spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවරට T-20 තරඟාවලියකින් ඉන්දියාව පරදයි

පුවත්

විදෙස්

විස්සයි – 20 තරඟ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දීය කණ්ඩායමක් පරාජය කරමින් තරඟාවලි ජයග්‍රහණයක් ලැබීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (29) සමත්විය.

උපන්දිනය සැමරූ වනිඳු හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ කණ්ඩායමේ සුපිරි පන්දු රැකීම මේ ජයග්‍රහණයට හේතුවිය.

ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී ලබාගත හැකිවූයේ කඩුළු 08ක් දැවී ගොස් ලකුණු 81ක් පමණි. ඉතාත් අඩු ලකුණු සංඛ්‍යාවකින් ඉන්දීය කණ්ඩායම නතර කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුළු 03කක් පමණක් දැවී පන්දුවාර 14.3 ක දී එම ඉලක්කය සපුරාගත්හ.

ජයග්‍රාහී ලකුණ ද ක්‍රිකට් වංශගතාවේ අපූරු සිදුවීමක් විය.

15 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේ දී කණ්ඩායම් දෙකේ ලකුණු සමවිය. ජයග්‍රහණයට අවශ්‍ය වූයේ තවත් එක පන්දුවක් පමණි. තුන්වැනි පන්දුවට පහරදෙමින් සිටි ධනංජය ද සිල්වාගේ පා ඉන්නට පිටතින් ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගත්තේයැයි කරන ලද ඉල්ලීමට විනිසුරු කුමාර ධර්මසේන මද ප්‍රමාදයකින් දැවී යාමක් ලෙස සළකුණු කෙරිණි.

නමුත් කිසිදු පැකිලීමකින් තොරව ධනංජය විතීවි අවස්ථාවව ඉල්ලා සිටියේය. තුන්වැනි විනිසුරුවරයාගේ තීරණය වූයේ පන්දුව පිත්තේ නොවැදුණු බවයි. මේ සමඟම තම පළමු තීරණය වෙනස් කළ කුමාර ධර්මසේන එය වයිඩ් පන්දුවක් ලෙස නම් කළේය.

ඒ අනුව හතරවැනි පන්දුව නොයවාම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවිය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු 81, ඉන්දීය කණ්ඩායමක් විස්සයි-20 තරග අංශයේ ලබාගත් තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මෙම ලකුණු සංඛ්‍යාව දෙවැනි වන්නේ 2008 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව දැවී ගිය ලකුණු 74 ත් 2016 වසරේදී නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 79 ට පමණි.

ඉන්දීය පිල ලකුණු 80 සීමාවේ රඳවා ගැනීමට පන්දු යැවීමෙන් කැපී පෙනුණු වනිඳු හසරංග සිය පන්දුවාර 4 දී ලකුණු 09 කට කඩුලු 4 ක් දවාගත්තේය. විස්සයි-20 පන්දුයවන්නන් අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටින දකුණත් පා දඟ පන්දු යවන්නා සිය 24 වැනි උපන්දිනය යෙදී තිබුණු අද දිනයේදී පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට වඩ වඩාත් ළංවූවේය. මෙය උපන්දිනය දා පන්දුයවන්නකු විස්සයි 20 තරඟ අංශයෙන් වාර්තා කර ඇති ඉහළම දක්ෂතාවයයි.

වනිඳුට පෙර උපන්දිනය දා හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට සමත්ව සිටියේ දකුණු අප්‍රිකානු පා දඟ පන්දු යවන ඉම්රාන් තහීර්ය. ඔහු සිය 35 වැනි උපන්දිනයදා ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්ව සිටියේය.

රුටුරාජ් ගයික්වාද් (14), සංජු සැම්සන් (00), භුවනේෂ්වර් කුමාර් (16), සහ වරුන් චක්‍රවර්තී (00) හසරංගගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් බවට පත්වූ අතර එහිදී උප නායක භුවනේෂ්වර්ව දවා ගැනීම වෙනුවෙන් නායක දසුන් ශානක රැකගත් උඩ පන්දුව විශිෂ්ඨ ගණයේ විය.

එම උඩ පන්දුවට අමතරව නිතීෂ් රානා දවා ගැනීම වෙනුවෙන් පෙරළා රැක ගත් උඩ පන්දුව අති විෂ්ඨ විය. නිරන්තයෙන්ම කඩුලු දැවී යෑමත් සුපිරි ගණයේ උඩ පන්දු රැක ගැනීමත් නිසා ශ්‍රී ලංකා පන්දු රැකීම අද දිනයේදී ඉතාමත් උද්‍යෝගමත් සහ කඩිසරව පැවැතීම ඉන්දියාව පසුබැසීමට හේතුවූ තවත් කරුණක් විය.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 36 ක බිඳ වැටී තිබියදී පිටියට එක් වූ භුවනේෂ්වර් කුමාර් සහ කුල්දීප් යාදව් 6 වැනි කඩුල්ලට ලකුණු 19 නොවන්නට ඉන්දීය ඉනිම ඇතැම් විට ලකුණු 50 කට අඩුවෙන් දැවී යෑමට ඉඩ කඩ තිබිණ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අධිෂ්ඨාන ශක්තිය එතරම්ම ඉහළින් පැවැතිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දියානු නායකයා ගත් තීරණය වැරැදි එකක් බවට පෙන්නුම් කිරීමට ගතවූයේ පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුව යවන තෙක් ගතවූ කාලය පමණි. දුෂ්මන්ත චමීර විසින් ශිකර් ධවාන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ඉන්දීය පිලට නැවත ගොඩ ඒමට නොහැකි විය. එතැන් පටන් කඩා වැටීම හැර ඉන්දියාවට හිස එසවීමට අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා නොදුන්හ. ශ්‍රී ලංකාව හමුවේ ලද මෙම තරගාවලි පරාජයත් සමඟ අවසන් විස්සයි-20 තරගාවලි 8 ජයගනිමින් ඉන්දියාව රැකගෙන ආ අඛණ්ඩ තරගාවලි ජයග්‍රහණ රැල්ල අවසන්විය.

සමස්ත තරගාවලියේ පන්දු යවන්නකු ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලි ජයග්‍රහණයක් කරා රැගෙන ගිය වනිඳු හසරංග මෙම තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!