spot_img
spot_imgspot_img

කොරෝනා ගරානාවක් කරගත් කරාපිටියේ දොස්තරගේ බොරුව හෙළිවෙයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් ලෙස දේශීය දැනුම භාවිතා කරමින් සොයගත් නිෂ්පාදනයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි වූ බවට එම රෝහලේ වෛද්‍යවරයකු වූ උදාර සම්පත් ගුණවර්ධන විසින් සිදුකරන ලද ප්‍රකාශ සහ ප්‍රචාරයන් අසත්‍ය බවත් ඔහු කරන්නේ ජනතාව රවට මුදල් ගැරීමේ ජාවාරමක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු චෝදනා කරති.

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ යූ ටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සහ මව්බිම පුවත්පතට අදහස් දක්වමින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කියා සිටියේ තමන් දේශීය ශාක සාර ඖෂධවලින් කොරෝනා ආසාදිතයන් මරණයෙන් බේරාගැනීමට නව නිෂ්පාදනක් සොයාගත් බවයි.

එම නිෂ්පාදනය කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට ලබා දී ඔවුන් මරණයෙන් බේරාගත් බව ද හෙතෙම පවසයි. නමුත් මෙය අසත්‍යයක් බව අප කරන ලද සොයාබැලීම්වල දී අනාවරණය විය.

ඔහු කොරෝනා සඳහා ඖෂධයක් සෙයාගත් බව පැවසුව ද අප හමුවූ කිසිම අවස්ථාවක දී එම ඖෂධය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ පිළිබඳ කිසිදු දත්තයක් ලබාදීමට ඔහු අපොහොසත් වූ අතර ව්‍යාජ තොරතුරු රැසක් පවසා අපගේ ප්‍රශ්න මඟහැරීමට ‍ඔහු කටයුතු කළේය.

පසුගිය මැයි මාසයේ දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටි ඔහු කරගෙන යන්නේ මුදල් සෙවීමේ ජාවාරමක් බවත් ඖෂධයක් සොයාගත් කතාව බොරුවක් බවත් අප විසින් අනාවරණය කිරීමෙන් පසු ඔහු දින ගණනාවක් සේවයට වාර්තා කළේ නැත.

අනතුරුව ඔහු කොරෝනා වාට්ටුවක ම සේවය සඳහා අභ්‍යන්තර මාරුවක් ලබාගෙන තිබිණි.

එම වාට්ටුවේ වෛද්‍යවරුන්ගෙන් විමසූ විට එහි එක් වෛද්‍යවරයකු මෙසේ කීවේය.

“උදාර සම්පත් ගුණවර්ධන හොඳ මනුස්සයෙක්. නමුත් මෙයා කරන වැඩේනම් අපි අනුමත කරන්නේ නැහැ. එයා කරපු පර්යේෂණයක් නෑ, හොයාගත්තු ඖෂධයකුත් නෑ, මාධ්‍යවල මේ ඖෂධ සොයාගත්තා කියමින් නිෂ්පාදනයක් පැකට් කරලා විකුණනවා. ඒත් අපිනම් දන්නවා ඒක බොරුවක් බව. අනික මේ කොරෝනා වාට්ටුවලට එන රෝගීන් සැළකිය යුතු ප්‍රමාණයක් මියයනවා. කරාපිටියේ කොරෝනා ආසාදිතයන් මියයාම ඔහුගේ නිෂ්පාදනය නිසා අඩුවුණා කියන එක බොරුවක්. එයාගේ නිෂ්පාදනය කරාපිටියේ ආසාදිත රෝගීන්ට කවදාවත් දීලත් නැහැ. ඕක මුදල් සොයන ව්‍යාපාරයක් විතරයි.”

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ උදාර සම්පත් ගුණවර්ධන නමැති වෛද්‍යවරයා වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බැවින් ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බවයි.

කොරෝනා රෝගයට එරෙහිව යොදාගත හැකි බවට ඔහු සොයාගත්තා යැයි කියන නිෂ්පාදනය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල දැනුම්වත් නැති බවත් එවැනි නිෂ්පාදනයකට අවශ්‍ය රසායනාගාර හෝ සායනික පර්යේෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකර නැති බවත් අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයා කීවේය. එමෙන්ම එවැනි නිෂ්පාදනයක් කරාපිටියේ කෙ‍රෝනා ආසාදිත රෝගීන් ලබා නොදෙන බව ද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!