spot_img
spot_imgspot_img

කරාපිටියට දිනක දී කොරෝනා මරණ 09ක්. ඉන් 04ක් ම නිවෙස්වල දී මියගිහින්

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලට ඉරිදා (25) දිනයේ පමණක් කොරෝනා ආසාදිත මළ සිරුරු 09ක් ලැබී තිබුණු බව එම රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා ඉන් මළ සිරුරු 08ක් සඳහා එදිනම පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ අතර එක් සිරුරක් සදහා පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින (26) සිදුකර තිබිණි.

මෙලෙස මියගිය පුද්ගලයන් 09 දෙනා අතරින් මරණ පරීක්ෂණ සිදුකළ පුද්ගලයන් 04 දෙනකුගේම මරණ සිදුව ඇත්තේ නිවසේ දී වීම විශේෂත්වයකි. අනෙක් 04 දෙනා කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

ඉමදුව පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයකු සිය නිවසේ දී ම මියගොස් කරාපිටිය ශික්ෂණ රෝහලට මෘතදේහය ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. අක්මීමණ කුරුඳුවත්තේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු ද ‍නිවසේ දී මියගොස් ඇති අතර යක්කලමුල්ලේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු ද එලෙස නිවසේ දී මියගොස් සිටියේය.

ගාල්ල පදිංචි 55 හැවිරිදි පිරිමි පුද්ගලයකු ද නිවසේ දී මරණයට පත්වීමෙන් අනතුරුව දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි ගාල්ලේ පදිංචි කාන්තාවක්, 89 හැවිරිදි ගාල්ලේ පදිංචි පිරිමි පුද්ගලයකු, ගාල්ලේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ මොණරාගල රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර එවූ 71 හැවිරිදි කාන්තාවක් ද වෙති.

මෙම මළ සිරුරු අතරින් සිරුරු 04ක් එදිනම ආදාහනය කර තිබූ අතර ආදාහනාගාරවල ප්‍රමාණවත් වේලාවක් වෙන්කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනෙක් සිරුරු ආදාහනය කිරීම පසු දින සිදුකෙරිණි.

නිවෙස්වල සිදුවන මරණ සියල්ල පීසීආර් සඳහා රෝහල්වෙත යැවීමට මීට ඉහත උපදෙස් දී තිබුණ ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කරන ලද නවතම උපදෙස් මාලාවක් මගින් දන්වා තිබුණේ නිවසක මරණයක් සිදුවූ විට එම මරණය සම්බන්ධයෙන් වෙනත් හේතූන් නැතිනම් පමණක් සිරුරු රෝහලක් වෙත යොමු කරන ලෙසයි. එමෙන්ම නිවෙස්වල සිදුවන මරණ පීසීආර් පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීමට ග්‍රාම නිලධාරීවරුන්ට ද බලය පවරා තිබිණි.

මෙම චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට නොහැකියැයි ග්‍රාම නිලධාරීවරුන් ද සිය විරෝධතාව දැක්වූ නමුත් අධිකරණ අමාත්‍යාංශය ද හදිසි මරණ පරීක්ෂකවරුන්ට පවා උපදෙස් දී තිබුණේ නිවෙස්වල සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පවා අනවශ්‍යවන බවයි. එමෙන්ම මේ චක්‍රලේඛය කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ඔන්ලයින් රැස්වීමක දී තරයේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට පසුගිය ඉරිදා ලැබී තිබූ කොරෝනා ආසාදිත මළ සිරුරු 09ක් අතරින් 04ක් ම නිවෙස්වල සිදුවූ මරණවීමෙන් පැහැදිලි වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම චක්‍රලේඛය ගැටලු සහගත බවයි. ග්‍රාම නිලධාරීවරුන්ගේ විරෝධය ද සාධාරණය බව ඉන් පැහැදිලි වෙයි.

අධිකරණ වෛද්‍යවරුන්ගේ මතය වන්නේ නිවෙස්වල සිදුවන මරණ සියල්ල පීසීආර් පරීක්ෂණයට ලක්කළ යුතු බවයි. එලෙස මළ සිරුරු පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි බවත් එම නිවෙස්වලින් කොරෝනා පැතිරීම වළක්වාගැනීමට හැකියාව ඇති බවත් ඔවුහු පෙන්වාදෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!