spot_img
spot_imgspot_img

ගාල්ලේ පුද්ගලික රෝහලක් කොරෝනා වසංගතයෙන් සල්ලි ගරන හැටි

පුවත්

විදෙස්

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පුද්ගලික රෝහලක් ප්‍රදේශයේ කර්මාන්තශාලා ඇතුළු පුද්ගලික ආයතනවලින් මුදල් ගැරීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන බව වෛද්‍යවරු චෝදනා කරති.

කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ කර්මාන්තශාලා සහ පුද්ගලික ආයතන බොහොමයක් තම සේවක සේවිකාවන් අතර කොරෝනා වසංගතය පැතිරීම වළක්වාගැනීම සඳහා ආයතනික මුදල් වියදම් කරමින් පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ජන් පරීක්ෂණ පුද්ගලික රෝහල් සහ රසායනාගාරවලින් සිදුකර ගනී.

පුද්ගලික රෝහල් ජාලයකට අයත් ගාල්ල නගර මධ්‍යයේ පිහිටි එක්තරා රෝහලක් මේ කාර්යය සිදුකරගෙන යන අතර ඔවුන් ඒ ඒ ආයතනවෙත ගොස් එම පරීක්ෂණ සිදුකරනු ලබයි.

පීසීආර් පරීක්ෂණයක් සඳහා අවම වශයෙන් රුපියල් 8,000.00ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 3,000.00ක මුදලක් අයකරනු ලැබේ.

වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් මෙවැනි විශාල මුදලක් අයකළ ද එම පරීක්ෂණ කිසිදු ප්‍රමිතියකින් සිදු නොකරන බවයි. රජයේ අවසරය ලැබී ඇතැයි පවසමින් මෙම පරීක්ෂණ සිදුකරන අතර පීසීආර් පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකළ යුතු වන්නේ වෛද්‍යවරයකු විසින් හෝ රසායනාගාර ශිල්පියකු විසිනි.

නමුත් මෙම රෝහල කර්මාන්තශාලා හෝ පුද්ගලික ආයතනවලට ගොස් දිනකට සිය ගණන් සේවකයන් වෙනුවෙන් කරනු ලබන එවැනි පරීක්ෂණ සඳහා වෛද්‍යවරයකු හෝ රසායනාගාර ශිල්පියකු සහභාගී වන්නේ නැත. වෛද්‍යවරු පවසන්නේ ඔවුන් පරීක්ෂණ සඳහා රැගෙන යන්නේ ඒ සඳහා කිසිදු සුදුසුකමක් හෝ පුහුණුවක් නොමැති පුද්ගලයන් බවයි.

මෙවැනි සිදුවීමක් පසුගිය දා මිදිගම ලෝඩ්ස්ටා ආයතනයේ දී සිදුවිය.

යම් ප්‍රදේශයක පිහිටි ඕනෑම ස්ථානයක පීසීආර් පරීක්ෂණ සිදුකරන අවස්ථාවක දී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කළ යුතුය. නමුත් අදාල පුද්ගලික රෝහල විසින් ලෝඩ්ස්ටා ආයතනයේ පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කර නැත.

‍එහි පරීක්ෂණ සිදුකරන බවට තොරතුරක් ලැබී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ වනවිටත් ඇන්ටිජන් පරීක්ෂණ 200ක් හා පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර තිබිණි. පරීක්ෂණ සඳහා සේවක සේවිකාවන්‍ගේ ජෛව සාම්පල ලබාගත් පුද්ගලික රෝහලේ නිලධාරීන් වෛද්‍යවරයකු හෝ රාසායනාගාර ශිල්පියකු සිට නැත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම පුද්ගලික රෝහලේ කම්කරුවෙකු ආරක්ෂිත ඇඳුම් ඇඟලාගෙන පැමිණ ජෛව සාම්පල ලබාගත්තා විය හැකි බවයි.

ජෛව සාම්පල නිසි පුහුණුවක් සහ දැනුමක් නොමැතිව ලබාගැනීමෙන් සාම්පල ලබාදෙන පුද්ගලයාගේ ස්නායු පද්ධතියට පවා හානි සිදුවිය හැකි අතර සාම්පලයෙන් ද නිසි ප්‍රතිඵල නොලැබීමට ඉඩ තිබේ.

අවසානයේ ආසාදිත නොවන පුද්ගලයන් ආසාදිතයන් ලෙසත්, ආසාදිත පුද්ගලයන් ආසාදිත නොවන ලෙසත් වාර්තාවීමට ඉඩ තිබේ.

මේ හේතුවෙන් එදින සිදුකළ සියළුම පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීමත්, ලෝඩ්ස්ටා ආයතනය විසින් එම පුද්ගලික රෝහලට ගෙවීම් සිදුකිරීමත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නවතා දමා තිබේ. ඒ වනවිටත් පරීක්ෂණ සහා මුහුණ දී සිටි සේවක සේවිකාවන් 300ක පමණ පිරිසකගෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිලධාරීවරයාගේ මෙහෙයවීමෙන් සාම්පල රැගෙන පරීක්ෂා කර තිබිණි.

එමගින් අනාවරණය වී ඇත්තේ පුද්ගලික රෝහල විසින් සිදුකරන ලද පරීක්ෂණවල දී ආසාදිත නොවන බවට තහවුරු කළ පුද්ගලයන් 08 දෙනකු එදිනම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කරන ලද පරීක්ෂණවල දී ආසාදිත බව තහවුරු වීමයි.

වෛද්‍යවරු පවසන්නේ මෙම පුද්ගලික රෝහල ඇතුළු රෝහල් කිහියක් හා රසානාගාර කිහිපයක් මේ කොරෝනා වසංගත ජාවාරම තවත් ආකාරයකින් සිදුකරන බවයි.

