භූ ගර්භ විද්‍යා ඉතිහාසයේ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි කරුණුවන රිච්ටර් මාපක 7.2කට වැඩි භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට අඩු ගැඹරකින් පිහිටි අපි කේන්ද්‍රයක සිරස් අතට සිදුවීම යනු ඉතාමත් කලාතුරකින් සිදුවන්නකි.

කෙසේ වෙතත් පෙර සූදානම සහ අවදානයෙන් සිටීම අතිශය වැදගත් වෙයි.

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිගින් දිගටම අවදානම් තත්ත්ව පිළිබඳ තොරතුරු ජනතාවට ඉදිරිපත්කරන බව ද නිවේදනය කර තිබේ.

(සජීව විජේවීර)

1 COMMENT

  1. ස්තූතියි නිවැරදි තොරතුරු වලින් දැනුවත් කළාට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!