මෙම රෝහල පිළිබඳ ගාල්ල මාගාල්ලේ පිහිටි කර්මාන්තශාලාවකින් ද චෝදනාවක් එල්ල වී තිබිණි.

එම ආයනය කියා සිටියේ තම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් කිහිප දෙනකු ආසාදිතයකු හා ආශ්‍රිතවීම නිසා ගාල්ල නගරයේ පිහිටි එම රෝහලෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකරගත් බවයි. එම පරීක්ෂණයෙන් කිහිප දෙනකුම කොරෝනා ආසාදිත බවට වාර්තා නිකුත්ව තිබිණි.

ඉන් පසු එම කර්මාන්තශාලාවට සිදුවූයේ රුපියල් ලක්ෂ 22ක් වැය කරමින් තම ආයතනයේ සියලුම දෙනාගේ පීසීආර් පරීක්සණ පැවැත්වීමයි. නමුත් අදාල රෝහල විසින් කොරෝනා ආසාදිත බවට වාර්තා ලබාදුන් තිදෙනා සඳහා පසුදින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වූයේ ඔවුන් ආසාදිතයන් නොවන බවයි.

ඒ බව තහවුරුවන විට ආයතය පුද්ගලික රෝහලට රුපියල් ලක්ෂ 22කට වැඩි මුදලක් ගෙවා අවසන්ව තිබිණි.

තවත් එවැනිම සිදුවීමක් පෝද්දල පදිංචි විදුලි සමාගම් සේවකයකුට සිදුවිය. ඔහුගේ කාර්යාල සඟයකුගේ දියණියකට කොරෝනා ආසාදිත බව දැනගත් වහාම ඔහු පීසීආර් පරීක්ෂණයකට යොමු වී තිබිණි. රෝහලේ වාර්තාව වූයේ එම පුද්ගලයා ද කොරෝනා ආසාදිත බවයි.

වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශ පෝද්දල පදිංචි එම පුද්ගලයා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණි. විදුලි පුද්ගලික සමාගමේ අනෙකුත් සේවකයන් ද කොරෝනා පරීක්ෂණ සඳහා පුද්ගලික රෝහලක් වෙත යොමු වූ අතර පසුව දැනගන්නට ලැබුණේ පළමුව ආසාදිත වූ විදුලි සේවකයාගේ වාර්තාව වැරදි ලෙස සටහන්කර ඔහු කොරෝනා ආසාදිතයකු බවට දැනුම් දී ඇති බවයි.

පුද්ගලික රෝහලේ අවශ්‍යතාව ඉටු වී තිබිණි. මෙය ගාල්ල නගරයේ පිහිටි රෝහල නොව කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකි.

ගාල්ල නගරයේ පිහිටි ඉහත ප්‍රශ්නකාරී රෝහලට පැමිණ ජෛව සාම්පලක් ලබා දුන් තරුණයකු විදේශගතවීමට එම ප්‍රතිඵල අවශ්‍ය බව පවසා තිබිණි. ඒ ප්‍රතිඵල ඉක්මණින් ලබාදීමට වැඩි මුදලක් ද අයකර තිබිණි. නමුත් අපේක්ෂිත වේලාවට ප්‍රතිඵල නිකුත් නොවූ බැවින් එම තරුණයා තම දෙමාපියන් ද සමඟ කොළඹ නාරාහේන්පිට පිහිටි රෝහලේ ප්‍රධාන ශාඛාව වෙත ගියේ ප්‍රතිඵල වාර්තාව ඉක්මණින් ලබාගැනීමේ අරමුණෙනි.

නමුත් එය නියමිත වේලාවට නොලැබුණු අවස්ථාවේ රෝහල් පරිශ්‍රයේ දී බහින්බස් වීමක් ද සිදුවිය. අවසානයේ ප්‍රතිඵල නිකුත්වූයේ ඔහු ආසාදිතයකු බව සඳහන් කරමිනි.

නමුත් එම ආසාදිතයා සමඟ සිටි රෝහල් සේවකයන් කිසිවකු නිරෝධායනය නොකළ අතර ඔහු පැය ගණනක් අසුන්ගෙන සිටි ස්ථානය විෂබීජහරණය කළේ ද නැත. එම පවුලේ කිසිවෙකුට කොරෝනා ආසාදනය වූයේ ද නැත.

අදටත් එම තරුණයා පවසන්නේ තමන්ගෙන් පළිගැනීම සදහා අදාල රෝහල තම පීසීආර් වාර්තාව වරද්දා පොසිටිව් බව සටහන් කර දුන් බවයි. එම තරුණයාට කොරෝනා වැළඳුණු මූලාශ්‍රයක් ද එකළ සොයාගැනීමට නොහැකිවීමෙන් ඒ සැකය වඩාත් තහවුරු වන බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද මෙම ලේඛකයා සමග කීවේය

දැන් පුද්ගලික රෝහල්, පුද්ගලික රසායනාගාර බොහොමයක් කොරෝනා වසංගතයේ පිහිටෙන් තම ආදායම් වැඩිකරගනිමින් සිටිති. ඔවුන් මේ සඳහා ජනතාව බිල්ලට දෙති.

තම නිෂ්පාදන හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සේවක සේවිකාවන් කෙ‍රෝනා ආසාදිතදැයි සොයාගැනීමේ වැදගත්කම හේතුවෙන් කුඩා, මධ්‍ය හා මහාපරිමාන සියලු කර්මාන්ත හිමිකරුවන්ට මේ රෝහල්වල ඇති මාෆියාවට යටවීමට සිදුව ඇත.

(ඉදිරියේ දී කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරමින් සිදුකරන මුදල් ගැරීම ගැන විශේෂ හෙළිදරව්වක්)

සජීව විජේවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!